බැසිල්ගේ ආගමනය

ඡන්දයක් ගැන සිතා බැලීමේදී නම් බැසිල් රාජපක්ෂ සිටියත් නැතත්, තව වසර කිහිපයකින් පැවතෙන මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් මේ ආණ්ඩුව පරාජය කළ හැකි බව මගේ තක්සේරුවයි. 2005 ජනාධිපතිවරණය දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ පක්ෂ නායිකාව විසින් පක්ෂය අකර්මණ්‍ය කොට තිබියදී, සියලුම මාධ්‍ය ඔහුට එරෙහිව තිබියදී හුදෙක්ම විමල් වීරවංශගේ සහ ජාතික ව්‍යාපාරයේ සහායෙන් පමණි. මෙහිදී යමෙකුට තර්ක කළ හැකියි මහින්ද ගේ ජයග්‍රහණයට උතුරේ ඡන්ද වර්ජනය උදවු වූ බවට. නමුත් මේ ආණ්ඩුව මීළඟ පැවැත්වෙන ඡන්දයකට යන්නේ තවත් අපකීර්තියට පත්වූ පසුව බව අමතක නොකළ යුතුයි. බොහෝ ආණ්ඩු කල් යාමේදී ජන අප්‍රසාදයට මිස ජනප්‍රසාදයට පත් නොවේ. නමුත් මේ ආණ්ඩුව මොනම පැත්තකින්වත් සාධනීය දෙයක් රටට හෝ රටවැසියාට කරන්නෙ නැති නිසා මේ ආණ්ඩුව ඉදිරියේදී වඩ වඩාත් ජන අප්‍රසාදය පත් වන බව කල්පනා කළ හැකියි. විශේෂයෙන් එට්කා ගිවිසුම හරහා ඉන්දීය ශ්‍රමිකයන් මෙරටට පැමිණීම ආරම්භය සිදු වුවහොත්, පක්ෂ භේදයකින් තොරව, විශේෂයෙන් උගත් බුද්ධිමත් මධ්‍යස්ථ ජනතාවත් මේ ආණ්ඩුවට එරෙහි වෙන්න කටයුතු කරන බවට සැකයකින් තොරව අපට කල්පනා කළ හැකියි. මේ නිසා ඊළඟ ඡන්දයකදී මහින්ද කඳවුර ඉන්නේ 2005 ට වඩා වාසි සහගත තැනක ය.

මහින්ද කඳවුර මීළඟ ඡන්දයට යන්නේ ශ්‍රිලනිපය හරහා නොවන බව පැහැදිලියි. ඒ නිසා අලුත් පක්ෂයක් හෝ පෙරමුණක් ඡන්දයකදී සංවිධානය කිරීම අනිවාර්ය අවශ්‍යතාවක්. විමල්, ගම්මන්පිල, දිනේෂ්, වාසු ඇතුළු පිරිස අලුත් පෙරමුණේ වේදිකාවේ ඉදිරියෙන් සිටියත්, අලුහ් පෙරමුණේ දේහය වෙන්නේ ශ්‍රිලනිප ප්‍රාදේශීය නායකයන් බව සැලකිය යුහ්ටුය. මේ පිරිස ඡන්දයක් සඳහා සංවිධානය කිරීමට නායකත්වයක් අවශ්‍ය වේ. ඒ කාර්යය විමල්, ගම්මන්පිල හෝ දිනෙෂ්ට කළ හැකි දෙයක් නොවේ. කුමාර වෙල්ගම සහ ප්‍රසන්න රණතුංග ඒ සඳහා වඩා සුදුසු පුද්ගලයන් දෙදෙනෙකි. ඒ දෙදෙනාම විශ්වාසදායක අය වෙති. නමුත් ප්‍රසන්න රණතුංග එතරම් පරිණත කෙනෙක් නොවීමත්, කුමාර වෙල්ගමගේ කට හොඳ නැති වීමත් අවාසි ලෙස බලපායි. බැසිල් මේ කාර්යය ඔවුන් දෙදෙනාටම වඩා හොඳින් කළ හැකි බව පැහැදිලියි. නමුත් බැසිල් පිළිබඳව ශ්‍රිලනිප ප්‍රාදේශීය නායකයන්ගේ වර්තමාන ආකල්පය කුමක්ද? මට මේ පිළිබඳ අවබෝධයක් නැත.

2015 ජනාධිපතිවරණය මෙහෙය වූයේ බැසිල් රාජපක්ෂ බව අප අමතක කළ යුතු නැත . 2015 පරාජයට මූලික හේතුව බැසිල් බව විමල් සහ ගම්මන්පිල වැනි නායායෝ ඡන්දය අවසන් වූ වහාම ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ. මගේ වැටහීම නම් ශ්‍රිලනිප පරණ ජ්‍යෙෂ්ඨයන් මහින්දව අතහැරීමට බැසිල්ගේ ක්‍රියා කලාපයන් බලපෑ බවයි. මා කියන්නේ රාජිත, එස්.බී. වැනි අවස්ථාවාදීන් ගැන නොවේ; අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත යාපා වැනි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් ගැනයි. එමෙන්ම දැනට මහින්ද කඳවුරේ ඉන්න ප්‍රබලයන් වන විමල්, ගම්මන්පිල, වාසු, ඩලස්, මහින්දානන්ද වැනි අයත් බැසිල් පිළෛබඳ ප්‍රසාදයකින් පසුවන අය නොවෙති. එයත් අවාසි සහගතය. විමල් බැසිල් පිළිබඳ තම අප්‍රසාදය මෑතකදී ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කළේය.

ඡන්දයක් සඳහා මුස්ලිම් සහ දෙමළ වාර්ගික දේශපාලනය හොඳින්ම ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඇති පුද්ගලයා බැසිල් බව පිළිගත යුතුය. නමුත් ඡන්දයකදී එය වාසි සහගත වුනත් ඉන් පසු එය ජාතිකත්වයට හෝ රටට අවාසි සහගත ලෙස මිස වාසි සහගත ලෙස බල නොපායි. දෙමළ හෝ මුස්ලිම් වාර්ගික ඡන්ද කුට්ටි ලබා ගත හැකි වන්නේ ඔවුන්ගේ වාර්ගවාදී දේශපාලන ඉල්ලීම් /දොළ පිදේණි වලට යටත්වයි. ඡන්දය දිනුවත් ඉන්පසුව ඔවුන් සමඟ වන ගනුදෙනුව වාසි සහගත එකක් නොවනු ඇත. ඒ අතරම පසුගිය කාලයේ බැසිල් සහ රිශාඩ් බදියුද්දීන් අතර තිබූ සම්බන්ධතාව අවසන් වූයේ රටටවත්, පක්ෂයටවත් අඩුම තරමේ බැසිල්ටවත් වාසිදායක නොවන ලෙස බවත් මතක් කළ යුතුයි.

ඡන්දයකට යාමට පෙර වර්තමාන ආණ්ඩුවේ ඉන්න පිරිසක් ගලවාගෙන මේ ආණ්ඩුව පෙරළන්න උත්සාහයක් තියෙනවා නම් (2001 මෙන්) ඒක කරන්න සුදුසුම පුද්ගලයා බැසිල් බව නම් අවිවාදාත්මකයි. ඒ නිසා එවැනි උපාය මාර්ගයක් සඳහා අවකාශයක් හ උනන්දුවක් ඇත්නම් ඒ සඳහා බැසිල් ගේ සහාය අත්‍යවශ්‍ය වේ.

මෙලෙස බැසිල් රාජපක්ෂ ගේ ආගමනයෙන් සිදුවන දේශපාලනමය වාසි අවාසි ගැන වෙනම සන්දර්භයක කතා කළ හැක. නමුත් බැසිල් රාජපක්ෂ ජාතිකවාදියෙක් ය කියමින් ඔහුගේ බිඳවැටුණ ප්‍රතිරූපය ව්‍යාජ ලෙස ගොඩ නංවන්න උත්සාහ කරනවා නම් ඒකට නම් විරුද්ධ විය යුතුයි.

බැසිල් රාජපක්ෂ ට පසුගිය ආණ්ඩු සමයේ විවිධ චෝදනා රාශියක් එල්ල විය. සෙසු රාජපක්ෂවරුන්ට මෙන් ඔහුට ද එල්ල වූ චෝදනා බොහොමයක් ප්‍රබන්ධ විය හැක. එසේ එල්ල වූ අභූත චෝදනාවලට පිළිතුරු දීම සහ එමඟින් තමන්ගේ හානි වූ ප්‍රතිරූපය සකසා ගැනීමට ඔහු කටයුතු කිරීම වරදක් නොවන අතර එය කළ යුතුම දෙයකි. නමුත් මැක්‍රෝලෙවල්, මයික්‍රෝලෙවල් ජාතිකත්වය , ආර්ථික ජාතිකත්වය වැනි බාල න්‍යායන් ගොඩ නඟමින් බැසිල් රාජපක්ෂ ජාතිකවාදියෙක් කිරීමේ උත්සාහයක් මෑතක සිට සිදුවෙමින් පවතින් බව පෙනේ. මහින්ද කඳවුරේ බුද්ධිමය පෙරමුණ සැකසී ඇත්තේ ජාතිකත්වය නම් සටන් පාඨයත් සමඟය. ඒ නිසා මහින්ද කඳවුරේ නායකත්වයක් යමෙක් අපේක්ෂා කරනවා නම් ජාතිකවාදියෙක්ය කියන සංකේත අර්ථය ඔහුට අනිවාර්ය සාධකයක් වී තිබේ. මේ හේතුව නිසා ඇතැම් පුද්ගලයන්ට බැසිල් රාජපක්ෂ ජාතිකවාදියෙක් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ.

බැසිල් රාජපක්ෂ රනිල් හෝ සිරිසේනට වඩා දක්ෂ දේශපාලකයකු විය හැකියි. නමුත් ඔහු තුළ ජාතිකත්වයක් මට නම් පෙනෙන්නේ නැත. අවශ්‍ය නම් යමෙකුට බැසිල්ව ජාතිකත්වය තුළට ගෙන ඒමට උත්සාහ කළ හැකියි. නමුත් ඔහු කරන කියන හැම දේම ජාතිකත්වය බව පෙන්වීමට තියරි හැදීමට ඇතැම් න්‍යායාචාර්ය වරුන් කටයුතු කිරීම ජාතිකත්වය පැත්තෙන් විශාල හානියක් බව කිව යුතුයි.

basil_rajapakse_1.png

Advertisements

රාජිත සහ එස්.බී. ගේ අවස්ථාවාදී දේශපාලන ඉතිහාසය

වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙපළක් වන රාජිත සේනාරත්න සහ එස්.බී. දිසානායක දෙදෙනාගේ සමානකම් බොහොමයක් තිබේ. දෙදෙනාම විශ්ව විද්‍යාලයෙන් දේශපාලන ජීවිත ආරම්භ කළේ වාමාංශිකයන් ශිෂ්‍ය නායකයන් ලෙසයි. දෙදෙනාම දක්ෂ කථිකයයෝ ය.

රාජිත සේනාරත්න

රාජිත සේනාරත්න විශ්ව විද්‍යාලයේ ශීෂ්‍ය දේශපාලනයෙන් පසු විජය කුමාරණතුංග ගේ ශ්‍රීලංකා මහජන පක්ෂයට එක් වූයේ ය. (විජය කුමාරණතුංග 1984 දී ශ්‍රීලංකා මහජන පක්ෂය පිහිටුවන ලද්දේ ශ්‍රීලංකා නිදහස් පක්ෂෙයෙන් වෙන් වී යාමෙනි.) 1987 දී සිදු වූ විජයගේ අකල් මරණයෙක් පසු පක්ෂයේ නායකත්වය දැරූ ඔසී අබේගුණසේකර එක්සත් ජාතික පක්ෂයට හිතවත් ස්ථාවරයකට දැක් වූයේය. (ඔසී අබේගුණසේකර මිය ගියේද එජාප වේදිකාවක සිටියදී බෝම්බයකට හසු වීමෙනි.) ඔසී ගේ එජාප හිතවාදී ප්‍රතිපත්තියට විරුද්ධ වූ රාජිත සේනාරත්න විජයගේ වැන්දඹු බිරිඳ වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ එක් ව බහුජන නිදහස් පෙරමුණ නම් අළුත් පක්ෂයක් පිහිටුවා ගැනීමට මූලික වූයේය.

නමුත් කෙටි කලකින් රාජිත සහ චන්ද්‍රිකා අතර ප්‍රබල ගැටුමක් වර්ධනය විය. චන්ද්‍රිකා බහුජන නිදහස් පෙරමුණ අතහැර ශ්‍රිලනිපයට එක් වී එහි බලය අල්ලා ගත්තා ය. රාජිත ඊට ප්‍රතිවිරුද්ධ මඟ ගොස් එජාපයට එක් වූයේ ය. චන්ද්‍රිකා 1994 දී ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහිට වූ අතර ඇගේ පාලන සමයේදී ඇයට එරෙහි කර්කශම විවේචකයා වූයේ රාජිත සේනාරත්න ය. ඒ හේතුව නිසා මන්ත්‍රී ධූරයේ සිටියදී කරන ලද අක්‍රමිකතාවක් පාදක කරගෙන ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කර දැමීමට චන්ද්‍රිකා කටයුතු කළා ය. කෙසේ නමුත් එජාප නායකත්වය ඔහුව නැවත වරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළේ ය.

නමුත් රාජිතගේ එජාප දීගයද සුබදායක වූයේ නැත. 2001 දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් පිහිටුවීමට සමත් වූ නමුත් රාජිතට එහි ප්‍රබල ඇමති ධූරයක් ලැබුනේ නැත. දිගින් දිගටම රූපවාහිනි විවාද වලට එක්වෙමින් රනිල්ගේ ආණ්ඩුවේ දේශද්‍රෝහි ගමන්මඟ ආරක්ෂා කිරීමට ඔහු කටයුතු කළද (මේ නිසා “රූපවහිනි විවාද ඇමති” යන නම ඔහුට පටබැඳිණි.) රනිල්ගෙන් ඔහුට ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය.එසේ වුවද, රාජිත 2005 ජනාධිපතිවරණ වේදිකාවේදීත්, ශ්‍රිලනිප අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට විරුද්ධව කෑ ගැසුවේය.

2005දී,  මහින්ද ජනාධිපතිවරණය ජයගත් පසු, රනිල් යටතේ තමන්ට වූ කෙනහිලි කම් වල පීඩනය පිට කළ රාජිත, රනිල්ට පහර පිට පහර ගසමින් තවත් පිරිසක් සමඟ මහින්දගේ ආණ්ඩුවට එක් විය. ඉන්පසු රාජිත 2005 සිට 2014 දක්වාම මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් දැරූ අතර, 80 සහ 90 දශකවල තමන් දැරූ බෙදුම්වාදී ප්‍රතිපත්තිවලට එරෙහිව යමින්, කොටි ත්‍රස්තවාදයට එරෙහි මහින්දගේ ආණ්ඩුවේ හමුදා මෙහෙයුම් ඉහළින් වර්ණනා කළේය.

කෙසේ නමුත් 2010න් පසු යම් යම් හේතු නිසා මහින්ද රාජපක්ෂ සමඟද කළ කිරුණු  රාජිත එම ආණ්ඩුව බිඳ දැමීමට කරන ලද අභ්‍යන්තර කුමන්ත්‍රණයට ප්‍රබල දායකත්වයක් හොර රහසේ දැරීය.  ඒ සඳහා එතෙක් තමන්ගේ දේශපාලන ගමනට අකුල් හෙලු, තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් වූ, චන්ද්‍රිකා සහ රනිල් සමඟ  එක්ව කටයුතු කිරීමට ඔහු නිර්ලජ්ජිත විය. රාජිත ගේ පුත්‍රයාද ඒ සඳහා ඔහුට සහාය වූයේ ය. දැන් ඔහු මේ අසමත් ආණ්ඩුවේ ඇමති ධූරයක් දරමින් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ආගමනයට වල කපමින් සිටියි.

එස්.බී. දිසානායක

එස්.බී. දිසානායකද රාජිත මෙන්ම විශ්ව විද්‍යාල සිසුවකු ලෙස වාමාංශික ශිෂ්‍ය දේශපාලනට යොමුව නායකත්වය දැරූ අයෙකි. විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු ඔහු ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක් වූ ඔහු ක්‍රියාකාරි දේශපාලනයට පිවිසියේ ය. 80 දශකය වන විට ශ්‍රීලනිප නායකත්වය දැරුවේ සිරිමා බණ්ඩාරනායක මැතිණිය වූ අතර ඇගේ අනුප්‍රාප්තිකයා ලෙස පක්ෂ නායකත්වයට පත් වීමට සිටියේ එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයද දැරු ඇගේ පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායකයි. කෙසේ වුවත් එස්.බී. දිසානායක සහාය දැක් වූයේ ඔවුන් දෙදෙනාටම නොව චන්ද්‍රිකා බණ්ඩාරනායකටයි. මුල් වකවානුව වන විට චන්ද්‍රිකාට සහාය දීමට සිටියේ එස්.බී. හැරුණු විට මංගල සමරවීර සහ තව කිහිපදෙනෙක් පමණි.

චන්ද්‍රිකාගේ දේශපාලන ආගමනයට විශාල කැපවීමක් කළ එස්.බී. 1994 බිහි වූ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ධුරයක් දැරී ය. කෙසේ වුවත් පසු කලෙක චන්ද්‍රිකා සමඟ ප්‍රබල ගැටුමක් වර්ධනය කරගත් ඔහු චන්ද්‍රිකා ගේ කර්කශම විවේචකයකු වූයේ ය. පෙරළා චන්ද්‍රිකා ඔහුට පහර දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළා ය. එලෙස 2001 දී චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් තවත් පිරිසක් සමඟ වෙන් වූ ඔහු එජාපයට එක් වූයේය. මේ හේතුව නිසාම චන්ද්‍රිකාගේ ආණ්ඩුව බිඳ වැටුණ අතර 2001 පැවති මහ මැතිවරණයෙන් ඇයව පරදා රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් වූයේය.

කෙසේ වුවත් 2001 රනිල්ගේ ආණ්ඩුවෙන්ද ඔහුට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. 2001 එජාප ආණ්ඩුව පිහිටුවීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළද ඔහුට බලාපොරොත්තු වූ ප්‍රබල භුමිකාවක් ඔහුට එම ආණ්ඩුව තුළ ලැබුනේ නැත. ඔහු එජාපය තුළ සිටියේ කළ කිරුණු ස්වභාවයකිනි. 2004 දී චන්ද්‍රිකා නැවත බලයට පැමිණි අතර ඇය එස්.බී. ව වසර දෙකක සිර දඬුවමකට ලක් කිරීමට වග බලා ගත්තාය.

2005 දී මහින්ද රාජපක්ෂ බලයට පැමිණි අතර මඳ කලකින් ඔහු එස්.බී. දිසානාකගේ දඬුවම් කාලය අඩු කර නියමිත කාලයට පෙර හිරෙන් නිදහස් කළේ ය. හිරෙන් නිදහස්ව එජාපය සමඟ තව දුරටත් සිටි එස්.බී. 2009 හමුදා මෙහෙයුම් අවසන් වන තුරුත් සිටියේ එජාප යේය. 2010 ජනාධිපතිවරණයට මඳ කලකට පෙර ඔහු එජාපයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ සමඟ එක් වූයේය. ඉන්පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයක් දැරුවේය. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පැරදුනු පසු මහින්දව අත් හළ එස්.බී. මෛත්‍රිපාල සිරිසේන ගේ ආණ්ඩුවට එක් ව කැබිනට් ඇමති ධූරයක් ලබා ගත්තේය. මහින්දට එරෙහිව පොත් පිංචක්ද මුද්‍රණය කර පක්ෂ සාමාජිකයන් අතරේ බෙදා හළ එස්.බී., අද මහින්දගේ දේශපාලන ආගමනට අකුල් හෙළන ප්‍රධාන චරිතයකි. ඒ සඳහා ඔහු අත් වැල් බැඳගෙන ඉන්නේ තමන්ට කෙනහිලිකම් කළ තමන්ව හිරේ විලංගුවේ පවා දැමීමට කටයුතු චන්ද්‍රිකා සහ රනිල් වැනි පුද්ගලයන් සමඟයි.

 

Capture

 

 

 

 

සිරිසේනගේ ඉරණම

මහින්ද රාජපක්ෂට කැමති විශාල ජන පිරිසක් අපේ රටේ ඇත. රනිල් වික්‍රමසිංහට කැමති තවත් විශාල ජන පිරිසක් අපේ රටේ ඇත. නමුත් මෛත්‍රිපාල සිරිසේනට කැමති ජන පිරිස අල්පය. මෛත්‍රිපාල සිරිසේන යනු පැවති ශක්තිමත් ශ්‍රිලනිප ආණ්ඩුව බිඳ වැට්ටවීමට කටයුතු කළ පුද්ගලයාය. ඒ නිසා ශ්‍රිලනිප හිතවාදීන්ට ඔහුව පෙනෙන්නේ ද්‍රෝහියෙක් ලෙසයි. එජාප හිතවාදීන් මෛත්‍රිපාල සිරිසේනට යම් කිසි කැමැත්තක් මුලදී තිබ්බත් දැන් එය ක්‍රමයෙන් ක්ෂය වී යයි. ඔවුන් මුලදී මෛත්‍රිපාල සිරිසේනව වැළඳ ගත්තේ පැවති ශක්තිමත් ශ්‍රිලනිප ආණ්ඩුව බිඳ දැමීමට උපකාර වූ තැනැත්තා නිසා ය. එහෙත් ඔවුන්ගේ සැබෑ ඇල්ම ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි. ස්වභාවයෙන්ම බටහිර අනුකාරක මනස් සහිත එජාප හිතවාදීන් (බහුතරය) ගේ මන්දොළ සපුරන්නේ ටයිකෝට් ඇඳගෙන, ඉංගිරිසි හොඳට කතා කරන උගත් මිස්ටර් වික්‍රමසිංහය. සිරිසේන පොළොන්නරුව පැත්තේ අට පාස් මෝඩ ගමරාළ කෙනෙකි. අවසාන අර්ථයෙන් එජාප හිතවාදීන් මෛත්‍රිපාල සිරිසේනව දකින්නේ එලෙසයි.

දැන් මෛත්‍රිපාල සිරිසේන ව ජන සමාජයේ දැඩි උපහාස අපහාසයට සහ විවේචනයට බඳුන් වේ. මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙන ඒමට දර දිය ඇද්ද ඇතැම් පිරිස් ද, විශේෂයෙන් ඊනිව්ස්, කොලොම්බොටෙලිග්‍රාප් වැනි මාධ්‍ය සහ විවිධ සමාජ චරිත, මේ වන විට මෛත්‍රිපාල සිරිසේන ට දිගට හරහට නෙළීමට පටන් ගෙන ඇත.

කෙදිනක හෝ එජාප ශ්‍රිලනිප දීගය අවසන් වන අතර ඉන් පසු මෛත්‍රිපාල සිරිසේන නැත්තටම නැතිවන තුරු දෙපැත්තෙන්ම කන්න ලැබෙනු ඇත. කෙදිනක හෝ ජනාධිපති ධූරයෙන් සමුගත් පසු ඔහු, චන්ද්‍රිකා කුමාරණතුංග, සරත් ෆොන්සේකා වැනි හුදු අවලංගු කාසියක් බවට පත් වනු ඇත. මෛත්‍රිපාල සිරිසේන ත් චන්ද්‍රිකා, ෆොන්සේකා වැනිම තමන් හිටපු තැනට ද්‍රෝහි වුන කෙනෙකි.

සිංහල බෞද්ධ කියන්න බය ඇයි?

ඉකුත් වසරේ රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමෙන් වුන තවත් වින්නැහියක් නම්, “රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමට හේතුව මුස්ලිම් සහ දෙමළ ඡන්ද අහිමි වීමය. ඒකට හේතුව රාජපක්ෂ ආණ්ඩුව සිංහල බෞද්ධ කියන එක ඔනෑවට වඩා අවධාරණය කළ නිසාය” කියන කතාවයි. වර්තමානයේ පුන පුනා මේ කතාව කියනු ඇසේ. මේ පිරිස කියන්නේ අපේ රට ශ්‍රීලංකාව බවත්, විවිධ ජාතීන් මෙහි ජීවත් වන බවත්, ඒ සියලු ජාතීන් අතර සමගිය වඩා ජාතික සමගිය දියුනු කළ යුතු බවත් ය. දැන් මේ පිරිස මේක කියන්නේ රාජපක්ෂ කඳවුර ඇතුළේ ඉඳන් වීම ලොකුම වින්නැහියයි.

මේ පිරිස රාජපක්ෂ ආණ්ඩුවට සහාය දෙන්නේ හුදෙක් නිල් පාට පාක්ෂික විඥාණයක් හිමි වීම නිසා පමණි. අපි දස වසක රාජපක්ෂ පාලන සමය දකින්නේ වසර දහස් ගණනක් මෙරට පැවති සම්ප්‍රදාය, බටහිරයන් විසින් වනසා දැමූ ඒ සිංහල බෞද්ධ සම්ප්‍රදාය, වසර දෙසීයකට පමණ පසු නැවත මතු වෙමින් ආ යුගයක් ලෙසය. අපට මහින්ද රාජපක්ෂ වටින්නේ ඒ නිසාය. නමුත් රාජපක්ෂ කඳවුරේ සිටින ඇතැමුන්ට එය එතරම් වැදගත් නැත. ඔවුන්ට මහින්ද රාජපක්ෂ වටින්නේ හුදෙක් ඔවුන් ප්‍රිය කරන පක්ෂය සවිමත් තැනකට ගෙන ආ නායකයා වීම නිසා පමණි.

පවතින දේශපාලන සන්දර්භය තුළ දෙමළ සහ මුස්ලිම් ඡන්ද මහින්ද රාජපක්ෂ හෝ ඔහු නියෝජනය කරන ජාතිකත්ව කඳවුරට වැඩි වශයෙන් ආකර්ෂණය කර ගත නොහැක. එය නිශ්ඵල උත්සාහයක් වන අතර එවැන්නක් අවශ්‍යද නොවේ.

වර්තමාන සන්දර්භය තුල දෙමළ සහ මුස්ලිම් ඡන්ද, දෙමළ සහ මුස්ලිම් වාර්ගික දේශපාලනය විසින් ගිලගෙන ඇත. දෙමළ සහ මුස්ලිම් දේශපාලනය ක්‍රියා කරන්නේ ඉහළ සිට පහළටය. උතුරේත්, වතුකරයේත් දෙමළ ඡන්ද පදනම දෙමළ වර්ගවාදී පක්ෂ කිහිපයක් විසින් හසුරවයි. රට පුරා මුස්ලිම් ඡන්ද පදනම මුස්ලිම් පල්ලිය හරහා මුස්ලිම් වර්ගවාදී දේශපාලකයන් කිහිප දෙනෙක් විසින් හසුරවයි. ඒ නිසා ඉහළින් තිබෙන දෙමළ සහ මුස්ලිම් වාර්ගික දේශපාලනය දේශපාලන උපක්‍රම මඟින් පරාජය නොකර, පහළින් සිටින දෙමළ හෝ මුස්ලිම් මිනිසා තමන් වෙත දිනා ගත හැකි යැයි සිතීම මැටි මෝල් කමකි. ඇතැම් ජාතිකවාදීන්ද එසේ සිතා සිටින බව පෙනේ.

කළ යුත්තේ ජාතිකත්ව කඳවුරට පහසුවෙන් ආකර්ෂණය කර ගත හැකි සිංහල බෞද්ධ ඡන්ද වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමයි. එය අපහසු වැඩක් නොවේ. ඉන් පසු දෙමළ සහ මුස්ලිම් වර්ගවාදී දේශපාලනය දිය කර හැරිය යුතුය. එය කළ හැක්කේ සිංහල බෞද්ධ ජාතිකත්ව දේශපාලනය ශක්ත්මත් කිරීම මඟිනි.

ඉන්දියානු ව්‍යාප්තවාදය පංචේන්ද්‍රිය ගෝචරද?

යහපාලනේ ගේන්න දඟලපු අයි.ටී. ක්ෂේත්‍රයේ කීප දෙනෙක් ඊයේ පෙරේදා ඉඳන් හදිසියේ නින්දෙන් ඇහැරිලා වගේ දඟලනවා දැක්කා. මං නං කියන්නේ මේ වැඩේ හොඳයි. පුළුවන් තරම් ඉන්දියාවෙන් මෙහෙට අයි.ටී. කට්ටිය ගේන්න ඕන. මම නම් ෆුල් සපෝට් මේ වැඩේට.ඔව්. ඔව්.

අපේ රටේ මිනිස්සුන්ට යමක් අවබෝධ වෙන්න නම් පංචේන්ද්‍රියෙන් එක දෙකකට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දෙමළ බෙදුම්වාදය තර්ජනයක් කියලා අවබෝධ වෙන්න නම් කොළඹ බස් වල බෝම්බ පිපිරෙන්න ඕන. බස් වල බෝම්බ පිපිරෙන්නෙ නැතිනම් කියන්නේ “කොටි ප්‍රශ්නෙ දැන් ඉවරයි. දෙමළ බෙදුම්වාදෙ කතාව විමල් වීරවංශගෙ බොරු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන කතාවක්’ කියලා. එහෙම නැතුව ව්‍යවස්ථාව වෙනස් කරලා බෙදුම්වාදෙට පාර කපන එක පංචේන්ද්‍රියෙන් එකකටවත් ප්‍රත්‍යක්ෂ වෙන්නෙ නෑනෙ.

අන්න ඒ වගේ තව අවුරුද්දකින් දෙකකින් ඉන්දියන් කාරයෝ කොළඹ පාරවල් වල, බස්වල, කඩපිල් වල ඉන්නවා ඇස් ගෙඩි වලින්ම දැකලා චක්ඛු විඥාණයට ප්‍රත්‍යක්ෂ වුනාම තමයි අපේ මිනිස්සුන්ට ඉන්දියන් ව්‍යාප්තවාදය මොකක්ද කියලා අවබෝධ වෙන්නෙ.

විල්පත්තු සටන මස්කට්ටකි

විල්පත්තු කතාව හලාල් විරෝධය, අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම වගේ නිෂ්පාදනයක් (ප්‍රොඩක්ට් එකක්). ඒකෙන් අදහස් වෙන්නෙ නෑ සමහරු කියනවා වගේ හලාල් තිබ්බට වරදක් නෑ කියන එක. හලාල් වැරදියි. ඊට එරෙහි විය යුතුයි. නමුත් හලාල් වගේම මෑතක කරළියට බැහැල තියෙන විල්පත්තු සටනත් අලෙවිකරන්න පුළුවන් විදියට සකසලා තියෙන ප්‍රොඩක්ට් එකක්.

විල්පත්තු සටන මස් කට්ටක්. එහෙම කියන්නෙ ඇයි? හෙළ උරුමෙ අභිප්‍රාය චම්පික රණවක කවදා හරි රටේ නායකයා කිරීම. ඒ සඳහා ඒ අය සමාජයේ ඒ ඒ කාලෙට පවතින යම් යම් දේවල් රැලි විදියට භාවිතා කරගෙන ඒ මතින් පීනනවා. හරිත දේශපාලන, ත්‍රස්ත විරෝධය, සෝම හිමි, හලාල්, යහපාලනය වගේ දේවල් වලින් තමයි මේ අය මෙතෙක් කල් පීනගෙන ආවා. හෙළ උරුමය මේ වන කොට දෙමළ බෙදුම්වාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් සමඟ හවුල් ආණ්ඩුවක ඉන්නෙ. නමුත් ඔවුන්ට දෙමළ, මුස්ලිම් වාර්ගික ඡන්ද පමණක් නොව සිංහල කිතුනු සහ සිංහල විජාතික ඡන්ද කවදාවත් ආකර්ෂණය කර ගන්න වෙන්නෙ නෑ. මේ නිසා ඔවුන්ට තම වේදිකාව කවදා හෝ තනා ගන්නවා නම් තනා ගන්න පුළුවන් වෙන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වය මත. මේ නිසා දෙමළ බෙදුම්වාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් සමඟ කොතරම් එකට හවුල් ආණ්ඩු හැදුවත් සිංහල බෞද්ධ ජාතිකත්ව ඡන්ද පදනම ඔවුන්ට අනාගතයේ අවශ්‍ය වෙනවා.

නමුත් දැන් මේ ආණ්ඩුවේ ඇතුළේ ඉඳන් ඒ සිංහල බෞද්ධ වීර කතා කියන්න ඔවුන්ට අවකාශයක් නෑ. (එහෙම වුනොත් පුකට දෙකක් ගහලා එළවනවා) කවද හරි මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙලා බිඳ වැටෙන්න පටන් ගන්න කොට තමයි හෙළ උරුමය අර සිංහ කොඩිය අරන් ආපහු එළි බහින්න හිතා ගෙන ඉන්නේ. නමුත් ඒකට ඔවුන්ට යම් කිසි කාඩර් එකක් ඕන වෙනවා. මේ සඳහා තමන් වටේ ඉන්න කාඩර් එක රඳවා ගන්න ඔවුන්ට මොකක් හරි මස් කට්ටක් දෙන්න වෙනවා. ඒ මස් කට්ට තමයි විල්පත්තුව. ඉතින් හෙළ උරුමෙ කාඩර් එක, මේ ආණ්ඩුව රට බෙදුම් වාදයට ක්‍රමයෙන් තල්ලු කරමින් පවතිද්දි, මුග්ධ රැළක් වගේ රටේ තියෙන එකම ප්‍රශ්නෙ විදියට අරන් විල්පත්තු මස්කට්ට හප හප ඉන්නවා.

ජවිපෙ හෘද සාක්ෂිය

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණය සඳහා තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ “හෘද සාක්ෂිය” යන පාඨයයි. එය ඔවුන් කුමන අර්ථයෙන් යොදා ගත්තද ජවිපෙ ක්‍රියා කරන්නේ එම පක්ෂයේ පාක්ෂිකයාට තම හෘද සාක්ෂියට අනුව එම පක්ෂයට සහාය දිය හැකි අයුරකින්ද යන්න සැක සහිතය.

ජවිපෙ මූලාරම්භය සහ ඉතිහාසය ගැන දීර්ඝ විචාරයක් කිරීම අවශ්‍ය නැත. ඒ පිළිබඳව නොයෙක් පඬිවරු විවිධ අදහස් දක්වා ඇත. මගේ අදහස අනුව නම් ජවිපෙ බිහිවන්නේ:
1. 60 දශකයේ ලෝකයේ මාක්ස්වාදී දේශපාලනයේ තිබූ ප්‍රබෝධය (විශේෂයෙන් චේගුවේරාගේ ගරිල්ලා සටන්) ලංකාවට බලපෑම
2. නිදහස් අධ්‍යාපනය නිසා ඉහළ අධ්‍යාපන තත්වයක් ලබා කර ගත් වරප්‍රසාද අඩු ග්‍රාමීය තරුණයාට ඊට සාපේක්ෂව සමාජ තත්වයක් ලබා නොහැකි වීම

යන කාරණා දෙක මුල් කර ගෙනය.

ලංකාවේ අනෙක් වාමාංශික පක්ෂ කිසිවක් මෙරට මුල් ඇද ගැනීමට සමත් නොවීය. ඒවා අද හුදු බෝඩ් ලෑලි පමණක් වන අතර සමහරක් වාමාංශික පක්ෂ නඩත්තු වන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් ගේ මුදල් වලිනි. එසේ නමුත් ජවිපෙට මෙරට මුල් ඇද ගැනීමේ හැකියාවක් තිබිණි. අද එයට ඊටම අනන්‍ය වූ යම් කිසි මට්ටමක ජන පදනමක් ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාප, ශ්‍රිලනිප සහ වාර්ගික පදනමක් සහිත දෙමළ, මුස්ලිම් පක්ෂ හැරෙන්නට එලෙස ජන පදනමක්  ඇති එකම පක්ෂය ජවිපෙ පමණි. ජන පදනමක් ඇති වීම නිසා ඊට හිමි වී ඇති අනෙක් ලක්ෂණය නම් ජාවිපෙ පාක්ෂික විඥාණයක් ඇති පිරිසක් බිහිව සිටීමයි.

ජවිපෙ පාක්ෂික විඥාණයක් සහිත පුද්ගලයා එහි සැබෑ අනුගාමිකයා වේ. ජවිපෙට ඡන්දය දමන්නේ ඔහු ය. අද සමාජයේ සුලබව ජවිපෙ වර්ණනා කරන පිරිස් වේ. නමුත් ඔවුන් වැඩි දෙනෙක් ජවිපෙ පාක්ෂික විඥාණය සහිත පිරිස් නොවේ. ජවිපෙ පාක්ෂික විඥාණය සහිත පිරිස් හඳුනා සම්ප්‍රදායිකව හඳුනා ගත හැක. ඔවුන් මහත් බහුතරයකට ඇත්තේ ග්‍රාමීය පදනමකි. ඉනුත් බොහෝ පිරිසක් වරප්‍රසාද අඩු පවුල් පසුබිම් සහිත පිරිස්ය. බොහෝ දෙනෙක් සැලකිය යුතු අධ්‍යාපන මට්ටමක් ලබා ගත් අයවලුන් ය.

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වරප්‍රසාද ඉතාම අඩුම කෙනෙකුට වුවද ඉතාම ඉහළ අධ්‍යාපන මට්ටමක් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තාව සැලසී තිබේ. එහෙත් අපේ රටේ සමාජ මට්ටම නිර්ණය වීමට වෙනත් සාධකද බලපායි. ප්‍රධාන වශයෙන් කෙනෙකුගේ පුද්ගල සංස්කෘතිය සහ පවුල් පසුබිම ඊට බලපායි. (පුද්ගල සංස්කෘතිය කෙතරම් බටහිර අනුකාරකද යන්නයි එහිදී සැලකිල්ලට ගනු ලබන්නේ.) තම හැකියාව නිසා ඉහළ අධ්‍යාපන මට්ටමක් වෙත ළඟා වෙන තරුණයාගේ හෘද සාක්ෂිය මේ අවස්ථාවේ තමා ගෙන්ම ප්‍රශ්න කිරීමට පටන් ගනී. ඉන් ඇතැමෙක් තුළ ජවිපෙ පාක්ෂික විඥාණය හට ගනී. ජවිපෙ පාක්ෂිකයාගේ සැබෑ හෘද සාක්ෂිය එයයි. හැටේ දශකයේ සිට මෑතක් වනතුරුත්,  සන්නද්ධ අරගල දෙකකින් සමතලා වූ පසුවත් ජවිපෙ පාක්ෂිකයාගේ සැබෑ හෘද සාක්ෂියව තිබුනේ එයයි.

මෙලෙස ජවිපෙ විඥාණයක් සහිත පුද්ගලයන් පැහැදිලිව හඳුනා ගත හැකි ලක්ෂණ සමුදායක් විය. ඔවුන්ගේ පුද්ගල සංස්කෘතියට හිමි අනන්‍යතා ලක්ෂණ සමූහයක් විය. අද විශාල පිරිසක් ජවිපෙ වර්ණනා කරති. නමුත් කිසිවෙක් ජවිපෙ පාක්ෂිකයන්වත් ජවිපෙ විඥාණයක් සහිත පිරිස් නොවේ. අද ජවිපෙ වර්ණනා කරන වැඩි පිරිස කොළ පාට විඥාණයක් සහිත පිරිස් ය. ඔවුන්ට යටකී අනන්‍යතා ලක්ෂණ නැත.

ඊට සමගාමීව ජවිපෙ හෘද සාක්ෂිය මෑතක දී ඉතා විශාල විපර්යාසයකට බඳුන් විය. එහි වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ පක්ෂය විශාල වශයෙන් කොළ පාට කරණයකට ලක් විය. ජවිපෙ මෑතකදී පවත්වන ලද සමුළුවට ජිප්සීස් සුනිල් පෙරේරාට ආරාධනය කර තිබුණි. එය අප දන්නා ජවිපෙ සංස්කෘතියට අනුගත යමක් නොවේ. ජවිපෙ සම්ප්‍රදාය විමුක්ති ගී ය, ගුණදාස කපුගේ ය, නන්දා මාලනී ය. “යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යත්දී…” වැනි ගීතය. සුනිල් පෙරේරා ගේ “ඕයේ ඔජායේ…” වත් “පිටි කොටපන් නෝනේ…” වත් නොවේ. එමෙන්ම ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටින ඇතැම් චරිත කිසි ලෙසකින් සම්ප්‍රදායික ජවිපෙ අනුගමිකයන්ට හිමි පුද්ගල සංස්කෘතියක් හිමි අය නොවේ.

එදා ජවිපෙ රනිල් ගේ දේශ ද්‍රෝහී ආණ්ඩුවක් බිහි වීම වැළැක්වීම පිණිස සන්ධානය සමඟ පරිවාස ආණ්ඩු බිහි කර දේශප්‍රේමී පියවර ගත් පක්ෂයකි. 2005 දී චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩල පිහිටුවන විට කොන්ද කෙළින් තබාගෙන ඉන් ඉවත් වූ පක්ෂයකි. ජවිපෙ ගමන ගැන පැහැදුණ මහජනතාව නමක් ගමක් කලින් නොඇසූ ජවිපෙ පාක්ෂිකයන්ව 2004 පාර්ලිමේන්තු මැතිවර්ණයේදී ඒ ඒ දිස්ත්‍රික්ක වලින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යැවූහ. ඉන් පසු පැවති පළාත් සභා මැතිවරණවලදීත් එසේම විය. එකළ ජවිපෙ රටේම හෘද සාක්ෂිය දිනා ගනිමින් සිටියහ. එහෙත් ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ක්‍රමිකව ඒ ගමන කණ පිට හැර වූහ. අද ජවිපෙ යන්නේ කොහෙදැයි ජවිපෙ පාක්ෂිකයා තම හෘද සාක්ෂියෙන් ඇසිය යුතු කාලය එළැඹ ඇත.