පියාණෝ ගැන මතක

මේ කතාව මට කිව්වේ 83 කළු ජූලි සංහාරය නිසා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ජ්‍යෙෂ්ඨ දෙමළ ඉංජිනේරුවෙක්. ඔහු 70 දශකයේ ලංකාවෙ වැඩ කර ඇත්තේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ. ඒ එවකට ඒ ආයතනය සමෘද්ධිමත්ව පැවති සමයේ. මේ කාලයේ පෑළියගොඩ පැත්තේ කුඩා හෝටලයක් පවත්වාගෙන ගිය කෙනෙක් ගැන ඔහු මට කීවා. මගේ මිත්‍ර ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයා ඇතුළු පිරිස මෙහි තේ බීමට නිතර යනවාලු. ඒ හෝටල් හිමියා සරම කැසපට කවාගෙන “එන්න මහත්තයා මෙතන වාඩි වෙන්න” යනුවෙන් ආචාර සම්පන්නව ඔහු ඇතුළු පිරිසට සලකනවාලු.

77 පෙරළියත් සමඟ මේ මුදලාලි අගමැති බවට පත් වූ ප්‍රේමදාස සමඟ තිබූ සමීප සබඳතා හේතුවෙන් සිය ව්‍යාපාර දියුණු කර ගත්තා. විශේෂයෙන් ගම් උදාවට අදාළ කොන්ත්‍රාත් සියල්ල ලැබුණේ ඔහු ඒ වන විට තම ව්‍යාපාරයේ නමින් ආරම්භ කර තිබූ කන්ස්ට්‍රක්ෂන් සමාගමට. පසු කලෙක එක් ගම් උදාවක ඉදි කර තිබූ යකඩ වහලයක ප්‍රමිතිය පරීක්ෂා කිරීමට භාර වූයේ මා මිත්‍ර ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාට. එහි වෙල්ඩින් වැඩ කර තිබුණේ නිසි පුහුණුවක් නැති පාරවල් අයිනේ වෑල්ඩින් වැඩපොළවල් පවත්වාගෙන යන වෙල්ඩින් කරුවන් පිරිසක් විසින්. මගේ මිත්‍ර ඉංජිනේරුවරයා එහි ප්‍රමිතිය බාල බව සඳහන් කරමින් සිය රපෝර්තුව කර තිබුනා. පසු දිනෙක ප්‍රේමදාස අගමැතිවරයා කඩි මුඩියේ වැඩ බිම පරීක්ෂා කිරීමට පැමිණ තිබුනා. ඒ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධානියාද සමඟ. මගේ මිත්‍ර ඉංජිනේරුවරයාද එහි කැඳවුනා. අදාළ යකඩ වහළය උඩ දෙස බැලූ ප්‍රේමදාස ජනාධිපතිවරයා “අයිසෙ මේකෙ වෙල්ඩින් නියමෙට කරල තියෙනව නේද?” යනුවෙන් සංස්ථා ප්‍රධානියා දෙස බලා තිබෙනවා. අර රිපෝට් එකත් ඉන් පසු කුණු කූඩයට. කතාව එතනින් ඉවරයි

අර මුදලාලි දැන් නැහැ. ඔහුගේ පුත්‍රයන් විසින් පවත්වාගෙන යන සමූහ ව්‍යාපාරය අද රටේ සුපතළ එකක්. ඒ මුදලාලිගේ නම “දුක දිනා ජයගත් ව්‍යාපාරිකයෙක්” ලෙස නොයෙක් තැන් වල අද සඳහන් වෙනවා මම දැකල තියෙනවා.

Leave a comment