කොරෝනා ගැන කතා

එක්ව ව්‍යසනයෙන් ගැලවෙමු
2020 මාර්තු 18

මේ ඇති වෙලා තියෙන ව්‍යසන තත්වයෙන් ලෝකය කොහොම හරි ගොඩ යන්න ඕන. මේ අවස්ථාවේ මේ රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් විසඳුමක් තියෙනවද, පෙරදිග වෙදකමෙන් දැනුමක් තියෙනවද වගේ දෙපැත්තට බෙදිලා “අරක ෆේල් මේක ෆේල්” වගේ බාල මට්ටමේ තර්ක විතර්ක කරලා වැඩක් නෑ. මේ රෝගය සුව කරන්න බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධයක් නැහැ වගේම පෙරදිග වෙදකමේත් මම දන්න තරමින් ඖෂධයක් නැහැ. බුදුන් වහන්සේ වැඩ උන් කාලයේ පටන් පෙරදිග රටවල වසංගත රෝග ඇති වෙලා මිනිස්සු මැරිලා තියෙනවා. ඒවට සියයට සියයක් සාර්ථකව මුහුණ දෙන්න පෙරදිග තිබූ වෙදකම් ක්‍රමවලටත් බැරි වෙලා තියෙනවා. මේ වගේ වසංගත තත්ව ලෝකයේ කාලයෙන් කාලයට ඇති වෙනවා. ඒවට මිනිසුන්ගේ යහපැවැත්ම වගේ දේවලුත් බලපානවා.

නමුත් මේ රෝගයට මුහුණ දීමේදී මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගන්න කළ හැකි දේවල් පෙරදිග වෙදකමට අනුව දැක්වෙනවා. මම දැක්කා එක බටහිර වෛද්‍යවරයෙක් කියනවා පෙරුම්කායම්, කොත්තමල්ලි වගේ දේවල් මේ රෝගයට විසඳුමක් නෙවෙයි කියලා. මේ වගේ කතා මාධ්‍යවලට ඇවිල්ලා කියන එක වැරදියි. කොත්තමල්ලි, ඉඟුරු වගේ දේවල් වලින් ප්‍රතිශක්තිය දියුණු වෙනවා. චන්න ජයසුමන මහතා මේ පිළිබඳ හොඳ උපදෙස් කිහිපයක් දෙනවා මම දැක්කා.

විශේෂයෙන් සෙම් රෝග සම්බන්ධයෙන් ගන්න ඕන කෑම සහ නොගන්න ඕන කෑම වර්ග මොනවද කියන එක පෙරදිග වෙදකම අනුව පැහැදිලිවම දැක් වෙනවා. බටහිර වෙදකමට අනුව එහෙම එකක් නෑ. ඕන දෙයක් කන්න කියලයි කියන්නේ. නමුත් කෑම වර්ග අනුව සිරුරේ සෙම් ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. වැඩි පුර සෙම් ප්‍රමාණයන් තිබීම මම හිතන්නේ ආසාදනයන් ඇති කරන්න උදව් වෙනවා. ඉඟුරු වගේ ආහාර වලින් සිරුරේ සෙම් ප්‍රමාණය තුනී වෙනවා.

ඒ වගේම බටහිර වෙදකම වර්ධනය වී ඇති ආකාරයට එහි ඇති තාක්ෂණික දියුණුවත් එක්ක ඔවුනට නොයෙක් දේ කරන්න පුළුවන්. මේ රෝගය හා සටන් වැදීමේදී මිනිස් සිරුර ස්වභාවිකවම නිපදවන ප්‍රතිදේහ අධ්‍යයනය කරලා එන්නත් නිපදවීමේ හැකියාවක් බටහිර වෙදකමට තියෙනවා. මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු වෛද්‍ය කණ්ඩායමකුත් මේ දිනවල පර්යේෂණ කරනවා.ඒ සාර්ථක වුවහොත් මේ ව්‍යසනයෙන් ගැලවීමේ හැකියාව අපට තියෙනවා. ඔවුන්ගේ අධ්‍යයන සාර්ථක වේ යැයි ප්‍රාර්ථනා කරනවා.

මීළඟට මේ ව්‍යයසනයෙන් ගැලවීමට අධ්‍යාත්මික ශක්තියත් දියුණු කර ගැනීම අවශ්‍යයි. අධ්‍යාත්මික ශක්තිය දියුණු කර ගන්නවා කියන්නේ ගමටම ඇහෙන්න පිරිත් දේසනා දාල තියෙන එක විතරක් නෙවෙයි. සීලයෙන් දියුණු වීමත් වැදගත්.

හැමෝම එකතු වෙලා මේ ව්‍යසනයෙන් ගැලවෙන්න අනෙකාට උදව් වෙමින් කටයුතු කරමු.



ඉතාලියෙන් ආ කොරෝනා
2020 මාර්තු 21

1. රාගම රෝහලෙ ප්‍රතිකාර ගනිමින් ඉන්න රෝගියෙක් පරීක්ෂා කළාම කොරෝනා.පසුව විමසද්දි ඉතාලියෙන් පැමිණ සැඟව සිටින අයවලුන් සමඟ සාදයකට සහභාගී වූ අයෙක්. මේ නිසා ඒ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑහෙන දෙනෙක් නිරෝධායනයට ලක් කරන්න වෙලා.

2. මුන්දලම පැත්තෙ කෙනෙක් වාහනයක් අනතුරට ලක් කරලා පොලිස් අත් අඩංගුවට අරන් ඉද්දි උණ හැදිලා. පරීක්ෂා කරනකොට කොරෝනා. පස්සෙ බලද්දි ඉතාලියෙන් ආපු කෙනෙක්.

3. ඉතාලියෙන් ආපු තව පිරිසක් ඇඳිරි නීතිය අතරතුර පුත්තලම ඉඳන් මන්නාරම පැත්තට පැනල යද්දි අත් අඩංගුවට අරන්.

ඉතාලියෙන් ආපු ගොඩක් දෙනෙක් මේ වගේ හැංගිලා ඉන්නේ ඇයි? බූරුවො වගේ හැසිරෙන්නෙ ඇයි? මොකද මේකට හේතුව? කොරෝන තියෙනව කියල දැන ගත්තොත් උන්ව හිරේ දානවද? නිරෝධායනය කියන එකේ තේරුම ඔවුන් දන්නෙ නැද්ද? ආණ්ඩුවෙන් මේ ගැන දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් යෙදුවා නම් ඒකත් හොඳයි කියල හිතෙනවා.

ඒ වගේම බුද්ධි අංශ යොදලා මාර්තු මුල ඉඳන් ඉතාලියෙන් ආපු අයව සොයා ගන්න එක වැදගත්. නැතිනම් මේක වේගයෙන් පැතිරෙයි.



ඩෙංගු සහ කොරෝනා
2020 මාර්තු 28

ඩෙංගු රෝගය ලංකාවෙ පසුගිය කාලෙ ව්‍යාප්ත වුන විදිය බලන්න. ඩෙංගු හැදෙන්නෙ ඩෙංගු රෝගියෙකුගෙන් ලේ බීපු ඩෙංගු වර්ගයේ මදුරුවෙක් තවත් කෙනෙකුගේ ලේ බිව්වොත් විතරයි. (මම වැරදි නම් නිවැරදි කරන්න.) මේකට තියෙන්නෙ කොතරම් අඩු සම්භාවිතාවක්ද? එසේ තිබියදීත් ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්ත වුනා වසංගතයක් වගේ. ඩෙංගු වලින් බේරෙන්න තියෙන හොඳම දේ තමයි ඩෙංගු වැළඳුණ කෙනෙක් ඉන්නව නම් ඔහුව මදුරුවන්ගෙන් පරිස්සම් කර ගන්න එක.

ඩෙංගු මදුරුවො බෝවන තැන් හොය හොය ඉන්න එකෙන් ඩෙංගු මර්ධනය කරන්න අමාරුයි. කැළේ වතු පිටිවල වැටිල තියෙන කොළේක එකතු වෙලා තියෙන වතුර පොඩ්ඩක වුනත් ඩෙංගු මදුරුවට පහසුවෙන් බිත්තර දාන්න පුළුවන්. මේ වගේ තැන් ඔක්කොම වළක්කන්න අමාරුයි. නමුත් ඩෙංගු හැදුන කෙනෙක්ව මදුරුවො කන්නෙ නැතුව සුව වෙන කල් තියා ගන්න අමාරු නැහැ.එච්චර අඩු සම්භාවිතාවක් තියෙන ඩෙංගු ව්‍යාප්ත වෙන එක අඩු කරන්න ලංකාවෙ එච්චර අමාරු නම්, ඊට වඩා වේගයෙන් බෝවන කොරෝනා ව්‍යාප්ත වෙන එක අඩු කර ගන්න ලංකාවෙ ලොකු සටනක් කරන්න වෙයි.



අඥාණ හැසිරීම්
2020 මාර්තු 28


ඉතාලියෙන් ආපු අය අඥාණ විදියට හැසිරිලා ලංකාවෙ කොරෝනා රෝගය ව්‍යාප්ත කරන්න කටයුතු කරලා තියෙනවා. මේකට ඔවුන් එතරම් උගත් නොවීම හේතුවක් විදියට දෙනවා. ඒක එහෙමද?

පසු ගියදා යුරෝපයේ ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන් පිරිසක් නැවත ලංකාවට ඇවිත් තියෙනවා. ඔවුන්ට දවස 14ක් නිවෙස තුළ නිරෝධායනය වෙන ලෙස දැනුම් දී තියෙනවා. ඔවුන් පැමිණ දින දෙකකට පසු එක් සිසුවෙකුගේ පියාගේ මිතුරෙකු වන ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් දුරකථනයෙන් ඒ පියාට කතා කරලා ඔහුගේ තතු විමසලා තියෙනවා. ඒ අවස්ථාවේ ඒ සිසුවා මිතුරන් සමඟ ගල්කිස්සේ මුහුදු වෙරළට ගිහිල්ලා.(මේක එම විශේෂඥ වෛද්‍යවරයා මාධ්‍යයක පළ කර අදහසක්.)

ඉතින් මෙතන උගත් කමේ සම්බන්ධයක් තියෙනවද කියලා ඔබම හිතා ගන්න.




අපට ගැල විය හැකියි
2020 මාර්තු 28

ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ඝාතිය (Exponential) වර්ධනයක් පෙන්නුම් කරන්නෙ නෑ. හමු වූ රෝගීන් බොහෝ දෙනා විදෙස් රටවල සිට පැමිණි අය සහ ඔවුන්ගෙන් බෝ වූ අය. ඝාතීය වර්ධනය ආරම්භ වන්නේ වයිරසය ප්‍රජාව තුළට ගියාට පසුවයි (Community Acquisition ). චීනයේ වුනේ ඒක. යුරෝපයේ සහ ඇමෙරිකාවේ දැන් වෙමින් පවතින්නෙත් ඒක. ලංකාවේ එවන් තත්වයක් තාම නෑ. ඒ නිසා ඉදිරි කාලය පරිස්සමින් කටයුතු කළහොත් රෝගය ව්‍යාප්ති වීම ලංකාවේ නතර කළ හැකියි. නමුත් යුරෝපයේ, ඇමෙරිකාවේ ඊට දැන් ප්‍රමාද වැඩියි. ඒ රටවල බොහෝ දෙනා රෝගයට ගොදුරු වේවි.



ඉලක්කම් ගැන අනවශ්‍ය අවධාරණය
2020 මාර්තු 28

මේ දවස්වල ප්‍රධාන මාධ්‍යවලත්, සමාජ මාධ්‍යවලත් කොරෝනා රෝගය හැරෙන්න වෙන දෙයක් යන්නෙ නැති තරම්. ඊයේ ලංකාවෙ කී දෙනෙක් හම්බ වුනාද? ඉතාලියේ කී දෙනෙක් මැරිලද?

මම හිතන්නේ මේ පිළිබඳව නිතරම කියවමින්, තොරතුරු රැස් කර ගනිමින් ඕන වට වඩා තොරතුරු වලින් ඔලුව පුරවා ගන්න එකත් එතරම් සුබ දායක එකක් නෙවෙයි. කළ යුත්තේ ආරක්ෂා වීමට අවශ්‍ය මූලික සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගනිමින්, ප්‍රතිශක්තිය වැඩිදියුනු කිරීමට කොත්තමල්ලි ඉඟුරු ආදිය පානය කරමින් ගමන් බිමන් අඩු කරගෙන හැකි තරම් නිවසට වෙලා ඉන්න එකයි. සීලය ආරක්ෂා කර ගැනීමත් වැදගත්. ඒ හැරෙන්නට දවසට උදේ සහ හවස දිනකට දෙවතාවක් පමණ මේ පිළිබඳ පිළිගත් මාධ්‍යවල පළ වෙන ප්‍රවෘත්ති නැරඹීම ප්‍රමාණවත්.

ඒ හැරෙන්නට ඉතාලියේ අද මෙච්චර හම්බ වුනා, ස්පාඤ්ඤයේ මෙච්චර මැරුනා ආදි වශයෙන් මේ රෝගය ගැනම දවස පුරා සෙවීම එතරම් සුබ දායක නැහැ.

යූටියුබ් ශිලිපීන්ගේ කොරෝනා වැඩසටහන
2020 අප්‍රේල්
4

Image may contain: 3 people

ලංකාවේ යූටුබය මඟින් ජනප්‍රිය වුන විකට ශිල්පීන් සියළු දෙනා එකතුවෙලා කෝවිඩ්-19 දැනුවත් කිරීම සම්බන්ධයෙන් වැඩසටහනක් කරල තියෙනවා. මම ඒක දැක්කම ගොඩක් සතුටු වුනා. මේ රංගන ශිල්පීන් සියළු දෙනා ඉතාම දක්ෂ අය.

නමුත් මගේ සතුට පහව යන්න විනාඩි දෙක තුනක් ගියේ නෑ. මේ වැඩසටහනෙන් පාරම්පරික දේශීය වෙදකමට අපහාස කෙරුණා.

අනිත් අය ගැන කෙසේ වෙතත් යම් කිසි බුද්ධියක් තියෙනව කියල හිතෙන ගාමින්ද වගේ අයත් මේකට හවුල් වුන එක ගැන කණගාටුයි.



රජයේ (බටහිර) රෝහල්වල දේශීය වෙදකම එපාද?
2020 අප්‍රේල් 8

බටහිර වෛද්‍යවරුන් පිරිසක් මුහුණුපොතේ තර්ක කර ඇත්තේ කොරෝනා රෝගය වැළඳුණු විට ඊට දේශීය ප්‍රතිකාර කිරීමට අවැසි නම් ඒවා රජයේ බටහිර වෙදකම කෙරෙන රෝහල්වල නොව ආයුර්වේද හෝ දේශීය ප්‍රතිකාර කෙරෙන තැනක සිදු කළ යුතු බවයි. නමුත් මීට දැනට ඉඩක් තිබේද? ලංකාවේ මා දන්නා පරිදි කොරෝනා වැළඳුණු රෝගීන් රජයේ නියමයෙන්ම රජයේ රෝහල්වලට ඇතුළු කෙරෙති. වෙනත් රෝග වලට මෙන් තමන් කැමති ප්‍රතිකාරයක් ලබා ගැනීමේ නිදහස ඒ නිසා කොරෝනා රෝගීන්ට අහිමි වී ඇත. සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගතයක් නිසා රජයේ මේ ක්‍රියාමාර්ගයේ වරදක් කීමට නොහැක

මීට දේශීයප්‍රතිකාරයක් ඉදිරිපත් කර ඇති හෙළ සුවය ආයතනය තම ප්‍රතිකාරය කිරීමට රජයේ රෝහල්වල පහසුකම් (මා දන්නා තරමින්) ඉල්ලා නැත. රජයේ රෝහල්වල මේ දේශීය ප්‍රතිකාරය ඉල්ලීමට යෝජනා කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඇතුළු බටහිර වෛද්‍යවරුන් ඇතුළු පිරිසකි.

දැන් රජයට හෝ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට ගන්නට ඇත්තේ පියවර දෙකකින් එකකි. එකක් කොරෝනා වැළඳුණු රෝගීන් බලෙන් රජයේ රෝහල්වලට යැවීම නතර කොට ඔවුන් කැමති වෙදකමක් කිරීමට ඉඩ හැරීමයි. එසේ නැතිනම් රජයේ රෝහල්වල රෝගීන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ එකඟතාව පරිදි දේශීය ප්‍රතිකාර කිරීමට සැලසීමයි. (රජයේ රෝහල්වල දේශීය ප්‍රතිකාර වලට අකමැති රෝගීන්ටද බටහිර වෙදකමේ ඇති මැලේරියා පෙති වැනි යම් කිසි ප්‍රතිකාරයකට ඉඩ තැබිය යුතුය.)

රජයේ රෝහල් යනු “සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය” යටතේ පාලනය වෙන ආයතන ව්‍යුහයකි. ඒවායේ කෙරෙන්නේ කුමක්ද යන්න ගැන අවසන් තීරණය ඇත්තේ එම අමාත්‍යාංශයට විය යුතුය. ව්‍යසන අවස්ථාවල සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව කටයුතු කිරීමට රටවල් ක්‍රියාකරති. විදෙස් රටවල පුද්ගලික රෝහල් වල කටයුතු ඒ රටවල රජයේ නියමයෙන් වෙනස් කෙරිණි.

මට නම් මේ අවස්ථාවේ මෙතන මූලික වන්නේ මිනිසුන්ගේ ගේ ජීවිත සහ ඊට පසුව රටේ ආර්ථික සුභ සිද්ධියයි. අනිත් කාරණා ද්විතීකය.

වෙන්ටිලේටර්
2020 අප්‍රේල් 9

බටහිර විද්‍යාවට අනුව හදපු වෙන්ටිලේටර් පාවිච්චි කරන්න අයිතිය ඉල්ලනවා නම් ගමන් බටහිර ක්‍රමයට තමන්ගේ වෙදකමේ සඵලබව පෙන්විය නොහැක්කේ මන්දැ‍යි එක් මූණුපොත් වාසී බටහිර වෛද්‍යවරයෙක් අසා තිබුනා.

පළවෙනි කොටම මේ තර්කය සාධාරණ නම් සිංහල වෙදකම කළ යුත්තේ 100%ක්ම මුලුමනින්ම බටහිර ආධිපත්‍යය ලෝකයේ පැතිරීමට පෙර අප රටේ තිබුණ තාක්ෂණය අනුවය. මේ අනුව වෙන්ටිලේටර් නොව රෝගියාට බෙහෙත් සීට්ටුව ලිවිය යුත්තේ කඩදාසියක පෑනෙන් නොව තල්පතක පන්හිඳකිනි. වෙද මහත්තයා ළඟට රෝගියා ගෙන යායුත්තේ වාහනයකින් හෝ ගිලන් රථයකින් නොව බර කරත්තයෙනි.



කෝවිඩ්-19 සහ දේශීය වෙදකම ගැන මගේ අදහස
2020 අප්‍රේල් 12

කෝවිඩ්-19 රෝගය වැළඳෙන්නේ වයිරසයක් නිසා බවයි කියැවෙන්නේ. වයිරස රෝග අපේ පැරණි ක්‍රමයට හැඳින්වූයේ දෙයියන්ගේ ලෙඩ කියාය. දෙයියන්ගේ ලෙඩ සුව වන්නේ ඉබේය. ඉබේ සුව වනවා කීවාට ඒ රෝග සුවවන්නේ සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිසාය. ඊට තරමක් කල් යයි. කෝවිඩ්-19 රෝගයෙන් රෝගීන් මිය යන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය මඟින් වයිරසය ප්‍රහීණ කිරීමට පෙර පෙනහළු අසාධනය උච්ච වී අක්‍රීය වීමෙනි.

සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට කොත්තමල්ල්ලි, වෙනිවැල්ගැට ආදී නොයෙක් ඖෂධ වලට පිළිවන්ය. සිංහල වෙදකමේ මෙන්ම ආයුර්වේදයේත් කෝවිඩ්-19 සඳහා කෙරෙන ප්‍රතිකර්ම වලින් සිදුවන්නේ ඒ දේය. ඊට අමතරව ඉඟුරු වැනි ඇතැම් ඖෂධ වලින් සිරුරේ වැඩියෙන් නිපදවෙන සෙම් ඉවත් කිරීමට ආධාර කර ආසාධානයන් ඇති වීමට ඇති ඉඩ අඩු කරන බව කියැවේ.

මෙවන් අවස්ථාවල ඇතැම් බටහිර වෛද්‍යවරුන් කියන්නේ “ඒවා කොහොමත් ඉබේ සුව වන ලෙඩ බවයි”. ඉබේ හොඳ වන ලෙඩක් නැත. ලෙඩේ හොඳවන්නේ සිරුර ඊට එරෙහිව සිරුර ක්‍රියාකාරී වීම නිසාය. ඊට ඖෂධවල රුකුලක් ඇත.

කෙසේ නමුත් කෝවිඩ්-19 වයිරසය ඉතා ඉක්මනින් පෙනහළු ආසාධනය කරන නිසාත්, ඉක්මනින් බෝවන නිසාත් රෝග ලක්ෂණ පහළ වූයේ නම් අප කළ යුත්තේ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමයි. මේ රෝගය වෙනත් රෝගයක් මෙන් නොව රජය විසින් විශේෂයෙන් අධීක්ෂණය කෙරෙන වසංගත තත්වයකි. ඒ නිසා රජයට සහාය දීම අපේ යුතුකමයි.



ඇඳිරි නීතිය දාපු එක වැරදිද?
2020අප්‍රේල් 12

මම දැක්කා අපේ රටේ ඇඳිරි නීතිය දාපු එකට විරුද්ධව නොයෙක් දෙනා කතා කරලා තියෙනවා. රාජිතට සම්බන්ධ වෛද්‍යවරයෙක් මෙන්ම සඟ සතු කළ පක්ෂයක අයත් මේ කතාව කියල තිබුනා. මොවුන්ගේ තර්කය ඇඳිරි නීතිය නිසා රටේ ආර්ථිකයට විශාල හානි වෙන බව සහ වෙනත් ඇතැම් රටවල් ඇඳිරිනීතිය වෙනුවට වඩා ලිහිල් ලොක් ඩවුන් ක්‍රම වේදයන් අනුගමනය කරන බවයි.

උදාහරණයක් විදියට ඕස්ට්‍රේලියාවේ ඇඳිරිනීතිය දාලා නෑ. මිනිසුන්ට

1. ආහාර වැනි අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමට (ඒ සඳහා වෙළඳ සැල් සුපුරුදු පරිදි විවෘතයි.)
2. රාජකාරි සහ අධ්‍යාපන කටයුතු සඳහා
3. ලිහිල් ව්‍යායාම සඳහා
4. බෙහෙත් මිලදී ගැනීම වැනි සෞඛ්‍ය හේතු

නිවසින් බැහැර විය හැකියි. මේ නිසා ආර්ථිකයට වෙන බලපෑම් අඩු කරගන්න පුලුවන්.

නමුත් ලංකාවේ මේ වගේ දෙයක් කරන්න බෑ. මිනිස්සුන්ට බස්වල කෝච්චිව්ල වැඩට යන්න පුළුවන් නම්, ඕන වෙලාවක බඩු ගන්න කඩවල් ඇරලා නම් මිනිස්සු ලංකාවෙ කිසිම ආකාරයක සෝෂල් ඩිස්ටන්සින් එකක් වෙන්න බෑ. මිනිස්සු වෙනදා මෙන් රිසි සේ සැරිසරාවි. මෙතන සැලකිය යුතු කාරණාව නම් ඕස්ට්‍රේලියාව වැනි රටවල ජන ගණත්වය ලංකාවට සාපේක්ෂව අඩු වීම. ඒ නිසා වෙළඳ සැල් විවෘතව පැවතියත් මිනිසුන් අතර පරතරය පවත්වාගෙන ඉන්න පුළුවන්.

ලංකාවෙ ඒක කරන්න බෑ. සාමාන්‍යයෙන් ලංකාවෙ මිනිස්සු බස් එකේ කඩපිලේ එකිනෙකා ගේ සිරුරු පවා ස්පර්ශවන මට්ටමකට හැසිරීම සාමාන්‍ය දෙයක්. නමුත් බටහිර රටවල එලෙස සිරුරු එකිනෙකට ස්පර්ශ වෙන ලෙස හැසිරීමක් වෙන්නෙ නෑ. වැරදීමකින් හෝ කෙනෙකුගේ අඟේ ගැටුනොත් සමාව ඉල්ලීම සිදු කරනවා. මම කියන්නේ ලංකාවෙ ඒ හැසිරීමේ වරදක් කියා නොවේ. ඒක අපේ හැටි. නමුත් මේ වගේ අවස්ථාවක වසංගත පාලනයට එය උදව්වක් වෙන්නෙ නෑ. ඇරත් මීටරයක පරතරය පවත්වාගෙන ලංකාවෙ නගරයක ඇවිද යන්නවත් බැහැ.

මේ නිසා ලංකාව මේ ගෙන අරගෙන තියෙන ක්‍රියාමාර්ග කළ යුතු ම දේවල්. ඒ වගේම ලංකාවේ රජය, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය සේවා අංශ තුනම වෙනත් රටවලට සාපේක්ශව ලෝකයේ ඉහළම ආකාරයෙන් කටයුතු කරනවා. ඒක පැහැදිලිවම කියන්න පුළුවන්.


ලොක් ඩවුන්, එන්නත් සහ හර්ඩ් ඉමියුනිටි
2020 අප්‍රේල් 16

කලින් ම ලොක් ඩවුන් කළ ශ්‍රීලංකාව වැනි රටවල් සාර්ථ්කව කෝවිඩ්-19 මර්ධනය කරල තියෙනවා. නමුත් එක්සත් ජනපදය වැනි රටවල කෝවිඩ්-19 දරුණු ලෙස පැතිරෙනවා. එතකොට ලංකාව වගේ රටවල කොවිඩ්-19 මුළුමනින්ම තුරන් කළත් නැවත ලෝකයට විවෘත වීමේදී නෑවත වයිරසට විවෘත වෙනවා. ඒ නිසා මුළු ලෝකයම මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන තුරු අර්බුදය අවසන් වෙන්නෙ නෑ.

මට පේන හැටියට වයිරසය මුළුමනින්ම තුරන් කළ හැක්කේ වසූරිය එන්නත වැනි එන්නතකින් පමණයි. දේශීය වෙදකම වැනි වෙදකම් තුළින් කෙරෙන්නේ ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම පමණයි. නමුත් කෝවිඩ්-19 වයිරසය ඉන්ෆ්ලුවන්සා වැනි වෙනස් වන වයිරසයක් නම් එන්නතක් මඟින් එය මුළුමනින්ම තුරන් කළ හැකි වන්නේත් නෑ.

දෙවනි විදිය නම් එක්සත් ජනපදය වැනි රටවල් වල හර්ඩ් ඉමියුනිටි මඟින් වයිරසය මුළුමනින්ම තුරන් වන තුරු එවන් රටවලට දොරගුළු වසා තබා ගැනීමයි. නමුත් ඒකට කොතරම් දීර්ඝ කාලයක් ගත වෙයිද කියන්න බෑ.



රජයේ වෛද්‍ය නිලධාරි සංගමය යේ කතා
2020 අප්‍රේල් 22


රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට ප්‍රස්තාර හරියට තේරුම් ගන්න බැහැ. ඔවුන් ගේ ප්‍රස්තාර සන්සන්දනය සම්පූර්ණයෙන් වැරදියි. නමුත් මූලික වශයෙන් ඔවුන් කියන කතා දෙකකට මම එකඟයි.

1. කොරෝනා අනතුර තවම ලංකාවෙන් පහව ගොස් නැහැ. කොයි මොහොතක හෝ සීඝ්‍ර ලෙස එය පැතිර යාමේ ඉඩක් තියෙනවා. (ඉඩක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන් වෙනව කියන එක නෙවෙයි.) ලංකාව ඝර්ම කලාපයේ රටක් වගේ නිකන් හේතු හදාගෙන වැඩක් නෑ. හොඳින් පාලනයක් පැවැති සිංගප්පූරුව වගේ ඇතැම් රටවල් වල පසුගිය දින වල විශාල වශයෙන් ආසාධිතයන් වාර්තා වුනා.

2. පරීක්ෂා කිරීම් වැඩි කිරීම

ලංකාවෙ වෙනත් රටවලට සාපේක්ෂව ආසාධිතයන් අඩුවෙන් විශේෂයෙන් මරණ අඩුවෙන් තිබීම සතුටුදායක දෙයක්. මේවට හේතු පස්සෙ හොයාගන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තියේ දියුණුව වගේම කලින්ම ඇඳිරිනීතිය දැමීමත් හේතු වෙන්න පුළුවන්. නමුත් ලංකාවෙ ජනගහන ඝණත්වය සහ මිනිස්සුන්ගේ සමාජ හැසිරීම රෝගය පැතිරීමට වාසිදායක විදියට තමයි තියෙන්නෙ.

මම හිතන්නේ මිනිස්සු මේ ලෙඩේට තියෙන බය අඩු කර ගන්න හොඳ නැහැ. බය වැඩි වුනා නම් ඉබේම පරිස්සම් වෙනවා. හැම පළාතකම ඇඳිරිනීතිය දාල තියෙන එකේ තේරුමක් නැහැ. නමුත් පොකුරු හම්බ වුන පැති ආරක්ෂක අංශ මඟින් වසා තැබිය යුතුයි.



ෆියර්මොන්ගරින්
2020 අප්‍රේල් 24

ඇඳිරිනීතිය, නිරෝධායන ක්‍රම වේද ඇතුළු කෝවිඩ් ව්‍යාප්තිය වැලැක්වීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ඔක්කොටම ෆියර්මොන්ගරින් කියල ඉංගිරිසි වචනෙකින් දමල ගහන එක බුකියේ කීප දෙනෙක්ගෙ විලාසිතාවක් වෙලා. මේ අයට අනුව කෝවිඩ් සම්බන්ධයෙන් අපේ රටේ ගන්නා ක්‍රියාමාර්ග අනවශ්‍ය දේවල්. ඔවුන්ට අනුව ඒවායෙන් සිදුවන ආර්ථික හානිය ඊට වඩා බලවත්. ඒ අනුව ඔවුන් නොකියා කියන්නේ මිනිස්සුන්ට රෝගයට නිරාවරණය වෙන්න දීල, මැරෙන ගණන අමතක කරල රටේ ආර්ථිකය රැක ගනන් කියන එක.

දැන් මේ අයත් කරන්නේ රටේ ආර්ථිකය ගැන ෆියර්මොන්ගරින් එකක් තමයි. කෝවිඩ් නිසා අපේ රටේ ආර්ථිකයට බලපෑමක් වෙනවා කියන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඇඳිරිනීතිය මාසයක්, දෙකක් තිබ්බා කියල අපේ රටේ කන්න නැතුව සාගත, මන්දපෝෂණය ඇතිවෙලා මිනිස්සු මැරිල යයි කියල කියනව නම් ඒක මහ ගොන් කතාවක්. අපේ රටේ ආර්ථිකයට වෙන බලපෑම බටහිර රටවල වගේ විශාල එකක් වෙන්නෙ නෑ. අපේ රටේ ජීවන ක්‍රමය වෙනස්. අපේ මිනිස්සු ජීවත් වෙන්නෙ අඩු වියදමකින්. බටහිර රටවල් වල නම් සියල්ල ණය මත රඳාපවතිනවා. මාසික වියදම් අධිකයි. අපේ රටේ එවන් බලපාන්නේ ජනගහණයෙන් අඩු ප්‍රතිශතයකට.

අනිත් කාරනේ ගෝලීය ආර්ථිකයේ කඩා වැටීම අපේ රටට බලපාන එක අපේ රට ඇතුළෙ ගන්න තීරණ වලින් වෙනස් කර ගන්න බෑ. අපේ රටේ මොනතරම් ලිහිල් ක්‍රියාමාර්ග ගත්තත් ගෝලීය ආර්ථිකය වැටෙන කොට ඒකෙන් යම් බලපෑමක් අපට වෙනව නම් ඒක වෙනවමයි. උදාහරණයකට ඇඳිනීතිය අයින් කරලා මිනිස්සුන්ට ඕන විදියට පාරෙ යන්න, වැඩ කරන්න දුන්නා කියලා අපේ සංචාරක කර්මාන්තය ආපහු තිබුණු තැනට එන්නෙ නෑ.


මෙහෙම හැසිරෙන්නෙ ඇයි?
2020 අප්‍රේල් 24

පිළියන්දල රෝගියාත් එක්ක අහල පහල තරුණයෙක් කොස් ගෙඩියක් අරන් බයික් එකේ ගිහින්. දැන් ඒ තරුණයාගේ මවටත් රෝග ලක්ෂණ පහළ වෙලා. ඒ තියෙද්දි පියා වැඩට ගිහින්. ඔවුන් ඊයේවත් මේක සෞඛ්‍ය අංශවලට දන්වලා නෑ. අන්තිමේදි තරුණ පුතාටම හිතිලා අද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පාරේ යද්දි ඔහුට කියලා. දැන් අර පියා වැඩ කරපු තැන ඔක්කොම කන්දකාඩු යවන්නද?

ලංකාවෙ මිනිස්සු මේ වගේ බූරුවො වගේ හැසිරෙන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ

මාසෙකට විතර කලින් මම වැඩ කරන තැන (ඕස්ට්‍රෙලියාවෙ) කෙනෙක් යම් රාත්‍රි සාදයකට ගිහින්. ඒ සාදයේ හිටපු කෙනෙක්ට කැස්ස වගේ රෝග ලක්ෂණ පස්සෙ පහල වෙලා. ඔහු විදෙස් රටක ඉඳන් ඊට කලින් ආපු කෙනෙක් නිසා එදා ඒ සාදයට හිටපු ඔක්කොම අමතලා ඒ බව කියලා කෝව්ඩ් ටෙස්ට් එක කරගන්න ගිහින්. ඊට පස්සෙ ඒ සාදයේ හිටියෙ ඔක්කොම ස්වයං නිර්ධානයනට ලක් වෙලා මගේ කාර්යාල සගයාත් ඇතුළුව. ඒ විතරක් නෙවෙයි ඔහු අපේ කාර්යාලයට ඒ බව දැන් වුවාම කාර්යාලයේ ඔහුත් එක්ක දින කීපයකට කලින් රැස් වීමකට ගිය තවත් තුන් දෙනෙකුත් ස්වයං නිරෝධායනය ඇරඹුවා. මේ එකක්වත් රජයෙන් දන්වලා නෙවෙයි. ( කොහොම හරි අර මුල් තැනැත්තා ගේ ටෙස්ට් එක නෙගටිව් වුන නිසා ඔක්කොම ආපහු වැඩට ආවා. )

මම හිතන්න කෝවිඩ් ජය ගන්න සටනේ වගකීමෙන් වැඩි කොටස ජනතාව අතේ තියෙන්නේ. රජයට කරන්න පුළුවන් දේ ඔවුන් උපරිමයෙන් කරන බව පේන්න තියෙනවා. නමුත් අපේ රටේ මිනිස්සුන්ගෙ පුරුද්දක් තමා තමන්ගෙ වගකීම ඉටු නොකර හැම එකටම ආණ්ඩුවට බනින්න පුරුදු වෙලා ඉන්න එක.


කොරෝනා රෝගය සමඟ ජීවත් වීම
2020 අප්‍රේල් 25

ඔබට කොරෝනා රෝගය වැළඳී නැතිනම් ඔබ කොරෝනා රෝගයට ප්‍රමාණාත්මකව බිය වන්න. එසේ වූ විට ඔබ ඉබේම ඉන් පරිස්සම් වේවි. ඔබේ දෛනික චර්යා රටා ඉබේම ඒ අනුව සැකසේවි. ඒ අනුව ඔබට කොරෝනා රෝගය වැළඳීමේ ඉඩ අඩු වනු ඇත. කොරෝනා රෝගය සමඟ ජීවත් වෙනවා කියන්නේ ඒකයි.

නැතුව කොරෝනා රෝගය සමඟ ජීවත් වනවා කියන්නේ එය සාමාන්‍ය හෙම්බිරිස්සාවක් ලෙස සලකා හැඳුනත් කමක් නෑ වගේ මානසිකත්වයක් ඇති කර ගන්න එක නෙවෙයි.

සාගිනි රංගන
2020 අප්‍රේල් 26

Image may contain: one or more people, people standing and outdoor

පවුලේ රොත්තක් එක්ක කාර් එකක නැගී ඇඳිරිනීතිය තුළ බලපත්‍රයක් නැතිව ගමනක් ගිය පවුලක පියා දරුවා සමඟ ආවේගශීලීව මහ පාරේ යකා නටන දර්ශනයක් දුටිමි. ඔහු මහ පාර මැද කෑ ගසා කීවේ තමන්ට කන්න නැති බවයි. ඔබට කන්න නැතිනම් ඔබ කරන්නේ පවුලේ සියලු දෙනා කාර් එකක දාගෙන ගමනක් යෑමද? ඉදිරි කාලය තුළදී මේ වගේ “සාගිනි රංගන” ගොඩක් දැකිය හැකි වනු ඇත.

නාවුක හමුදා සෙබළුන් ආසාධිත වීම
2020 අප්‍රේල් 28

නාවුක හමුදා සෙබළුන් ආසාධිත වීම රජය පැත්තෙන් සිදු වූ අඩුපාඩුවක් බව පිළිගත යුතුයි.

ආසාධිත වූ නාවුක හමුදා සෙබළුන් බොහෝ දෙනා අසාධ්‍යව රෝගී නොවනු ඇතැ‍යි සිතිය හැකියි.

නමුත් ඔවුන් ගමන් ගත් තැන් සොයා ඒ ප්‍රදේශ ආවරණය කිරීමේ කටයුතු හොඳින් සිදු වේ යැයි අපේක්ෂා කරමි. එමඟින් මේ අත්වැරැද්ද මඟ හරවා ගත හැක. කෙසෙල්වත්ත ප්‍රදේශය හොඳින් ආවරණය කිරීමෙන් රෝගය පැතිරීම වළකනු ලැබූ බව පෙනේ.



ලොක්ඩවුන් මඟින් රටක් බේරා ගැනීම
2020 මැයි 9

No photo description available.


ලොක්ඩවුන් වලින් රටක් බේරා ගන්න බැහැ කියන එකට හොඳම ප්‍රති උදාහරණයක් තමයි ඕස්ට්‍රේලියාව. මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාව තුළ දෛනික ආසාධිතයන් වාර්තා වූ ප්‍රස්තාරය. ඕස්ට්‍රෙලියාවේ ලොක්ඩවුන් කිරිම ආරම්භ වූයේ මාර්තු තුන්වන සතියෙ. ඉන් පසු ආසාධිතයන් වාර්තාවීම ක්‍රමිකව අඩු වී යනු ප්‍රස්තාරයෙන් හොඳටම පැහැදිලි වෙනවා.දැන් ලබන සතියේ සිට ඕස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් නීති ලිහිල් කෙරේවි. ලොක්ඩවුන් කිරීමක් සාර්ථක වීමට නම් මූලික වශයෙන් ජනතාවගේ විනය වැදගත්. දෙවනුව ජන ගණත්වය, සමාජ සංචරණ රටා ආදී කාරණාත් බලපානවා. ලොක්ඩවුන් කිරීමෙන් රෝගය පාලනය කරන්න බැහැ කියන්නේ කිසිම පදනමක් නැති මිථ්‍යාවක්.

ඉන්පසු රටවල් අතර රෝගය ව්‍යාප්ත වීම රටවල් අතර සංචරණයන් වලදී කෙරෙන පරීක්ෂා කිරීම් ආදියෙන් පාලනය කරන්න පුලුවන්. කෝවිඩ් රෝගය පාලනා කිරීමට ඇති දැනට තියෙන හොඳම විසඳුම ඒකයි. එහෙම නැතිනම් වැක්සීනයක් සොයා ගත යුතුයි. එවැන්නක් තවම සොයාගෙන නැහැ. හර්ඩ් ඉමියුනිටි කියන එක ඇති වෙනවා කියලා කාටවත් සහතික වෙන්න බෑ. වයිරසයක් මඟින් ඇති වෙන තවත් රෝගයක් වන ඉන්ෆ්ලුවන්සා වලට හර්ඩ් ඉමියුනිටි එකක් කවදාවත් ඇති වෙලා නෑ.

ලොක්ඩවුන් කිරීමෙන් ආර්ථිකයට බලපෑමක් වෙන එක නවත්තන්න බැහැ. නමුත් කෝවිඩ්වලට නිදහසේ පැතිරෙන්න ඉඩ දීලා පාරවල් ගානෙ මිනිස්සු මැරෙන්න ඉඩ දෙන්න කියන මිනිස්සු කුමන ආකාරයේ සිත් සතන් ඇති අයද කියලා කල්පනා කරල බලන්න ඕන. කිසිදු ලොක්ඩවුන් කිරීමක් නැතිව මිනිසුන්ට සමාජයේ නිදහසේ සැරිසරන්න ඉඩ දීමෙන් වෙන දේ මොකක්ද කියල බලමු. එහෙනම් රෝගය සමාජයේ විශාල පිරිසකට ආසාධනය වෙනවා. ගෙයක් ගෙයක් ගානේ මිනිස්සු ලෙඩ වෙලා අසාධ්‍ය වෙලා ඇඳන් වලට වෙලා සති ගණන් ඉන්න සිදු වෙනවා. විශාල වශයෙන් නෑ හිත මිතුරන් මිය යාමෙන් ඇති වන සමාජ කම්පනයක් ඇති වෙනවා. රෝහල් කෝවිඩ් රෝගීන් ගෙන් පීරී ඉතිරී යනවා. වෙනත් රෝගවලට දැක් විය යුතු අවධානය පවා අඩු වෙනවා. මෙවන් වාතාවරණයක් යටත මිනිසුන්ට සාමාන්‍ය ආකාරයෙන් කටයුතු කරන්න බැහැ. ඒ නිසා ලොක්ඩවුන් කළත් නොකළත් ආර්ථිකයට බලපෑමක් වෙන එක නවත්තන්න බෑ.


Leave a comment