මහැදුරු නලින් ද සිල්වා ගැන කතා

Image may contain: 1 person

නලින් ද සිල්වා ට සවන් දෙමු
2017 ජූනි 23

අප අද මුහුණ පා ඇති ප්‍රධානතම ගැටළුව නම් ගෙන එන්නට හදන අළුත් ව්‍යවස්ථාවයි. අළුත් ව්‍යවස්ථාව ගෙන ආවොත් එය සිංහල ජාතියේ අවසානය දක්වා යන ආපසු හැරවිය නොහැකි ගමනේ ආරම්භය වනු නියතයි. එසේ නම් අද අපගේ අභියෝගය වන්නේ අළුත් ව්‍යවස්ථාව ගෙන ඒම නතර කිරීමයි. එසේ නොමැතිව 2020 දී “පැවැත් වේ යැයි සිතා සිටින” ජනාධිපතිවරණයක ඒකාබද්ධ විපක්ෂ පිලේ අපේක්ෂක මහින්ද ද, ගෝඨාභය ද නැත්නම් වෙනත් කවුරුද යන්න නොවේ. එසේ නම් ව්‍යවස්ථාව ගෙන ඒම නතර කිරීමට කළ හැක්කේ කුමක්ද? මීට පිළිතුරක් කිසිම ජාතිකවාදියෙකු දක්වන්නේ නැත – නලින් ද සිල්වා මහතා හැර.

සමහරු විසඳුම ලෙස දකින්නේ මිනිසුන් පාරට බැස්සවිමයි. මිනිසුන් පාරට බැස්සවීම විකල්පයක් නොවේ. 13 වන සංශෝධනයට විරුද්ධව මිනිස්සු පාරට බැස්ස අතර සිදු වූයේ ලේ ගංගා ගලා යාම සහ 13 වන සංශෝධනය සම්මත වීම සහ ක්‍රියාත්මක වීම පමණකි. එසේ නම් අළුත් ව්‍යවස්ථාව ගෙන ඒම නතර කළ හැක්කේ කෙසේද? එය කළ හැක්කේ රනිල්ව ඉවත් කිරීමෙන් පමණකි. රනිල්ව ඉවත් කළ හැක්කේ කෙසේද? ජනාධිපති ලවා පමණකි.

දැන් නලින් ද සිල්වා මහතා මේ කතාව පවසන්නේ ටික දිනක සිටයි. නමුත් ජාතිකවාදීන්ගේ මහත් බහුතරය එය ගැන එතරම් තැකීමක් කරන බවක් පෙනෙන්නට නැත. වැඩි දෙනා කල්පනා කරන්නේ සිරිසේන ද්‍රෝහියකු බවත් ඔහු කිසිදා මහින්ද සමඟ එක් නොවන බවත් ය. මට ද එසේ සිතේ. නමුත් මීට වඩා සාර්ථක වෙනත් විකල්පයක් නැත. මහින්දව බැරි නම් රනිල්ව එළවා ඒකාබද්ධ විපක්ෂයේ වෙනත් අයෙකු අගමැති කළ හැක. ඒ බව නලින් ද සිල්වා මහතා කියයි.

කොටි ත්‍රස්තවාදය හමුදාමය ක්‍රියාමාර්ගයකින් අවසන් කළ හැකි බව නලින් ද සිල්වා මහතා පවසන විට ඒ බව විශ්වාස කළේ අතළොස්සකි. ජාතිකවාදීන් අතර පවා ඒ විශ්වාස කළේ කී දෙනාද?

කුප්‍රකට ජනවාරි 8 වැනිදාට පසු නලින් ද සිල්වා මහතා කියූ වැදගත් කාරණා තුනක් තිබේ:

1. පක්ෂයේ බලය අත් හැරීම මහින්ද රාජපක්ෂ කළ බලවත්ම වරද බව ඔහු කීවේ ඒ සිදු වූ සැනෙන්මය.
2. මහ මැතිවරණයට වෙනම තරඟ කරමු යැයි ඔහු කීවේය. වැඩි දෙන එය නොපිළිගත්හ.
3. 19 වන ව්‍යවථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය අත්සන් කිරීම වරදක් බව ඔහු කීවේය.

ආපසු හැරී බලන විට දැන් අපට පෙනෙන්නේ මේ කාරණා තුන සම්බන්ධයෙන් නලින් ද සිල්වා මහතා අතිශය නිවැරදි බවයි.

සිරිසේන ලවා රනිල් ඉවත් කර ගැනීම ගැන ඔහු කියන දේට සවන් දිය යුතුය. දැන් මෙතන සිරිසේනට බැනලා කොමෙන්ට් කිරීමෙන් පලක් නැත. උදේ හවස සිරිසේනටයි ආණ්ඩුවටයි බැනීම එක්තරා අන්දමක ස්වයං වින්දනයකි. මේ ස්වයං වින්දන වලින් ඈත්ව ප්‍රායෝගික විසඳුමකට යා යුතු කාලය දැන් එළඹ ඇත.

නලින් ද සිල්වා මහතා මේ කලියුගයේ අප රට බිහි වූ සැබෑම ප්‍රාඥයා යි. එපමණක් නොව ඔහු ලියන්නේ කිසිම වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොවන බවත් සැම දෙනාම දන්නා දෙයකි. (එවන් අය ඇත්තේ එක් අතක ඇඟිලිවලට අඩුවෙනි.) එතුමාට සවන් දෙමු.



නලින් ද සිල්වාගේ අන්තවාදී අනුගාමිකයන්
2018 සැප්තැම්බර් 18

මේ දවස්වල මහැදුරු නලින් ද සිල්වා බොහෝ සෙයින් විවේචනයට සහ ඇතැමුන්ගේ ගර්හාවට ළක් වෙනවා. හැමෝම එතුමා කියන දේ පිළිගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ. එක් එක් අය ඒ ඒ දේ වටහා ගන්නේ එකක් තමන්ගේ වැටහීමේ ශක්තිය අනුව සහ අනෙක අනෙක තමන් ඒ දක්වා අරගෙන ඇවිත් තියෙන යන උපාදානයන් අනුව. මේක මටත්, කා සැමටත්, මහැදුරු නලින් ද සිල්වාටත් පොදුයි. රාජපක්ෂ ආණ්ඩුව තියෙන කාලයේ එතුමා විවේචනය වූයේ රාජපක්ෂලාට කඩේ යනවා කියායි. අද ඔහු විවේචනය වන්නේ රාජපක්ෂ වාදීන් අතිනි. එදා විවේචකයන් අද වැඩි වශයෙන් මුහුණු පොතේ දක්නට නැති අතර අද විවේචකයන් වී සිටින සමහරෙක් එදාද දක්නට ලැබුනේ නැති වීම මෙහි එක් විශේෂයකි. අද විවේචකයන් බොහෝ විට විවේචනය කරනු ලබන්නේ “මම නලින් ද සිල්වාගේ අදහස් වලට ඉස්සර ඉඳන් ගොඩක් ගරු කරන කෙනෙක්, ඒත් …” ආදි වශයෙන් පටන් අරන්. මේ සම්බන්ධව දක්නට ලැබෙන අනෙක් විශේෂය එයයි.

මේ අතර වර්තමානයේ මහැදුරු නලින් ද සිල්වාගේ අදහස් පිළිගන්නා අයට ද “කියන කියන හැම එකක්ම පිළිගන්නා අන්ධ භක්තිකයන්” යනුවෙන් දෝෂාරෝපණයක් එල්ල වෙනවා. එක් අයෙක් සඳහන් “නලින් ද සිල්වාගේ අන්තවාදී අනුගාමිකයන්” යනුවෙන් අලුත් යෙදුමක් යොදා තියෙනවාද දක්නට ලැබුණා. මීට අනුව ඔහුගේ අනුගාමිකයන් අතර අන්තවාදී සහ අන්තවාදී නොවන දෙපිරිසක් ඉන්නවා වෙන්න ඕන.

ඔහුව විවේචනය කිරීම හෝ කරන්නන් සම්බන්ධයෙන් මට ගැටළුවක් නැහැ. නමුත් මේ විවේචකයන් පිළිගත යුතු කාරණය නම් ඔවුන්ට මහැදුරු නලින් ද සිල්වා විවේචනය කිරීමට ඇති අයිතියට සමාන අයිතියක් ඔහුගේ අදහස් පිළිගැනීම සඳහාද ඇති අතර, ඒ විවේචනයන් හට පිළිතුරු දීමට විවේචකයන්ට විවේචනය කිරීමට ඇති අයිතියට සමාන අයිතියක් ඇති බවයි. මේ නිසා නෝක්කාඩු කීම තේරුමක් නැහැ.

මා ද ඔහුගේ අදහස් ඇතැමක් පිළි නොගන්නා අතර ඊට හේතුවද මගේ වැටහීම් ශක්තිය සහ මගේ ඇතැම් උපාදානයන්ය. ඔහුගේ අදහස් සමහරක් පිළි අරගෙන සමහරක් පිළි නොගැනීමෙන් කිසිවකුට අමුතු පාණ්ඩිත්වයක් නොලැබෙන බවද මෙහිදී විශේෂයෙන් කිව යුතුයි.

Leave a comment