දේවානි ගැන කතා

මේ දවස්වල කතාව අර දිසා වන නිලධාරිනිය ගැන
2020 පෙබරවාරි 13

මේක දැන් රටේ තියෙන වැඩියෙන්ම කතා බහට ලක් වුණ මාතෘකාව වෙලා. මොකවත් නොලියා ඉන්න හිතුවත් මගේ අදහසත් මේ ගැන ලියන්න හිතුනා. මේ ප්‍රශ්නෙ දිහා එක එක අය බලන කෝණය වෙනයි. මාත් එහෙමයි.

සමහරු මෙතන ප්‍රශ්නය අල්ලගෙන තියෙන්නෙ දිසා වන නිලධාරිනිය සනත් නිසාන්ත ට සහ ඒ හරහා සමස්ත ආණ්ඩුවට එල්ල කළ ප්‍රහාරක් විදියට. එහෙම අල්ල ගත් පිරිසක් දිසා වන නිලධාරිනියගේ ක්‍රියා කලාපයට දොස් පවරා නැවත පෙරළා මිනිසුන්ගෙන් බැනුම් අහනව පේන්න තියෙනවා. මොකද මේ සිද්ධියේදී දිසා වන නිලධාරිනිය ජනතාවගේ (අඩුම තරමේ සමාජ ජාල වල ) වීරවරියක් වෙලා ඉවරයි. සනත් නිසාන්ත ගේ කිසි වරදක් මට මෙතන පෙනෙන්න නැහැ. ඔහු මෙතන ඇයට බලහත්කාරයෙන් තම මතය පටවන්න යන්නෙ නෑ. ඔහු කරන්නේ යෝජනාවක් පමණයි. මොකද ධීවර නි. ඇමති විදියට ඔහු නියෝජනය කරන්නේ ධීවර ජන ප්‍රජාවයි. ඔහු ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඔහු කරන්නේ ඔහුගේ යුතුකම

මම මේ සිද්ධිය දිහා මුලින් බලන්නේ බල අධිකාරියේ තීරණයට එරෙහිව තමන් විශ්වාස කරන මතය වෙනුවෙන් පෙනී සිටි කාන්තාවක් දිහා බලන ආකාරයෙන්. (සැම විටම බල අධිකාරියට එරෙහිව නැගී සිටින අය නිවැරදි වෙන්නෙත් නෑ.)

දෙවනුව මට පේන දේ අනුව මෙතන කරන්න යන්නෙ කඩොලාන භූමියක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට යාමයි. මගේ දැනුම අනුව නම් ඒක ලොකු හානිකර දෙයක්. ඒ අනුවත් දිසා වන නිලධාරිනියගේ තීරණය හරි. ගස් කැපීම සහ ඔක්සිජන් සම්බන්ධයෙනුත් ඇයගේ කතාව නිවැරදියි.

ඊළඟට ගැටළුවක් තියෙන්නේ ඇය “ගමේ ගොඩේ අයට ඕන විදියට” මේක කරන්න දෙන්න බෑ කියන ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධයක් පැන නගිනවා. මේ ප්‍රකාශය උද්දච්ච ආකාරයේ ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් ඇය මෙතන කියන දේ හරය යි අපි සලකන්න ඕන. ඇය කියන්නේ යම් යම් දේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍යනය තියෙන අයට ඉඩ දිය යුතු බවයි.

විශේෂ ප්‍රාගුණ්‍යනය කියන එක විශ්වාස නොකළ අයෙක් තමයි චීනයේ මාඕ සේතුං. ඔහු ඉංජිනේරුවන්ව ඌරු කොටු සුද්ධ කරන්න යැව්වා. නිවෙස්වල ඉදි කළ උඳුන්වල ලෝහ නිෂ්පාදනය කිරීමට ගොවීන්ව පෙළඹුවා. අවසානයේ ප්‍රමිතියෙන් බාල කාර්මික භාණ්ඩ නිෂ්පාදනය නිසා මුළු චීනයම ආර්ථිකව ඇද වැටී දුර්භික්ෂයෙන් මිලියන ගණනක් මිය ගියා. (දැන් කඩොලානක් ගොඩ කරලා පිට්ටනියක් හැදුවම දුර්භික්ෂ ඇති වෙලා මිනිස්සු මැරෙනවද වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා. මම කිව්වේ විශේෂ ප්‍රාගුණ්‍යනයේ ඇති වැදගත්කමට උදාහරණයක්.)

අනිත් එක මෙතන ඇය මේ ප්‍රකාශය කරන්නේ මෝඩ කතා කියමින් ත්‍රාඩ ආකාරයෙන් හැසිරුණු පිරිසකගේ හැසිරීමට ප්‍රතිචාරයක් ලෙස බව අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ අවස්ථාවේ දහ පහළොස් දෙනෙකු ඇයට විරුද්ධව කතා කරනවා. ඇයගේ පැත්තට හිටියේ එක්කෙනයි මම දැකපු විදියට. ඔහුවත් තගරියෙන් නිහඬ කළා.

මෙතන අනිත් කතාව දිසා වන නිලධාරිනිය කියන දැනුම මොකක්ද කියන එකයි. ඇය ඇගේ වෘත්තිය සම්බන්ධයෙන් ලබා ඇත්තේ බටහිර දැනුමක් විය යුතුයි. නමුත් ඒ සම්බන්ධයෙන් ඇයට සහ ඇගේ වෘත්තියේ නියැලෙන අය ලබා දෙන දැනුම එයයි. වෙනත් පෙරදිග දැනුමක් ඇයට ලබා දෙන්නෙ නෑ. ඇය ක්‍රියා කරන්නේ ඇයට ලැබී ඇති දැනුම සහ පවතින නීති රීති රෙගුලාසි වලින් සැදුණ රාමුවක් තුළයි. ඒවායේ වරදක් ඇතිනම් ඒවා වෙනස් කිරීම රටේ බුද්ධිමතුන්ගේ සහ දේශපාලන නායකයන්ගේ වගකීම.

අවසාන වශයෙන් කිව යුත්තේ පරිසරය කියන්නේම බටහිර සංකල්පයක්. ඊනියා පරිසර සුරැකුමක් කිරීමට බටහිර සංවර්ධනය තුළ සිදු කරන්න බැහැ. ඒ දෙක පරස්පර දෙයක්. අද අප කියන පරිසරය සුරැකීම පෙරදිග චින්තනය තුළ තිබූ ක්‍රියාවලින් වල සංයුක්තවම පැවති දෙයක්. නමුත් එසේ කියා, මිනිස්සුයි පරිසරයයි එකට තියෙන්න ඕන කියලා, විල්පත්තු කැලේ කැපීමයි, කඩොලාන ගොඩ කරලා පිට්ටනි හැදීමයි සාධාරනීකරණය කිරීම මේ අදහස අන්තිම බාල මට්ටමකින් විදියට ග්‍රහණය කර ගැනීමක්.

මේ ගැන අවබෝධයක් ගන්න ඉස්සර මිනිස්සු වැව් ආශ්‍රිතව ගොඩ නගපු පද්ධතිය සලකා බලන්න පුළුවන්. මිනිස්සු වැව්, කුඹුරු හදලා පරිසරයයි මිනිස්සුයි එකට තියෙන්න ඕන කියලා හැම තැනම ගෙවල්, පිට්ටනි හදන්න ගියේ නෑ. කුඹුරු හැදුවත් ඕවිටි වගේ කොටස් වෙන් කලා. ඒ වගේ තැන්වල ගෙවල් හදන්න හෝ වෙනත් ඉදිකිරීම් කරන්න ගියේ නෑ.


උදාහරණයක්
2020 පෙබරවාරි 13

ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඉංජිනේරුවෙක් සැලසුමක් නිර්මාණය කරනවා. ඔහු ලබා ඇත්තේ බටහිර අධ්‍යාපනයක්. ඒ තුළින් ඔහු ලත් දැනුමෙන් තමයි ඔහු ගොඩනැගිල්ල නිර්මාණය කරන්නේ. ගොඩනැගිල්ල නිර්මාණය කරන්න වෙන දැනුමක් ඔහුට නෑ. කොන්ත්‍රාත්කරුවට ඕන ලාබය උදෙසා අඩුවෙන් සිමෙන්ති දාන්න. දැන් මේ ගැන විශාල වාදයක්. අන්තිමේට “බිල්ඩින් හදන්න සිමෙන්ති ඕන නෑ, වැලියි ගලුයි තිබ්බම ඇති” වගේ ගොන් කතාවක් කොන්ත්‍රාත් කරුවා කියනවා. ඉංජිනේරුවට මේකට මළ පැනලා අහනවා “මේ වගේ ඉගෙන ගත්තෙ නැති අයගෙ දැනුමෙන් මේක කරනවද, විද්‍යාත්මක දැනුමකින් මේක කරනවද?”

දැන් අර එක්තරා පිරිසකට අහු වෙන්නේ අර ඉංජිනේරුව අන්තිමට කියපු කෑල්ල විතරයි. ඉතින්:

“එකම දැනුම බටහිර දැනුම විතරද?”,
“ඉගෙන ගත්තෙ නැති අයට කරපු අපහාසයක්”,
“උගේ දැනුම ගැන උද්දච්චකම”, “
“උගේ ඊගෝ එක”,
“රුවන්වැලිසෑය හැදුවෙ සිමෙන්ති වලින්ද? කොන්ත්‍රාත්කාරය කියන කතාව හරි”

කතාව ඇත්ත. රුවන්වැලිසෑය හැදුවෙ දැන් පාවිච්චි කරන සිමෙන්ති වලින් නෙවෙයි. ඒ කාලෙ අර ඉංජිනේරුවට තියෙන දැනුම තිබ්බෙත් නෑ. ඒවා කළේ වෙනම දැනුමකින්.

මම අහන එකම දේ “අර කොන්ත්‍රාත්කාරයට තියෙන්නේ ඒ රුවන්වැලිසෑය හදපු දැනුමද?”

දේවානි විවේචනය කිරීමෙන් ආණ්ඩුව වැටෙයිද?
2020 පෙබරවාරි 13

ගම්පහ අඩවි වන නිලධාරිනිය ගේ රූ පටය වේගයෙන් සංසරණය වෙනවා දැකලා දැකලා ඒක සනත් නිශාන්තටත් ඒ හරහා සමස්ත ආණ්ඩුවට එල්ල වුන ප්‍රහාරයක් ලෙස සලකල දෙතුන් දෙනෙක් (හැමෝම නෙවෙයි ) ඒ නිලධාරිනියව විවේචනය කරන්න පටන් ගත්තා. අන්තිමට ආණ්ඩුවෙන්ම නිවේදනයක් නිකුත් කළා ආණ්ඩුව නිලධාරිනියගේ පැත්තෙ ඉන්නව කියලා. ඊට පස්සෙ මම දැක්ක එක්කෙනෙක් කියල තිබ්බ ආණ්ඩුව කරපු ඒ දෙයින් ඒ අයගෙ ක්‍රියාකලාපයේ දේශපාලන ටැග් එක ගැල වුනා කියලා. (දේශපාලන ටැග් එක නෙවෙයි පොරගෙ අමුඩෙ තමයි ගැලවුනෙ ඉතින්) හොඳම වැඩේ කියන්නේ ඒ කෙනා කියල තිබ්බෙ බැසිලිකාව ඇපිල්ලීම හැරෙන්නට ඊට පිටින් කොම්බුවක්වත් ලියන්නෙ නැති අර අපුල්ලන්නට. ඒ කියන්නේ ඒ අපුල්ලන්නා නිලධාරිනියගේ උද්දච්ඡකම ගැන එහෙම ලියල තියෙන්නෙත් දේශපාලනේට (ඇපිල්ලීමට ) නෙවෙයි ස්වාධීන අදහසක් විදියට. අනේ හුකේ නන්නානේ.

කොහොම හරි පක්ෂ භේදයකින් තොරව බහුතරයක් නිලධාරිනියගේ පැත්ත ගැනීමත් හොඳ දෙයක්. ඒක නිසා මේක ආණ්ඩු විරෝධි රැල්ලක් විදියට පෙරළ ගන්න ආණ්ඩු විරෝධී යූඇන්පි+ජේවිපි ක්‍රියාකාරීන්ට හැකි වුනේ නෑ. සමහරු හිතන් ඉන්නවා ආණ්ඩුව රකිනව කියන්නේ ආණ්ඩුවෙ හැම මන්තිරියම කරන හැම දේ “ඩිෆෙන්ඩ්” කිරීමෙන් කියලා. ඒ සඳහා ලොවෙත් නැති මෝඩ තර්ක ගේනව. මට මතකයි 2010-15 කාලෙත් මේ දේ වුනා. අන්තිමට වුනේ එතරම් දුර නොපෙනෙන අර මජ්ජස්ත මිනිස්සුන්ට මේ ඇපිල්ලීම අප්පිරිය වෙල සමස්ත ආණ්ඩුවම එපා කියන තැනට තල්ලු වීම.

මෙතන ඊනියා සමබර විවේචන ඉදිරිපත් කර කර බොරු ස්වාධීන පඬියෙක් වීමක් ගැන නෙවෙයි කියන්නේ. ආණ්ඩුවේ වැරදි ඇති තැන් ප්‍රමාණවත් අයුරින් විවේචනය කිරීම සිදු කළ යුතුයි.

ප.ලි. කරුණාකර මගේ දේශපාලන වහල් බව ගැන අදහස් දක්වන්න වද වෙන්න එපා. මම ඊනියා මජ්ජස්ත විචාරකයෙක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව පැවතිය යුතුයැයි සිතමින් ඒ වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්.


රාජ්‍ය සේවකයා සහ දේශපාලඥයා
2020 පෙබරවාරි 15

සාමාන්‍යයෙන් මිනිස්සු වැඩියෙන් බනින්නේ දේශපාලඥයන්ට. මිනිස්සුන්ට වැඩියෙන්ම වැරදි පේන්නෙ දේශපාලඥයන්ගේ. රාජ්‍ය නිලධාරින්ගේ වැරදි මිනිස්සුන්ට වැඩිය පේන්නෙත් නෑ. ඒ නිසා මිනිස්සු වැඩිය ඒ ගැන කතා වෙන්නෙ නෑ. ඒක තමයි කතාව. නමුත් දේශපාලඥයකු සහ රාජ්‍ය නිලධාරියෙක් ගැටෙන සෑම අවස්ථාවකම ඒ තියරිය යොදලා දේශපාලඥයා හරිය කියන්න බැහැ.ඒක එක් එක් අවස්ථාව අනුව වෙනස් වෙනවා. දේශපාලඥයොත් බොහෝ විට වැරදියි. සනත් නිසාන්ත සහ දේවානි ජයතිලක අතර ඇති වූ සිදිධියේදී සනත් නිසාන්ත රාජ්‍ය ඇමතිවරයා වැරදියි. දේවානි හරි.

දේවානි ගැන මම නම් එච්චර හොයලා බලලා නැහැ. නමුත් මට මේ දක්වා දැන ගන්නට ඇති කරුණු අනුව ඇය කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය සේවිකාවක්. වවුනියාවේදි ඇය කටයුතු කළ ආකාරය අනුව යහපාලන දේශපාලඥයන්ගෙන් විවිධ තාඩන පීඩන එල්ල වූ බව එක තැනක දැක්කා. ඇය කටයුතු කරන ගම්පහ දිස්ත්‍රික්කයේ රුක් රෝපණ කටයුතු වල ඇය උනන්දුවෙන් කටයුතු කරන බව එක් රූපටයක දැක්කා. රජයේ නිවාඩු දවසක ඇය එහි ඇවිත් ඉන්නේ එක දරුවෙක් කරේ එල්ලගෙන අනිත් දරුවාගේ අතින් අල්ලගෙන. තමන් කරන දේ සැබෑ කැපවීමකින් කරන කෙනෙකුගේ චර්යාව මිසක් වෙනත් කිසිවක් මම එදා සනත් නිසාන්තගේ රූ පටයේ ඇගේ හැසිරීමෙන් දැක්කෙ නෑ.

සැම රාජ්‍ය සේවකයාම දූෂිතයි කියලා සලකන එක ඌණිතවාදයක්. ලංකාවේ මම අවුරුදු 6ක් සේවය කලා. ඒ කාලයේ බොහෝ රාජ්‍ය ආයතන වල හොරුන්, තක්කඩින්, කම්මැලියන් වගේම තමන්ගේ වැඩක් සේ සලකා උනන්දුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරින් බොහෝ දෙනෙක් හම්බ වෙලා තියෙනවා. මහනුවර ජල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ඉංජීනේරුවරයා එක් අයෙක්. මට පේන හැටියට දේවානිත් ඒ වගේ කෙනෙක්.

Leave a comment