ජවිපෙ හෘද සාක්ෂිය

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණය සඳහා තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ “හෘද සාක්ෂිය” යන පාඨයයි. එය ඔවුන් කුමන අර්ථයෙන් යොදා ගත්තද ජවිපෙ ක්‍රියා කරන්නේ එම පක්ෂයේ පාක්ෂිකයාට තම හෘද සාක්ෂියට අනුව එම පක්ෂයට සහාය දිය හැකි අයුරකින්ද යන්න සැක සහිතය.

ජවිපෙ මූලාරම්භය සහ ඉතිහාසය ගැන දීර්ඝ විචාරයක් කිරීම අවශ්‍ය නැත. ඒ පිළිබඳව නොයෙක් පඬිවරු විවිධ අදහස් දක්වා ඇත. මගේ අදහස අනුව නම් ජවිපෙ බිහිවන්නේ:
1. 60 දශකයේ ලෝකයේ මාක්ස්වාදී දේශපාලනයේ තිබූ ප්‍රබෝධය (විශේෂයෙන් චේගුවේරාගේ ගරිල්ලා සටන්) ලංකාවට බලපෑම
2. නිදහස් අධ්‍යාපනය නිසා ඉහළ අධ්‍යාපන තත්වයක් ලබා කර ගත් වරප්‍රසාද අඩු ග්‍රාමීය තරුණයාට ඊට සාපේක්ෂව සමාජ තත්වයක් ලබා නොහැකි වීම

යන කාරණා දෙක මුල් කර ගෙනය.

ලංකාවේ අනෙක් වාමාංශික පක්ෂ කිසිවක් මෙරට මුල් ඇද ගැනීමට සමත් නොවීය. ඒවා අද හුදු බෝඩ් ලෑලි පමණක් වන අතර සමහරක් වාමාංශික පක්ෂ නඩත්තු වන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් ගේ මුදල් වලිනි. එසේ නමුත් ජවිපෙට මෙරට මුල් ඇද ගැනීමේ හැකියාවක් තිබිණි. අද එයට ඊටම අනන්‍ය වූ යම් කිසි මට්ටමක ජන පදනමක් ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාප, ශ්‍රිලනිප සහ වාර්ගික පදනමක් සහිත දෙමළ, මුස්ලිම් පක්ෂ හැරෙන්නට එලෙස ජන පදනමක්  ඇති එකම පක්ෂය ජවිපෙ පමණි. ජන පදනමක් ඇති වීම නිසා ඊට හිමි වී ඇති අනෙක් ලක්ෂණය නම් ජාවිපෙ පාක්ෂික විඥාණයක් ඇති පිරිසක් බිහිව සිටීමයි.

ජවිපෙ පාක්ෂික විඥාණයක් සහිත පුද්ගලයා එහි සැබෑ අනුගාමිකයා වේ. ජවිපෙට ඡන්දය දමන්නේ ඔහු ය. අද සමාජයේ සුලබව ජවිපෙ වර්ණනා කරන පිරිස් වේ. නමුත් ඔවුන් වැඩි දෙනෙක් ජවිපෙ පාක්ෂික විඥාණය සහිත පිරිස් නොවේ. ජවිපෙ පාක්ෂික විඥාණය සහිත පිරිස් හඳුනා සම්ප්‍රදායිකව හඳුනා ගත හැක. ඔවුන් මහත් බහුතරයකට ඇත්තේ ග්‍රාමීය පදනමකි. ඉනුත් බොහෝ පිරිසක් වරප්‍රසාද අඩු පවුල් පසුබිම් සහිත පිරිස්ය. බොහෝ දෙනෙක් සැලකිය යුතු අධ්‍යාපන මට්ටමක් ලබා ගත් අයවලුන් ය.

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වරප්‍රසාද ඉතාම අඩුම කෙනෙකුට වුවද ඉතාම ඉහළ අධ්‍යාපන මට්ටමක් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තාව සැලසී තිබේ. එහෙත් අපේ රටේ සමාජ මට්ටම නිර්ණය වීමට වෙනත් සාධකද බලපායි. ප්‍රධාන වශයෙන් කෙනෙකුගේ පුද්ගල සංස්කෘතිය සහ පවුල් පසුබිම ඊට බලපායි. (පුද්ගල සංස්කෘතිය කෙතරම් බටහිර අනුකාරකද යන්නයි එහිදී සැලකිල්ලට ගනු ලබන්නේ.) තම හැකියාව නිසා ඉහළ අධ්‍යාපන මට්ටමක් වෙත ළඟා වෙන තරුණයාගේ හෘද සාක්ෂිය මේ අවස්ථාවේ තමා ගෙන්ම ප්‍රශ්න කිරීමට පටන් ගනී. ඉන් ඇතැමෙක් තුළ ජවිපෙ පාක්ෂික විඥාණය හට ගනී. ජවිපෙ පාක්ෂිකයාගේ සැබෑ හෘද සාක්ෂිය එයයි. හැටේ දශකයේ සිට මෑතක් වනතුරුත්,  සන්නද්ධ අරගල දෙකකින් සමතලා වූ පසුවත් ජවිපෙ පාක්ෂිකයාගේ සැබෑ හෘද සාක්ෂියව තිබුනේ එයයි.

මෙලෙස ජවිපෙ විඥාණයක් සහිත පුද්ගලයන් පැහැදිලිව හඳුනා ගත හැකි ලක්ෂණ සමුදායක් විය. ඔවුන්ගේ පුද්ගල සංස්කෘතියට හිමි අනන්‍යතා ලක්ෂණ සමූහයක් විය. අද විශාල පිරිසක් ජවිපෙ වර්ණනා කරති. නමුත් කිසිවෙක් ජවිපෙ පාක්ෂිකයන්වත් ජවිපෙ විඥාණයක් සහිත පිරිස් නොවේ. අද ජවිපෙ වර්ණනා කරන වැඩි පිරිස කොළ පාට විඥාණයක් සහිත පිරිස් ය. ඔවුන්ට යටකී අනන්‍යතා ලක්ෂණ නැත.

ඊට සමගාමීව ජවිපෙ හෘද සාක්ෂිය මෑතක දී ඉතා විශාල විපර්යාසයකට බඳුන් විය. එහි වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ පක්ෂය විශාල වශයෙන් කොළ පාට කරණයකට ලක් විය. ජවිපෙ මෑතකදී පවත්වන ලද සමුළුවට ජිප්සීස් සුනිල් පෙරේරාට ආරාධනය කර තිබුණි. එය අප දන්නා ජවිපෙ සංස්කෘතියට අනුගත යමක් නොවේ. ජවිපෙ සම්ප්‍රදාය විමුක්ති ගී ය, ගුණදාස කපුගේ ය, නන්දා මාලනී ය. “යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යත්දී…” වැනි ගීතය. සුනිල් පෙරේරා ගේ “ඕයේ ඔජායේ…” වත් “පිටි කොටපන් නෝනේ…” වත් නොවේ. එමෙන්ම ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටින ඇතැම් චරිත කිසි ලෙසකින් සම්ප්‍රදායික ජවිපෙ අනුගමිකයන්ට හිමි පුද්ගල සංස්කෘතියක් හිමි අය නොවේ.

එදා ජවිපෙ රනිල් ගේ දේශ ද්‍රෝහී ආණ්ඩුවක් බිහි වීම වැළැක්වීම පිණිස සන්ධානය සමඟ පරිවාස ආණ්ඩු බිහි කර දේශප්‍රේමී පියවර ගත් පක්ෂයකි. 2005 දී චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩල පිහිටුවන විට කොන්ද කෙළින් තබාගෙන ඉන් ඉවත් වූ පක්ෂයකි. ජවිපෙ ගමන ගැන පැහැදුණ මහජනතාව නමක් ගමක් කලින් නොඇසූ ජවිපෙ පාක්ෂිකයන්ව 2004 පාර්ලිමේන්තු මැතිවර්ණයේදී ඒ ඒ දිස්ත්‍රික්ක වලින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යැවූහ. ඉන් පසු පැවති පළාත් සභා මැතිවරණවලදීත් එසේම විය. එකළ ජවිපෙ රටේම හෘද සාක්ෂිය දිනා ගනිමින් සිටියහ. එහෙත් ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ක්‍රමිකව ඒ ගමන කණ පිට හැර වූහ. අද ජවිපෙ යන්නේ කොහෙදැයි ජවිපෙ පාක්ෂිකයා තම හෘද සාක්ෂියෙන් ඇසිය යුතු කාලය එළැඹ ඇත.

 

 

 

One thought on “ජවිපෙ හෘද සාක්ෂිය

  1. දැන් ජවිපේ ඉස්සරටත් වඩා ප්‍රායෝගික දේශපාලනය කරනවා…… වැදගත් වෙන්නේ ජවිපෙ වගේ තුන්වැනි බලවේගයන් ශක්තිමත් කිරීමයි…… ඒක තමයි මේ ප්‍රධාන පක්ෂ දෙක පාලනය කරන්න තියෙන හොදම විදිහ

Leave a comment