නෙළුම් විලේ නෙළුම් නෙලන

ධනපාල උඩවත්ත නම් ගායකයාගෙ “නෙළුම් විලේ නෙළුම් නෙලන” නම් ගීතයක් තියෙනවා. සුන්දර ප්‍රේම ගීතයක් වුවත්, මේ ගීතය ඇහෙද්දී විශාල සෝකයක් මට දැනෙන්නේ ඇයි? පාසල් කාලයේ අසනීප වෙලා ඇඳට වෙලා සතියක් දෙකක් විතර ඉන්න වුනා. මේ අවස්ථාවේ අසල් වැසි ගෙදරක මේ ගීතය අයත් කැසට් පටය දිනපතා නොකඩවා වාදනය වුනා. මේ ගීතය නැවත අසන වාරයක් පාසා මගේ සිත දුවලා යන්නේ එතනට.

පාසල් යාමට නොහැකි වීම, පාසල් මිතුරන් ඒ වෙලාවෙ කෙළි දෙලෙන් ගත කරනවා ඇතැයි කල්පනා කරමින් සෝකයෙන් සිටීම, වහලයේ සිංහල උළු කැටයක් ඈත් වෙලා එතනින් ඉර එළිය කදම්බයක් වැටිලා ඒ කදම්බය දිගේ කරකැමින් ඉහළට නැගෙන දූවිලි අංශු, ගෙදර පිටිපස්සෙ උණ ගහ සුළඟට හෙළවෙන සද්දෙ, තද අව්ව, දවල් නිදාගත්තම එන අලස සුවය. මේ ඔක්කොම හිතට එනවා මේ ගීතයත් එක්ක.

මේ වගේ තවත් ගීතයක් තියෙනවා ටී.එම්. ජයරත්නගේ “නොබලන් කුමරිය නිසසල මා දෙස” කියන ගීතය. මේකත් මම ගොඩක් පොඩි කාලේ ගම්පොළ පැත්තෙ කුඩා ගෙදරක ඒත් සරම්ප හැදිලා ඇඳට වෙලා ගිලන්ව ඉන්න කොට අහල ගෙදරක ඇහුන එකක්. මේ ගීතය ඇහෙන කොට මතකයට එන්නේ. බිත්තියේ හිටිය ලොකු මකුළුවෙක්, අම්මා හදපු කිරිහොද්ද ලිපේ ඉදෙන කොට ආපු සුවඳ, තාත්තා ඉඳි ආප්ප හදන ගෙදරකින් උදේට කන්න ගෙනාපු ඉඳි ආප්ප ඒ කිරි හොදිත් එක්ක කනකොට ආපු රසය වගේ දේවල්. කිරිහොද්දේ ලූණු හැපෙන කොට එදා දැනුන ගතිය පවා මේ ගීතය අහද්දි මට දැන් දැනෙනවා.

Leave a comment