ඇඩම් කෙල්වික් සහ වල්ලාපට්ටා

මේ බ්‍රිතාන්‍ය ජාතිකයා සම්බන්ධ සිද්ධිය මුල සිට උනන්දුවෙන් බැලුවා. මේ තැනැත්තා බ්‍රිතාන්‍ය ජාතික මුසල්මානුවකු වන අතර පූජකයෙක් බවයි පේන්නේ. ඔහු බොහෝ රටවල සංචාරය කර ඇති බව පේනවා. ලංකාවටද පැමිණ ශ්‍රීපාදස්ථානයට ගොස් නැවත ඔහු ලැගුම් ගත් කොළඹ හෝටලයට එන අතරතුර ඔහු ගමන් ගත් රථය තවත් පිරිසක් විසින් මහ රෑ එකට පමණ නතර කරනවා. එහිදී ඒ වාහනයෙන් බසින පිරිස තමන් රහස් පොලිසියෙන් බව පවසා වාහනයේ කොකේන් ඇති බව පවසමින් එය පරික්ෂා කිරීමට උත්සාහ කරනවා. මේ විදේශිකයා ඔවුන්ගෙන් හැඳුනුම්පත් ඉල්ලුවත් ඔවුන් පෙනවන හැඳුනුම්පතක් නෑ. ඒ නිසා මොවුන් වංචනිකයන් බව වටහා ගන්නා විදේශිකයා බියට පත්ව ඔහුගේ ආරක්ෂාව සඳහා එය ෆේස්බුක් ලයිව් ඔස්සේ විකාශය කරනවා. ඉන්පසු රහස් පොලිසියෙන් යැයි කියාගත් පිරිස වාහනය ඔහුත් සමඟ රැගෙන යන්න උත්සාහ කරනවා. කෙසේ හෝ විදේශිකයාගේ බලවත් උත්සාහය නිසා එය ව්‍යර්ථ වෙනවා.

නැවත හෝටලයට පැමිණෙන ඔහු ඒ අසල පිහිටි කොටුව පොලිසියට සිද්ධිය සම්බන්ධව පැමිණිලි කරනවා. නමුත් එහිදී සිදුවන්නේ කොටුව පොලිසිය මංපහරන්නන් ගැන සොයනවා වෙනුවට ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමට ක්‍රියා කිරීම. පොලිසියට ලැබුණ නිර්නාමික දුරකථන ඇමතුමකින් කියා ඇත්තේ මේ විදේශිකයා ළඟ සැක කටයුතු බවක් ඇති බව. කෙසේ හෝ ඔහු ලැගුම්ගත් හෝටලයේදී ගමන් මලු පරීක්ෂාව සිදු කරන අතර විදේශිකයා ෆේස්බුක් ලයිව් ඔස්සේ එය විකාශය කර හරිනවා. මෙතනදී ඔහුගේ ගමන්මළු තුළ වල්ලාපට්ටා තිබී ඔහු අත් අඩංගුවට පත් වෙනවා. පැහැදිලිවම මේ වල්ලාපට්ටා රටින් ගෙන යාම නීති විරෝධී බව ඔහු දන්නෙ නැහැ. නමුත් පසු දින ඔහුට උසාවියට ඉදිරිපත් කර දඩ ගසනවා. විදේශිකයා රටින් පිටව යනවා.

මා සිතන්නේ මේ සංවිධනාත්මකාව සිදුකෙරෙන අපරාධයක්. මීට ඔහු ගමන් ගත් වාහනයේ රියදුරුද සම්බන්ධ බව ඔහු දෙමළ බසින් කරන දුරකථන ඇමතුමෙන් පැහැදිලියි. විදෙශිකයන වල්ලාපට්ටා මිලදී ගැනීමට සලස්වා ඉන් පසු රහස් පොලිසියෙන් බව පවසා වාහනය වටලා නිදහස් කිරීමට කප්පම් ගැනීම මේ ක්‍රියාවලියයි.

මේ සිද්ධි දාමයේ ඇති ජුගුප්සාජනකම ක්‍රියාව නම් පොලිසිය විදේශිකයාගේ ගමන් මලු පරීක්ෂා කරන විට හෝටලයේ සේවක මණ්ඩලයේ අයද පැමිණ පොලිසියේ කාර්ය භාරය කරන අන්දම සහ ඔවුන් එහිදී හැසිරෙන අන්දමයි. මොවුන්ද මේ සංවිධානාතමක අපරාධයට සම්බන්ධ දැ‍යි සොයා බැලිය යුතුයි. මේ විදේශිකයා මෙය ෆේස්බුක් ලයිව් ඔස්සේ ප්‍රචාරය කළ අතර මෙය නැරඹූ කිසිවකු ලංකාවේ සංචාරය කරනු ඇතැයි සිතන්න බැහැ. මෙය අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයට වගේම ආගන්තුක සත්කාරයට පුරුදු අපේ ජාතියේ නාමයටද විශාල කැළැලක්. මා කල්පනා කරන්නේ ශ්‍රීලංකා රජය විසින් මේ විදේශිකයාගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවයි.

මංකොල්ල කෑමට ගත් උත්සාහය:
https://www.facebook.com/adam.kelwick/videos/10154695111871330/

ගමන් මලු පරීක්ෂා කිරීම:
https://www.facebook.com/adam.kelwick/videos/10154695254576330/

Leave a comment