ඉන්දසාල ගුහාව

ඉන්දසාල (සං-ඉන්ද්‍රසාල) ගුහාව ඇත්තේ තෙල්දෙණියේ බඹරගල පන්සල අසල බව කියැවෙන කතාවක් මේ දවස්වල ප්‍රචාරය වේ. ඊට පාදක කරගෙන ඇත්තේ ලත්පඳුරේ පියරතන හිමියන් විසින් රචිත බුදුසරණ පුවත්පතේ වූ ලිපියයි. ජන්බුද්වීප ප්‍රවාදයට අපහාස උපහාස කිරීමේ අදහසක් මා හට නැත. ඉතිහාසය පිළිබඳ ප්‍රවාද කතා කියැවීමට මාගේ ආසාවක් ඇත. වෙනත් කරුණු මෙන් නොව මේ ලිපිය සාක්ෂි ආදිය උපුටා දක්වමින් ලියා තිබීම නිසා ඒ සලකා බැලීමට වටිනේ යැයි සිතමි.

කෙසේ නමුත් මේ ලිපියේ ගැටළු තැන් කිහිපයක් ඇත. ජන්බුද්වීප ප්‍රවාදකරුවකුගෙන් ඊට පිළිතුරු අපේක්ෂා කරමි.

1. මුල් කාරණය සිද්ධාර්ථෝපත්තිය සිදු වූ ලුම්බිණියද ඇත්තේ මේ තෙල්දෙණියේ බඹරගලම බවත් අන් ජන්බුද්වීප ප්‍රවාදයක දැක ඇත්තෙමි. මේ ලිපියට අනුව මගධයේ ඇති ඉන්දසාල ගුහාවද ඇත්තේ බඹරගමමයි. එසේ නම් ලුම්බිණිය ඇත්තේද මගධයේද?

2. මේ ලිපියේ සඳහන් ආකාරයට “එවං මෙ සුතං එකං සමයං භගවා මගධෙසු විහරති පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො තස්සුත්තරතො වෙදිකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං…….” ආදි වශයෙන් පාඨයක් බුදුගොස් හිමියන් ලියූ සක්කපඤ්ඤ සූත්‍රය අයත් සුමඞගලවිලාසිනියේ (දීඝ නිකාය අටුවාවේ) මට නම් හමු වූයේ නැත.

3. උක්ත පාඨය ඇත්තේ අටුවාවේ නොව පෙළෙහිමය. දැන් මෙහි “මගධෙසු පාචීනතො රාජගහස්ස” යනු මගධයෙහි රජගහ නුවරට පෙරදිගින් පිහිටි යන අරුත බවයි මට නම් වැටහෙන්නේ. පාචීන යන පාළි වදනෙහි අරුත පෙරදිග යන්නයි. ( පාලි-සිංහල අකාරාදිය – පොල්වත්තේ බුද්ධදත්ත හිමි ) . නමුත් මේ ලිපියේ ඒ අරුත් ගන්වා ඇත්තේ “පචීන නම් රජකුගේ රාජගෘහය” බවයි!

https://www.budusarana.lk/budusarana/2008/07/25/tmp.asp?ID=fea01&fbclid=IwAR1PfcE8zP7WarkjbCcBS39kOiK4WDTKO145QEbolzh8yFLcnxkk4XK6_VY

Leave a comment