ජම්බුද්වීප ගැන මගේ මතය

මේ දවස්වල මහාවංශ, ජන්බුද්වීප සහ රාවණා ගැන බුකියේ වලි ගොඩකි. හේතුව පැහැදිලි නැත. මේ වාද විවාද හැමදා බුකියේ තිබූ දේය. නමුත් ඊයේ පෙරේදා මේක ලැව්ගින්නක් මෙන් ඇවිලීමට අහඹුවක් විය නොහැක. අයින් වෙලා පයින් යන්න හිටියත් අර ඉංගිරිසියෙන් එලිපන්ට් ඉන් ද රූම් කියන කතාවට අහුවෙන්න ඉඩ තියෙන නිසා මගේ සත දෙකත් කෙටියෙන් ලිවීමට සිතුවෙමි.

1. මහාවංශයේ ඇති ඉතිහාස කතාව මුළුමනින්ම වාගේ සංගතය.
2. මහාවංශයේ විශේෂයෙන් මහ ගැමුණු රජතුමාට කලින් යුගය පිළිබඳ අසංගත තැන් කිහිපයක් ඇත. මා හිතන්නේ එය සිතා මතා කළ වංචාවක් නොව මහාවංශ කතුවරයාට ඊට මුලාශ්‍ර නිසි පරිදි නොතිබීමයි.
3. මහාවංශය ලියා ඇත්තේ යම් අරමුණකිනි. චූල වංශ කතුවරයාත් සහ මහාවංශයේ තෘතිය භාගය සම්පාදනය කළ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ෂිත නාහිමිත් මූලික වශයෙන් ඒ අරමුණෙන් බැහැර වූවා යැයි නොසිතමි.
4. පූර්ව විජය ඉතිහාසය පිළිබඳව කතාව මහාවංශයේම පූර්ව දිගුවක් විය යුතුය.
5. මහාවංශයේ නැති ඉතිහාසයක් (උදා: පූර්ව විජය ) කතා කිරීම මහාවංශයට පහර දීමක් ලෙස සැලකීම නම් ආදානග්‍රාහි වැඩකි.
6. මහාවංශයේ අසංගත තැන් එකක් දෙකක් තිබීම ඊටත් වඩා අසංගත කතා පිළි ගැනීමට හේතුවක් නොවේ.
7. විජය රජුගේ ආගමනය සාක්ෂි සහිත ඇත්ත කතාවකි. මේ පිළිබඳ මහාවංශයෙන් බැහැර ඉන්දියාවී බටහිර බෙංගාලයෙන් සාක්ෂියක් මුලින්ම මා දුටුවේ වෙන කාගෙන්වත් නොව නලින් ද සිල්වා මහතාගෙනි.
8. රාවණා රජු සිටියාද නැද්ද කිමට මම යමක් නොදනිමි. ඒ ගැන දක්වන බොහෝ සාක්ෂි පිළිගත හැකි ඒවා නොවේ.
9. රාවණා රජුගේ හෝ පූර්ව විජය කාලයේ දියුණු තාක්ෂණයක් තිබූ බව සිතමි. නමුත් සීගිරි ගල ඇතුලේ තිබූ විදුලි සෝපාන, න්‍යෂ්ටික අවි ආදි කතා නම් ගොන් කතාය.
10. බුදුහාමුදුරුවෝ වැඩ විසුවේ ලංකාවෙ ය කීම නම් ගොන්ම ගොන් කතාවකි.
11. ඉතිහාස ගවේෂණය කළ යුතු ආකාරය පිලිබඳව මා කියවා අයුරින් නිවැරදි ප්‍රවේශය පෙන්වා ඇත්තේ නලින් ද සිල්වා ය.

Leave a comment