77 දරුවෝ

1956 වසරේ දී බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන එක්සත් පෙරමුණ ලද විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණය, වෙනත් මැතිවරණ ජයග්‍රහණයක් මෙන් නොව, අපේ ඉතිහාසයේ සුවිශේෂ සංසිද්ධියකි. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් සුප්‍රකට “බමුණු කුලයේ බිඳ වැටීම” නමින් ලිපිය ලියන ලද්දේ ද මේ සිදුවීම අරඹයා ය. ඇත්තටම ඉන්පසු බමුණු කුලය බිඳවැටුනාද නැත්ද  යන කාරණය වෙනම විමසිය යුතු කාරණයක් වුවත්, මේ සංසිද්ධිය රටේ විශාල පිරිසක් ආශ්වාදනය කළ දෙයක් බව නම් පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයකි. 56 පෙරළිය ආශ්වාදනය කළ සහ 56න් පසු අප සමාජයේ ඇති වූ වෙනස්කම් ඔස්සේ හැදී වැඩුණු පිරිස පසුකාලීනව අප සමාජයට විශාල බලපෑමක් ඇති කළහ. මහැදුරු නලින් ද සිල්වා “පනස් හයේ දරුවෝ” යනුවෙන් සංකල්පයක් බිහි කළේ මේ ගැනය.

1948 දී අපට නාමික නිදහසක් ලැබුණද රට පාලනය කළේ “අපේ” පිරිසක් බව රටේ මහජනයාට දැනී තිබුණේ නැත. රටේ නායකයන් වූයේ ටේල් කෝට්, ටොප් හැට් පැළඳ ගත්  බටහිර ඌරුවක් සහිත පිරිසකි. මේ බව හොඳින්ම ප්‍රකට  වූයේ ඩී.එස්. සේනානායක මහතාටත් වඩා සර් ජෝන් කොතලාවල මහතා තුළිනි. රටේ ජන විඥාණය තඹ දොයිතුවකට මායිම් නොකළ සර් ජෝන් කොතලාවල මහතා, අගමැති ධූරය දරන කාලය තුල හැසිරුණ ආකාරය ඉංගිරිසි ආණ්ඩුකාරයෙක් රට කරන ආකාරය අතර වැඩි වෙනසක් නොවීය. 1956 රටේ නායකයා වූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ආරිය සිංහල ඇඳුම හැඳි කෙනෙක් වූ අතර ඔහු වටා සිටි පිරිස අතර හොඳ සිංහල පසුබිමක් සහිත නායකයෝ බොහොමයක් වූහ. ඔහු මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සංකල්පය වූයේ “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු” යන්නයි.  මුල්වරට “අපේ” නායකයන් පිරිසක් බලයට පත් වූ බවක් මහජනතාවට දැනෙන්නට විය.

1956 මැතිවරණයේදී ඊට කලින් පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂයේ සිටි ප්‍රබලම නායකයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා සිය කැළණිය ආසනයෙන් අන්ත පරාජයකට පත් වූවේය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ විට විරුද්ධවාදියකු විසින් ඔහුට නයි කූඹින් පිරි මල්මාලයක් පැළඳූ බවත් 56 සිදු වූ පෙරළිය කණපිට හැරවීමට ඔහු එදා අදිටන් කරගත් බවත් කියැ වේ. ඒ කතාවේ සත්‍ය අසත්‍ය බව කෙසේ වුවත් මේ මැතිවරණ පරාජය ජේ.ආර්. ජයවර්ධනට මානසිකව ප්‍රබල වශයෙන් බලපාන්නට ඇත. කෙසේ නමුත් 56 පෙරළිය කණපිට හැරවීමට ජේ.ආර්. ජයවර්ධන මහතාට තවත් බොහෝකලක් බලා සිටීමට සිදු විය. වසර විස්සකුත් ගෙවී ගිය පසු, 1977 දී ඒ ස්වර්ණමය අවස්ථාව උදා කර ගැනීමය හෙතෙම සමත් විය.

1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට එන්නේ 56 “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු” සංකල්පයට සමගාමීව “ධර්මිෂ්ඨ සමාජයක්” නම් සංකල්පයක් පෙර දැරි කර ගනිමිනි. කෙසේ වෙතත් ඔහුගේ පාලනය එකී සංකල්පයට හාත්පසින් වෙනස් අධර්මිෂ්ඨ පාලනයකි. 1956 විශාල ජනවරමක් ලද මුත්, අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා නිසා, බණ්ඩාරනායක මහතාට සාර්ථක දේශපාලන ගමනක් යෑමට නොහැකි විය. එමෙන්ම 1977 විශාල ජනවරමක් ලද මුත් ජේ.ආර්. ජයවර්ධන මහතාටද සාර්ථක දේශපාලන ගමනක් යෑමට නොහැකි විය. ඊට හේතුවූයේ ප්‍රධාන වශයෙන් ඔහු මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ගෙන යන ලද අත්තනෝමතික පාලනයයි.

1977 න් පසු දේශපාලනය පැත්තෙන් වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා අසාර්ථක වුවත්, සංස්කෘතිය පැත්තෙන් ඔහු බලාපොරොත්තු වූ දේ ඉටු  කර ගැනීමට බොහෝ දුරට ඔහු සමත් වූ බව කිව යුතුය. 1977 ත් සමඟ බැඳෙන අනෙක් නාමය “විවෘත ආර්ථික ප්‍රතිපත්ති” යන්නයි. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී කළ, වඩා අවධානය යොමුකළ යුතු දේ “සංස්කෘතිය විවෘත කිරීමයි”. 1977 දී මේ ඔහු මේ රටේ සංස්කෘතිය විවෘත කළේය. 1977 න් පසු සියල්ල මුදලට විකිනෙන, මූල්‍යමය වටිනාකම මත සියල්ල තක්සේරුවන සමාජයක් බිහිවිය. මේ නිසා අපේ රටේ වටිනාකම් පද්ධතිය විනාශ විය. සමාජයේ සිදුවන මේ විපර්යාසය සෝමවීර සේනානායක වැනි කලාකරුවෝ “පළිඟු මැණිකේ” වැනි කලාකෘතිවලින් පෙන්වා දුන්හ. (අවාසනාවකට ඒ නිර්මාණවලට විදග්ධ කලා සමාජයේ තැනක් ලැබුණේ නැත.)

1977 සංස්කෘතිය විපර්යාසය ඉතා මැනවින් පිළිඹිබුවන කැටපතක් වන්නේ කලා ක්ෂේත්‍රයේ කඩා වැටීමයි. සිනමාව, සාහිත්‍යය, වේදිකා නාට්‍යය, ගීත කලාව ආදී කලා ක්ෂේත්‍රවල ස්වර්ණමය යුගය වන්නේ 60 සහ 70 දශකයන්ය. ඊට 56 දරුවන්ගෙන් වූ බලපෑම සුළුකොට තැකිය නොහැක. නමුත් ඉහත සියලු කලා ක්ෂේත්‍ර වල 80 දශකයේදී ක්ෂණික කඩා වැටීමක් දක්නට ලැබේ. සමාජයේ සාහිත්‍ය පොතපත කියවීමට ඇති උනන්දුව සීඝ්‍රයෙන් පහළ බැස්සේය.; ඉතාම බාලවර්ගයේ සිනමා නිර්මාණ බිහිවන්නට පටන්ගත් අතර මිනිස්සු ඒවා නොබලන තත්වයට පත් විය; 90 දශකය වනවිට සිනමා කර්මාන්තය මුළුමනින්ම අඩපණ විය; 70 දශකයේදී ස්වර්ණමය යුගයට පැමිණි ගීත කලාවද 80 දශකය අගභාගය වන විට මුළුමනින්ම විනාශ විය; වේදිකා නාට්‍යය බැලීමද අද කෙරෙන්නේ ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන කිහිප දෙනෙක් විසින් පමණි. 1977 න් පසු හරවත් කලා නිර්මාණයක් බිහි වූයේ නම් ඒ බොහෝවිට 56 දරුවකු අතිනි.  

1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උත්සාහය සංස්කෘතික වශයෙන් සාර්ථක බව කිව හැක්කේ 77 දරුවන් පරපුරක් බිහි වී තිබීම දකින විටයි. 77 දරුවන් යනු මූලික වශයෙන් 1977න් පසු උපන් හෝ 1977 දී බාල වියේ හුන්, 1977න් පසු මේ රටේ සිදු වූ සමාජ සංස්කෘතික විපර්යාසයන් තුළ හැදී වැඩී, ඒ අලුත් සංස්කෘතිය ආශ්වාදයෙන් වැළඳගත් පිරිසයි. 1977න් පසු ඉපදුණු හැමකෙනෙක් තුළම 77 දරුවෙක් යම් ප්‍රමාණයකට සිටිය හැක.

77 දරුවන් බිහිවීමට බොහෝ දේ රුකුල් වී ඇත. රූපවාහිනිය හඳුන්වාදීම තුළින් නොයෙකුත් බටහිර විසූක දස්සන ගමට ගලා යාම ඊට ප්‍රධාන රුකුලක් විය. අලුතෙන් ආ වසරින් වසර අලුත් වන නොයෙකුත් ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, යාන වාහන ආදිය මත රැඳුණු  අධිපාරිභෝගික ජීවන රටාව පසුපස හඹා යාම නිසා මිනිසාගේ දිවි පැවැත්ම අවිවේකී සහ තරඟකාරී එකක් බවට වේගයෙන් පත් විය. අවිවේකීත්වය සහ තරඟකාරී බව නිසා මිනිසා සමාජයෙන් වේගයෙන් දුරස් වූ අතර ඔහුගේ සමාජ සංවේදීතාව බෙහෙවින් පහළ ගියේය.

77 දරුවන්ගේ සමාජ ආගමනය කැපී පෙනෙන්නේ විශේෂයෙන් විශ්ව විද්‍යාල සිසුන්ගේ ආකල්ප වල දක්නට ඇති යුග වෙනස දකින විටය. 77 දරුවන් විශ්ව විද්‍යාලවලට පැමිණීමට පටන් ගත් 90 දශකයට පෙර විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු සමාජ-දේශපාලන කාරනා වලට සංවේදී සත්ත්වයෙකි; අරගලකරුවෙකි. විශ්ව විද්‍යාල යනු විවිධ මතවාදී අරගලවලට තෝතැනි විය. නමුත් අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු (කිහිප දෙනෙක් හැරෙන්නට) හුදු විෂය කරුණුවලට පමණක් අවධානය යොමුකරන, තම උපාධිය පමණක් අරමුණු කරගත්, මූල්‍යමය අරමුණු තකා විවිධ වෙනත් පාඨමාලා හැදෑරීමට කාලය කරමින් සිටින කෙනෙකි. අද විශ්ව විද්‍යාල තුළ සමාජ-දේශපාලන සංවාදයක් නැත.

අද 77 දරුවෝ වැඩිහිටියෝ ය. ඔවුනගේ ආකල්ප සහ නොයෙකුත් ක්‍රියාකාරකම් අපි දකිමු.

(77 දරුවන්ගේ සමාජ ආකල්ප වල වෙනස ගැන තව දුරටත් මීළඟ ලිපියෙන්…)

One thought on “77 දරුවෝ

  1. 56 දරුවෝ යන්න නලින් ද සිල්වා මහතාගේ යෙදුමක් නොවේ ..එය මාධ්‍යවේදී මර්වින් ද සිල්වා මහතාගේ යෙදුමක් බව පහත සටහනින් පෙනේ
    // He coined the phrase ‘The Children of ’56’, using it in the Washington Post in May 1971 and the South Asian Review in ’72.//

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=60767

Leave a comment