පැරඩි සහ බොරු කොඩි

සමාජ ජාලයක් (Social Network) වන ෆේස්බුක් (Facebook) අපේ රටේ ජනතාව තම පුද්ගලික නෑ මිත්‍ර සබඳතා පවත්වා ගැනීමට භාවිතා කරති. එමෙන්ම බොහෝ දෙනෙක් එය සමාජ-දේශපාලන සංවාදවලට මෙන්ම මතවාද ප්‍රචාරණය සඳහාද බහුල වශයෙන් යොදා ගනිති. රටේ එතෙක් පැවති අනෙකුත් මාධ්‍යවලට සාපේක්ෂව නානා ප්‍රකාර මතිමතාන්තර, අදහස්වලට ෆේස්බුක් එක තෝතැන්නක් වී ඇත්තේ

  • එහි ඇති ලිහිල් වාරණ නීති
  • මුදලක් වැය නොවීම
  • තරාතිරම්වලින් තොරව විශාල පිරිසකට විවෘත වීම
  • ඕනෑම කෙනෙකුට ප්‍රවේශ වීමට ඉඩ තිබීම
  • අනන්‍යතාවක් අවශ්‍ය නොවීම

වැනි කාරණා නිසාය.

මේ හේතුව නිසා නා නා ප්‍රකාර මතවාද, අදහස් කිසිදු අවහිරයකින් තොරව ගලා යාමේ ඉඩකඩක් ෆේස්බුක් එක තුළ ඇති වී ඇත.

අපේ රටේ විශේෂයෙන් මෑත කාලයේ ජාතිය සහ ආගම සම්බන්ධ කාරණාවලට වැඩි ජනප්‍රියතාවක් ඇති වී තිබේ. ඒ නිසා ෆේස්බුක් එක තුළ ද ඊට අදාළ දේ වැඩි වශයෙන් ප්‍රචාරණය වීම ප්‍රවණතාවකි.

මේ ඉඩ ඔස්සේ තවත් ප්‍රවණතාවයන් දෙකක් ඇති වී තිබේ. ඒ බොරු කොඩි සහ පැරඩි ය.

බොරු කොඩි (False Flags)

බොරු කොඩි යනු තම මතවාදී සතුරා වෙනුවෙන් (බොරුවට ) පෙනී සිටිමින් අන්තගාමී සහ අගතිගාමී හැසිරීමක් පෙන්නුම් කිරීමයි. එසේ හැසිරීම තුළ තම මතවාදී සතුරා පිළිබඳ නරක චිත්‍රයක් සමාජයට ලබා දීම බොරු කොඩී ව්‍යාපෘතිවල අරමුණ වේ. https://en.wikipedia.org/wiki/False_flag

බොරු කොඩි විශාල වශයෙන් යොදා ගැනුනේ පසුගිය වකවානුවේ මුස්ලිම් විරෝධය මතු කිරීමටයි. ලංකාවේ මුස්ලිම්වරුන්ට, ඔවුන්ගේ ආගමට තදබල ලෙස අපහාස වන අන්දමේ පිටු විශාල වශයෙන් නිර්මාණය වුනි. එමෙන්ම සංවාද අවකාශ වල සැරිසරන, අනන්‍යතාවක් නැති මුස්ලිම් විරෝධී ෆේස්බුක් ප්‍රොෆයිල්ද විශාල වශයෙන් පසුගිය වකවානුවේ දක්නට ලැබිණි. මේවා දැන් වැඩි පුර දක්නට ලැබෙන්නේ නැත. මේවායෙන් සමහරක් ඒවා පිළිබඳව අපට කළ හැකි නිගමනය නම් ඒවා බොරු කොඩි බවයි.

පැරඩි (Parody)

මෑත කාලයේ ඇති වී ඇති අනෙක් වසංගත රැල්ල නම් පැරඩිය. පැරඩිවල අරමුණ යම් කිසි මතවාදයක් සමච්චලයට ලක් කිරීමයි. යම් කිසි මතවාදීමය පාර්ශවයක් සමච්චලයට ළක් කළ හැකි ආකාරයක් වන්නේ ඒ මතවාදයට පක්ෂව මෝඩ සහ අන්තගාමී අදහස් පළ කිරීමයි. පැරඩි වල කාර්යභාරය එයයි. https://en.wikipedia.org/wiki/Parody

මේ ආකාරයට නිර්මාණය කරන ලද ඇතැම් පැරඩි පිටු ඉහළ ජනප්‍රියතාවක් අත් කරගෙන ඇති අතර ෆේස්බුක් අවකාශය ගැන එතරම් පරිචයක් නැති ඇතැම් පිරිස් ඒවාට හසු වනවා සුලබව දක්නට ලැබෙන කාරණයකි. මෑතකදී එක්තරා ප්‍රකට වාමාංශික බ්ලොග්කරුවකුද පැරඩි වළක වැටී තිබෙනු දක්නට ලැබිණි.

බොරු කොඩි සහ පැරඩි අතර වෙනස ඇතැම් විට හඳුනාගැනීමට අපහසුය. එසේ වුවද මේ දෙකේම අරමුණ එකම වන අතර ඒ දෙකම පිටු දැකිය යුතු ප්‍රවණතාවයන්ය. ඉන් සැබෑ මතවාදී පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටින පිරිස්වලට තම මතවාදය ප්‍රචාරය කර ගැනීමට ඇති ඉඩ අහුරයි.

පහත පළ වන්නේ එවන් ෆේස්බුක් පැරඩි පිටු කීපයකි. මේවාට හසු නොවී පැරඩි වලවල් වල නොවැටීමට ෆේස්බුක් පරිහරණය කරන ජනතාව වග බලා ගත යුත්තේය.

31

2

4

Leave a comment