විශ්ව විද්‍යාල උප සංස්කෘතිය

මේ කියන්න යන්නේ පණ්ඩිත කතාවක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මේ අදහස විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මම අත් දැකපු දේවල් ඔස්සේ මට හිතුන දෙයක්. ඒ නිසා මම මේක කියනවා.

විශ්ව විද්‍යාලවලට උප සංස්කෘතියක් තියෙන්න පුළුවන්. විශ්ව විද්‍යාල විතරක් නෙවෙයි පාසල්, වෙනත් අධ්‍යාපන ආයතන, රැකියා ආයතන මේ වගේ ගොඩක් තැන්වල ඊට අනන්‍ය වූ උප සංස්කෘති තියෙනවා; එහෙම උප සංස්කෘති ඉබේ ඇති වෙනවා. ඉතින් විශ්ව විද්‍යාලවලටත් ඒ අනුව උප සංස්කෘතියක් තියෙන්න පුළුවන්. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාලවල එක් අනන්‍ය පැහැදිලි උපසංස්කෘතියක් ඇති වීමට බාධකයක්. ඒකට හේතුව පාසලක් වගේ නෙවෙයි විශ්ව විද්‍යාලයකට සංස්කෘතික වශයෙන් විශාල පරාසයක පුද්ගලයන් ඇතුළු වීම. මේ නිසා විශ්ව විද්‍යාලයක සිසුන් තුළ පොදු හැඟීමක් ඇති වෙනවාට වඩා විවිධ කල්ලි ගැසීම් ඇති වීමයි වෙන්නේ. සාමාන්‍යයෙන් පාසලකට අයත් වන්නේ සංස්කෘතික වශයෙන් වඩා සමාන තීරුවක අය. ඒ නිසා පාසලක විශ්ව විද්‍යාලයකට වඩා පොදු හැඟීම ඇති වෙනවා. පාසල් විඥාණය කියලා එකක් අඳුන ගන්න පුළුවන්.

විශ්ව විද්‍යාල තුළ ඇත්තටම තියෙන්නේ ගම සහ නගරය අතර ගැටුමක්. වාමාංශික දේශපාලන පක්ෂයක් විසින් මේ ගැටුම තම දේශපාලන ව්‍යාපාරයේ පැවැත්ම උදෙසා භාවිතා කිරීමයි සිද්ධ වෙන්නේ. ඔවුන් මේ ගම සහ නගරය අතර සංස්කෘතික ගැටුම ඊනියා පංති භේදයක් විදියට හුවා දක්වලා වවා ගෙන කෑමකුයි සිද්ධ වෙන්නේ. විශ්ව විද්‍යාල තුළ පවතින ඊනියා උපසංස්කෘතිය බලෙන් ඇති කරගෙන පවත්වාගෙන යන එකක්. ඒ ඊනියා උපසංස්කෘතියත්, නවකවදයත් අර සංස්කෘතික ගැටුමේ එක් ප්‍රතිඵලයක්.

විශ්ව විද්‍යාලවලට අනන්‍ය වූ උප සංස්කෘතියක් තිබිය හැකි වුවත්, විශ්ව විද්‍යාල තුල උප සංස්කෘතිය නමි ව්‍යවහාර වන්නේ එලෙස ස්වභාවිකව ඇති වූ උප සංස්කෘතියක් නොව බලෙන් ඇති කරන ලද උප සංස්කෘතියක්. පාසලක වගේ විශ්ව විද්‍යාල තුළ පොදු විඥාණයක් ගොඩ නැගෙන්නේ නෑ. ඒකට හේතුව පාසලකට ඇතුළු වෙන්නේ බොහෝ විට එකම සංස්කෘතික පරාසයක පිරිසක් වීමයි. මේ නිසා ඔවුන්ගේ රුචි අරුචිකම්, ඇවතුම් පැවතුම් අතර විශාල වෙනසක් පේන්න නෑ. නමුත් විශ්ව විද්‍යාලයකට විශාල සංස්කෘතික පරාසයක පිරිස් ඇතුළු වෙනවා. ප්‍රදේශ වශයෙනුත් ඔවුන් වෙනස්. මේ නිසා විශ්ව විද්‍යාල තුළ කල්ලි නිර්මාණය වෙනවා. නමුත් උප සංස්කෘතිය නමින් බලෙන් ඇති කෙරෙන හෙජමොනියක් තුළ මේ කල්ලි ගැසීම යටපත් කිරීමේ උත්සාහයක් තියෙනවා. මේ හෙජමොනික ආධිපත්‍යය පවත්වාගෙන යන්නේ වාමාංශික දේශපාලන පක්ෂකයට.

විශ්ව විද්‍යාල තුළ ඇති ගැටුම වාමාංශික පක්ෂයක නිර්මාණයක් නෙවෙයි. ඒක විවිධ සංස්කෘතික පරාසයක පිරිස් විශ්ව විද්‍යාලයට ඇතුළු වීම නිසා ඇති වූ තත්වයක්. මේ ගැටුම මම නම් දකින්නේ ගම සහ නගරය අතර ගැටුමක් විදියට. නාගරිකයෝ කොහොමත් අනුකාරත්වයෙන් වැඩියි. ග්‍රාමිකයන් ඔවුන් දකින්නේ අසංස්කෘතික (uncultured) පිරිසක් විදියට. ග්‍රාමිකයන් පහත් කිරීමට ඔවුන් ගොඩයන්, බයියන් වැනි වචන යොදා ගන්නවා. විශ්ව විද්‍යාල තුළත් ඉස්සර ඉඳන් මේ වෙනස පැවතිලා තියෙනව. 60 ගණන් වල විශ්ව විද්‍යාල වල නාගරිකයන් “කුල්ටන්” ලෙසත් ග්‍රාමිකයන් “හරමානිසාලා” ලෙසත් හඳුන්වා තියෙනවා.

බාහිර සමාජයේ සාමාන්‍යයෙන් ආධිපත්‍යය තියෙන්නේ නාගරිකයන්ට. උඩින් ගැමි සුන්දරත්වය ගැන මොන දේ කීවත් ගැමියන් සහ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් නාගරික සමාජයේ ගර්හාවට ලක් වෙනවා. මේ නිසා ගමෙන් එන පිරිස් තම ගැමිකම සඟවා ගෙන තමන්ට හැකි අයුරින් නාගරියකු වීමට උත්සාහ කරනවා.

බාහිර සමාජයේ එසේ වුවත් විශ්ව විද්‍යාල වල ආධිපත්‍යය තියෙන්නේ ග්‍රාමිකයන්ට. මේ හෙජමොනික ආධිපත්‍යය පවත්වා ගැනීමේ තීරණාත්මක කාර්යයක් කරන්නේ නවක වදයයි. නවක වදයේදී මූලික වශයෙන් නාගරිකයන්ගේ නාගරික සංස්කෘතිකාංග ගලවා දමා සියළු දෙනාම එකම මට්ටමකට ගැනීමේ උත්සාහයක් සිද්ධ වෙනවා. ඩෙනිම් කලිසම් ඇඳීම තහනම්, දාන්නේ රබර් සෙරෙප්පු, සිසුවියෝ අඳින්න ඕන චීත්ත රෙදි වලින් මහපු ගවුම්, කොණ්ඩා කොටට කැපීම නිසා කොණ්ඩාවල පවතින නවීන මෝස්තර ඉවත් වෙනවා. මේ ආකාරයෙන් නවකවදයෙන් පසු උප සංස්කෘතියක් සියළු දෙනා මත ආරෝපණය කෙරෙනවා.

මේ නිසා විශ්ව විද්‍යාල තුළ විශේෂයෙන් 70,80 දශක තුළ යම් කිසි මට්ටමක ව්‍යාජ සමානාත්මතාවයක් පැවතුනා කියල කියන්න පුළුවන්. විශ්ව විද්‍යාල තුළට පිවිසෙන නාගරික ඉහළ සංස්කෘතික සමාජ තීරුවල අයත් මේ තත්වයන් පිළිගෙන යම් ආකාරයට ඊට අනුගත විශ්ව විද්‍යාල ජීවිත ගත කළා. මේ නිසා ඔවුන් තම ජීවිතවල විශ්ව විද්‍යාල යුගයන් හීදී සමාජවාදීන්.

කෙසේ නමුත් විශ්ව විද්‍යාල තුළ පැවති මේ තත්වය 90 දශකයෙන් වගේ පස්සෙ වෙනස් වුනා කියලයි මට පේන්නෙ. ඊට ප්‍රධාන හේතුව 77 දරුවන් විශ්ව විද්‍යාලවලට පිවිසීම.

Leave a comment