සේර ඇල්ලේ බෙලිමල් විකුණපු අම්මා

සේර ඇල්ල කියන්නේ ලංකාවෙ තියෙන සුන්දර දිය ඇල්ලක්. නමුත් මේක පිහිටලා තියෙන්නේ ඉතා දුෂ්කර ගම්මානයක. ලග්ගල-පල්ලේගමට අයත් ඉලුක්කුඹුර කියන ගමේ. එතනට යන්න ලග්ගල-පල්ලෙගමට යන ප්‍රධාන මාර්ගයෙන් හැරිලා කි.මී. දහයක් විතර තව ඇතුළට යන්න ඕන. මේ පැත්තෙ තියෙන දුෂ්කරතා ගැන මම දන්නවා. අපේ කලින් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝත් මේ ඉලුක්කුඹුර ගමේ.

මේ සුන්දර ඇල්ල නරඹන්න දෙස් විදෙස් සංචාරකයෝ ගොඩක් එනවා. අපිත් පහු ගිය දා එහි ගියා. එතන යන සංචාරකයන්ට බෙලිමල් ආදිය විකුණන පොඩි කඩ දෙකක් තියෙනවා. එක් කඩයක ඉන්නෙ වයස 60 ඉක්මවා ඇතැයි සැලකිය හැකි වියපත් අම්මා කෙනෙක්. අපි එහි යද්දි ඇය හිටියෙ තෝන්තුවෙන් වගේ. හේතුව මේකයි.

ඊට පැය කීපයකට කලින් එහි මෝටර් සයිකලයකින් තරුණයන් දෙදෙනෙකු පැමිණ තියෙනවා. ඔවුන් පවසා ඇත්තේ “අම්මේ අපිට බෙලි මල් දෙකක් දෙන්න. රොටි කන්න නම් සල්ලි නෑ කියලා.”. සල්ලි නැති වුනාට කමක් නෑ කියලා ඇය රොටි දෙකක් ඔවුන් දෙදෙනාට නිකන් දීල තියෙනවා. ඒ ගම්වල මිනිස්සුන්ගෙ හැටි. රොටි දෙක ගිල දාපු තරුණයෝ දෙන්නා ඊළඟට කරල තියෙන්නේ බෙලි මල් හදන්න අනිත් පැත්ත හැරුණ ඒ අම්මගේ රත්තරන් මාලෙ කඩන් බයිසිකලෙන් පැනල දුවපු එක.

මේ ඈත පිටිසර ගමක දුක සේ ජීවත්වන, තමන්ට නිකන් රොටි කන්න දෙන්න තරම් හිත උණු වෙන අම්මා කෙනෙකුගේ මාලය කඩන් දුවන්න තරම් පාහර වැඩක් කරපු ඒ තිරිසනුන් දෙන්නා යා යුත්තේ මොන අපායටද?

Leave a comment