දික්වැල්ලට හූ කීම

ළමා කාලයේ සහ තරුණ කාලයේ ක්‍රිකට් පිස්සෙක් වූ මට 2011 න් පසු ක්‍රිකට් පිළිබඳව තිබූ උනන්දුව බින්දුවටම ක්ෂය වුනා. ඊට පස්සෙ මම එකම් මෙල්බන් ටී-20 තරඟ දෙකක් හැරෙන්නට කිසිම ක්‍රිකට් තරඟයක් නරඹලා නැහැ. ඒ නිසා වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ගැනවත් ක්‍රීඩයකයන් ගැනවත් කිසිම දෙයක් මම දන්නෙ නැහැ. ඊයේ දින මෙල්බන් නුවට පැවති ඕස්ට්‍රේලියා සහ ශ්‍රීලංකා ටී-20 ක්‍රිකට් තරඟය නැරඹීමට ගියා. එහිදී ශ්‍රීලාංකිකයෝ සියළු දෙනා පාහේ පරාජය බලාපොරොත්තු වූ අතර එලෙසම ශ්‍රීලංකා පිල පරාජය වුනා. මට තරඟය ගැන දුකක් ඇති වුනේ නෑ. නමුත් තරඟය අතර වූ එක් සිද්ධියක් පිළිබඳව මට දුකක් ඇති වුනා.

තරඟය අතර තුර අඩු ළකුණුවලට දැවී ගිය දික්වැල්ල ක්‍රීඩකයා ගේ කෙටි සම්මුඛ සාකච්ඡාවක් ක්‍රීඩාංගණයේදීම පැවැත් වුනා. එහිදී ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා කළේ ඔහුට හූ කීමයි. මෙහිදී ප්‍රශ්න විචාරය කළ තරුණියට සිනහ පහළ වූ අතර බලවත් අපහසුතාවට පත් දික්වැල්ලගේ මුහුණ ඇඹුල් වී ගියා. ඒ වෙන තෙක් ඒ ගැන හැඟීමක් නොතිබූ මට ඒ අවස්ථාවේ ඔහු ගැන සංවේදීතාවක් ඇති වුනා. දික්වැල්ල පසුගිය කාලයේ ක්‍රීඩා කළ අන්දම ගැන මගේ කිසි වැටහීමක් නැහැ. නමුත් මගේ තක්සේරුව අනුව ඔහුට හූ කීම වැරදි වැඩක්.

ඔහු ඊට පෙර ක්‍රීඩා කළ කළුවිතාරණ හෝ සංගක්කාර මෙන් දක්ෂ නොවන්නට පුළුවන්. දික්වැල්ලට හූ කීවේ තරඟය මුලදීමයි. ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකින කාලය මුළුල්ලේ ඔහු කඩුළු රකින්නා ලෙස ක්‍රීඩා කළා. මම කල්පනා කළේ ඔහුගේ මානසික තත්වය කෙසේ තියෙන්නටද ඇත්ද කියා. මීට පෙර කොතරම් නරක ලෙස ක්‍රීඩා කළත් ශ්‍රීලාංකිකයෝ ශ්‍රීලාංකික ක්‍රීඩකයන්ට හූ කියනවා මම අහලා නැහැ.

දැන් මේක යටින් දික්වැල්ල ගේ ක්‍රීඩා කෞෂල්‍යය ගැන විචාර කොමෙන්ටු පළ වෙන්න පුළුවන්. මම මේ ලියන්නේ දික්වැල්ලගේ ක්‍රීඩා කෞෂල්‍යය ගැන විචාරයක් නෙවෙයි. වසර කිහිපයක සිට ශ්‍රීලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අන්දම හොඳ නැහැ. ඒවට හේතු තියෙන්න පුළුවන්. මට ඒ හේතු වැඩක් නැහැ.

දික්වැල්ල කියන්නේ මේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ නරකම ක්‍රීඩකයා වුවත් ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කරමින් විදෙස් රටක ක්‍රීඩා කරන අවස්ථාවක එම විදෙස් රටේ ජීවත් වන ශ්‍රීලාංකිකයන්ගෙන් හූ අසන්නට ලැබීම ඉතාම කණගාටුවට කරුණක්.

Leave a comment