සිය දිවි නසා ගත් නලුවා

මේ දවස්වල ෆේස්බුක් එකේ උත්කර්ෂයට නඟා ඇති කතාවක් නිසා නොලියා ඉන්නත් හිතලා පස්සේ මේ ටික ලියන්න හිතුනා.

මේ තරුණයා ගේ මව දෙමළ වාර්ගික කෙනෙකු හා විවාහ වෙනවා. මම හිතන්නේ මේක තමන්ගේ පවුලේ ඉඳන් සමාජය දක්වා නොයෙක් අන්දමින් ප්‍රතිරෝධයට ළක් වෙන දෙයක්. ඒ සියළු ප්‍රතිරෝධයන්ට මුහුණ දීමේ ධෛර්යයෙන් මේ ගැහැණිය ඒ දෙමළ වාර්ගිකයාව කසාද බඳින්න ඇත්තේ විශාල බලාපොරොත්තුවකින්. කෙසේ නමුත් දරුවන් දෙදෙනෙකු ලැබුණු පසු ඔහු ඇයව පමණක් නොව රටත් අතහැර යනවා. ඉන් පසු ඇය දරු දෙදෙනා ලොකු මහත් කරන්න විශාල වෙහෙසක් ගන්න ඇති. ඇය මේ දේ කරලා ඇත්තේ අයිස් ක්‍රීම් විකුණලා බවයි කියැවෙන්නේ. අයිස්ක්‍රීම් විකුණන එක ලොකු ආදායමක් ගන්න පුළුවන් රස්සාවකුත් නෙවෙයි. මේ අමාරුකම් මැද දරු දෙදෙනා ලොකු මහත් කරනවා. නමුත් ඇයට ඉන්න ගේ වත් හරියට හදාගන්න ලැබිලා නෑ. එක් පුතෙක් වසර දහතුනක් තමන් පෙම් බැඳින් තරුණිය හා විවාහ වෙනවා. ඒ විවාහ වූ තැනැත්තිය මේ අයගේ ඉන්න ගෙදර හදන්න උදව් වෙනවා.

දැන් මේ තරුණ පුතා තමන්ට ලැබිලා තියෙන රූප සම්පත්තියේ පිහිටෙන් අංකුර ටෙලි නළුවෙක් වෙනවා. ඊට පස්සේ ඔහුගේ ලෝකය වෙනස් වේගයෙන් වෙනවා. ඔහු ජනප්‍රිය වෙනවා. තවත් ජනප්‍රිය, ධනය, බලය ඇති අය හඳුනගන්න ලැබෙනවා. ඔවුන් සමඟ ගැවසෙනවා. වෙනම සමාජයකට යනවා. නමුත් ඔහුගේ බිරිඳගේ සහ මවගේ ලෝකය එතරම් වේගයෙන් ඇදී යන එකක් නෙවෙයි. බිරිඳ ඊනියා ජාත්‍යන්තර පාසලක උගන්නනවා. මව තාමත් අයිස්ක්‍රීම් විකුනනවා. තරුණයාගේ ලෝකය මේ ලෝක දෙක අතර අතරමං වෙනවා. ඇයට හමුවන ජනප්‍රිය රුමත් නිළිය ඔහු අලුතින් පියමං කළ ලෝකයේ සංකේතයක් පමණයි. ඇය ඒ පාට පාට රන් සමණල ලෝකය සංකේත කර ගත් සංකල්ප රූපයක්. මේ සංකල්ප රූපය ඒ ලෝකයට පිවිසෙන්න ඇති දොරටුවයි. යම් අවස්ථාවක ඒ දොර වැසී යාමක් සිදු වෙනවා. ඔහු ගොඩ නඟමින් තිබූ ලෝකය පෙන බුබුළක් සේ බිඳ වැටෙනවා. මේ අවස්ථාවේ මේ තරුණයා කළ යුතුව තිබුනේ නැවත අම්මාගේ අයිස්ක්‍රීම් විකුණන ලෝකයට පිවිසීමයි.

ගොඩක් දෙනා කතා කරන්නේ මේ තරුණයා ගැනත්, අර ජනප්‍රිය නිළි තාරකාවත් ගැන පමණයි. නමුත් වසර දහතුනක් පෙම්බැඳ තරුණයා විවාහ කරගෙන ඉන්පසු සියලු ගිනි ඉසුළුෑ ගැහැණියගේ කම්පිත ළය සමාජයට පෙන්නේ නැහැ. පාසල් ඇරී ගිනි අව්වේ ගෙදර එන ඇගේ දහඩිය සුවඳ කාටවත් දැනෙන්නේ නෑ.

Leave a comment