ඩිෆෙන්ඩ් කිරිල්ල

Image may contain: 2 people

ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැහුවේ “පාර්ලිමේන්තුවේ රනිල් එළවීමේදී සටනට” බවත් “අපේ අයට” එය ඩිෆෙන්ඩ් කරන්න බැරි නම් වැඩක් නැති බවත් එක් පුද්ගලයකු කියා තිබෙනු දක්නට ලැබුන. මේ පුද්ගලයා 2015 ජනවාරි 8ට කලින් උග්‍ර මට්ටමක ජාතිකවාදියෙකි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මර්වින් සිල්වා, මීගමුවේ ලන්සා වැනි පුද්ගලයන් කිට්ටු කරගෙන සිටීම ඔහුගේ අප්‍රසාදයට හේතු විය. මේ විරෝධය නිසාම මේ තැනැත්තා ලංකාවට ගුවන් ගමන් බලපත් මිලදී ගෙන ගොස් සිරිසේන ප්‍රමුඛ වූ යූඇන්පී ආණ්ඩුවක් බලයට පත් කිරීමට ඡන්දය ලබා දුන්නේය. පසුව ඒ වෙනුවෙන් කාලයක් තර්ක විතර්ක ද කළේය. රටට කෙළ වුණු බව ඔහුට වැටහෙන විට ප්‍රමාද වැඩිය.

ප්‍රසන්න රණවීරත් යටකී මට්ටමේ ලා සැලකිය හැකි මන්ත්‍රීවරයෙකි. ප්‍රසන්න රණවීරගේ හැසිරීම මට එතරම් ගැටළුවක් නොවේ. ටයි කෝට් ඇඳගත්ත සුජීව සේනසිංහ, හරීන් ෆර්නෑන්ඩු වැන්නන් සහ ප්‍රසන්න රණවීරගේ හැසිරීම හෝ බුද්ධි මට්ටම අතර වෙනසක් මට නම් පෙනෙන්නේ නැත. එකම වෙනස සුජීව සහ හරීන් ඉහළ පෙළේ පාසලක ඉගැනීම පමණි. ඒ නිසා ආරෝපණය කර ගත් යම් යම් දේ ඔවුනට ඇත.

නමුත් ප්‍රශ්නය වන්නේ සිංහල ඡන්ද වලින් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශතයක් අර යටකී පුද්ගලයා වැනි ළාමක අදහස් ඇති දුර නොපෙනෙන අය වීමයි. ඔවුන් සංවේදී වන්නේ ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැසීම වැනි මතු පිට ඇති ක්‍රියාවලට මිසක් ගැඹුරු කාරණාවලට නොවේ. මේ නිසා මේ පිරිස් ඉතා ඉක්මනින් පවතින ආණ්ඩුව කෙරෙහි කළ කිරෙති. පාවෙන ඡන්ද ලෙස සැලකිය හැකි මේ පිරි වැඩි වශයෙන්ම මෙවැනි අය දැකිය හැක්කේ නාගරික උගත් සමාජයේය. මේ අය වැඩි වශයෙන් සමාජ ජාල වල දක්නට ලැබෙන අදේශපාලනික පිරිස්ය. මොවුන් ගේ දේශපාලන තීන්දු කෙරෙහි සමාජ ජාල විශාල වශයෙන් බලපායි. 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ පරාජය වූයේ මේ අහිමි වූ සිංහල ඡන්ද නිසාය.

කලිනුත් වතාවක් කී පරිදි ආණ්ඩුව පරාජය වූයේ බැක්සයිඩ් එක ආරක්ෂා කර නොගැනීම නිසාය. බැක්සයිඩ් එක ආරක්ෂා කර ගැනීම සඳහා මෙවන් දේ වලට ඉඩ නොතැබීමට අලුත් ආණ්ඩුව වග බලා ගත යුතුය.

Leave a comment