පුක්ඛේභාවය අහෝසි කරගත් සරසවි ශිෂ්‍ය ප්‍රජාව

Image may contain: 1 person

දර්ශ උදයංගගේ කතාවට ගැන මීට වඩා සමාජයේ කතාබහක් ඇති විය යුතු ව තිබේ. මේක හුදෙන් අහඹු සිද්ධියක් නෙවෙයි. මේක අඩුම තරමේ අවුරුදු 40 ක පමණ කාලයක් තිස්සේ ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල තුල පොදුවේ සිද්ධ වෙන ක්‍රියාදාමයකි.

නමුත් මේකෙ භයානක සහ විශ්මය ජනක දේ මේක නෙවෙයි. මේ නවකවදයට භාජනය වූ මේ එඩිතර සිසුවා හැර අතිමහත් බහුතර ශිෂ්‍ය ප්‍රජාව ඒ ගැන නිහඬව සිටීමයි. මේ දර්ශ උදයංගගේ බැචාලාට පමණක් නොව වසර 30-40ක මුළුමහත් සරසවි සිසු ප්‍රජාවට අදාළ පොදු කාරණාවකි. ඒ ඔවුන්ගේ පුක්ඛේභාවය අහෝසි වී ඇති නිසාද?

සමහරු නවකවදය “පොඩ්ඩක් තිබ්බට කමක් නෑ”, “ෆිසිකල් නැතුව කමක් නෑ”, “අන්තගාමී නොවී කුණුහරුපයක් දෙකක් කියලා විනෝද වීමක්” වගේ දේවල් වලින් නවකවදය සාධාරනීකරණය කිරීමට උත්සාහ කරති. නවකවදය කියන්නේ පරපීඩක කාමුකත්වය මිසක් වෙන කිසිම දෙයක් නොවේ.

රූපා රත්නශීලීගේ සිට නවකවදය නිසා සැලකිය යුතු ශිෂ්‍ය ජීවිත ප්‍රමාණයක් මේ වන විට අහිමි වී ඇත. 70 දශකයේදී රූපා රත්නශීලී නවකවදයේ පරපීඩක ලිංගික වද හිංසා දරා ගත නොහැකිව නේවාසිකාගාරයේ උඩුමහලින් බිමට පැන සදාකල් රෝද පුටුවෙන් යන තත්වයට පත් වූවාය. සරසවි අධ්‍යාපනය නතර වීමත් සමඟ ඇය නිසි රැකියාවක් නොමැතිව ගෙදර ඇඳුම් මසා විකිණීමෙන් වසර 22ක්මෙ දුක්ඛිත ලෙස දිවි රැකගත් ගත්තද, පසුව කඩා වැටුණ මනසින් රෝද පුටුවෙන්ම ගොස් ළිඳට පැන දිවි අහිමි කර ගත්තාය. මා ඉගෙන ගත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ මට වසර දෙකකට පෙර වාරප්‍රකාශ් සිසුවා අධික ශාරීරික නවකවදය නිසා මිය ගියේය. මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ නවකවද සමයේ සමලිංගික හිංසනයට ලක් වූ සිසුවෙක් පසු කාලයක ඒ නිසාම මානසික අසමතුලිතතාවට පත් වූවේය. විශ්ව විද්‍යාලය හැර ගොස් වසර ගණනාවකට පසුව ඔහුගේ විවාහ ජීවිතයත් ඒ නිසාම රැකියාවත් ඛේදනීය ලෙස අසාර්ථක වීම දක්වා ඒ සිද්ධි දාමය දික් වූයේය. පසුව නැවත පේරාදෙණියටම පැමිණෙන ඔහු එහිම ගසක ගෙල වැලලාගෙන මිය ගියේය. මෙවන් සිද්ධි විශාල ප්‍රමාණයක් උදාහරණ ලෙස දැක් විය හැකියි. . මිය නොගියත් නවකවදයේ බලපෑම නිසා මානසිකව ඇද වැටී අසාර්ථක වූ ජීවිත තවත් විශාල ප්‍රමාණයකි.

නවකවදය පෝෂණය කිරීම පසු පස ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට සම්බන්ධ ශිෂ්‍ය ව්‍යාපාරත් සිටිති. අද නිදහස හා සාධාරණත්වය ගැන බයිලා ගසන ඊනියා සිවිල් සමාජ ක්‍රියාධරයන් අත් වැල් බැඳගෙන ඉන්නේ ජවිපෙ සමඟයි. දළඳා පෙරහැරේ අලින්ට සිදුවන හිංසනය ගැන අධි සංවේදී මේ සිවල් සමාජ ක්‍රියාධරයන් නවකවදයේ ලිංගික හිංසනය ගැන කතා කරනවා ඔබට කවදාවත් ඇසී ඇත්ද?

Leave a comment