ජාතික ව්‍යාපාරයේ විවිධ ධාරාවන්

මගේ ජීවිත කාලය තුළ මා හට අත් දකින්නට ලැබුණු සිංහල ජාතික ව්‍යාපාරයේ ධාරාවන් කිහිපයක්:
 
පළමු ධාරාව: මේ ධාරාවට අයත් පුද්ගලයන් වන්නේ දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයේ මුල් සමයේ පටන් ඊට විරුද්ධව ක්‍රියා කරන ලද ක්‍රියාධරයන් සමූහයකිනි. මොවුන් වැඩි පිරිස බෞද්ධකම ගැන හෝ සිංහල සංස්කෘතිය පිළිබඳ වැඩි අවධාරණයක් යොමු නොකරති. මොවුන්ගේ වැඩි අවධාරණය යොමු වී ඇත්තේ දෙමළ බෙදුම්වාදයේ මතවාදී පෙරමුණට එරෙහි වීම පිළිබඳව සහ විවිධ දෙස්/විදෙස් දේශපාලනය ගම්‍යතාවන් පිළිබඳවයි. එස්.එල්. ගුණසේකර මහතාගේ පන්නයේ පුද්ගලයන්ය. ද්වි භාෂා උගතුන් වන මේ පිරිසෙන් ඇතැමෙක් ලංකාවෙන් පිට ජීවත් වෙති. බොහෝ දෙනෙක් වෘද්ධය. ලංකා වෙබ් නැමැති වෙබ් අඩවිය වටා මේ පිරිසේ බොහෝ දෙනෙක් රොක් වී සිටිති.
 
දෙවන ධාරාව: නලින් ද සිල්වා මහතාගේ අදහස්, ඔහුගේ චින්තන පර්ෂදය ආශ්‍රිතව ගොඩ නැගුණු විවිධ පිරිස් ය. සමහරක් විවිධ හේතු නිසා ඒ ආශ්‍රයෙන් ඉවත් වී ගිය අය වුවද ඔවුන් ස්ථාන ගත වෙන්නේද මේ ධාරාව තුළමයි. බොහෝ දෙනෙක් උසස්පෙළ ගණිත විෂය හදාළ උගතුන් අතර ඉනුත් විශේෂයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලත් පිරිසකි. දර්ශනය, ආගම වැනි මාතෘකා ගැන මතවාද වලට ප්‍රියය. වැඩි අවධාරණය ඇත්තේ බටහිර නූතනත්වයට එරෙහිවයි. ඊට අමතරව සිංහල සංස්කෘතිය, ඉතිහාසය, බුදුදහම පිළිබඳ වැඩි උනන්දුවක් දක්වති. මුස්ලිම් අන්තවාදය සහ ව්‍යාප්තවාදය ගැන වැඩි අවධාරණයක් යොමු නොකරති.
 
තුන්වන ධාරාව: මේ පිරිස වාමාංශිකත්වයෙන් ජාතිකත්වයට නැඹුරු වූ පිරිසකි. වැඩි අවධාරණය ඇත්තේ ඇමෙරිකන් / බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධවයි. තත්කාලීන දේශපාලන කාරණා ගැන වැඩි උනන්දුවක් දක්වති. බොහෝ දෙනෙක් සිංහල සංස්කෘතිය හෝ බෞද්ධ සංරචකය ගැන තදබල අවධාරණයක් කරන්නේ නැත. දෙමළ බෙදුම්වාදය ගැන උනන්දු අතර මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන උනන්දු නැත. යූඇන්පී විරෝධය ප්‍රධාන ලක්ෂණයකි. සමහරෙක් තුළ අර්ධ වාමාංශික අදහස් ද ඇත. ගුණදාස අමරසේකර, විමල් වීරවංශ, ජාතික නිදහස් පෙරමුණ, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ආශ්‍රිතව මේ පිරිස දැක ගත හැක.
 
හතවරන ධාරාව: මේ පිරිස මතවාදී කාරණා, අදහස්, ලිපි, සම්මන්ත්‍රණ, සංවාද ගැන උනන්දුවක් නොදක්වන අතර උද්ඝෝෂණ, සටන්, පෙළපාලි වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වති. වැඩි අවධාරණයක් යොමු කරන්නේ මුස්ලිම් අන්තවාදය සහ ව්‍යාප්තවාදයට එරෙහිවයි. දේශපාලනය ගැන වැඩි උනන්දුවක් නොදක්වති. ඇතමෙක් තුළ වර්ගවාදී ලක්ෂණද දක්නට ඇත. බොදු බල සේනා, සිංහල රාවය, සිංහලේ ව්‍යාපාරය වැනි සංවිධාන ඒවායේ භික්ෂූන් වහන්සේ ආශ්‍රය කර ගෙන මේ පිරිස දැක ගත හැක.
 
පස්වන ධාරාව: මේ පිරිස උගත් සහ නාගරික ප්‍රභවයන්ගෙන් පැවතෙන පිරිසකි. මේ පිරිස විශේෂයෙන් දෙමළ බෙදුම්වාදය සම්බන්ධව වන බටහිර දේශපාලන මැදිහත් වීම්වලට එරෙහි වුවත් බටහිර නූතනත්වය පිළිබඳ දැඩි විරෝධයක් නැත. සිංහල සංස්කෘතියට නොගැලපෙන ඇතැම් කාරණා කීපයක් හැරෙන්නට ඔවුහු බටහිර මාදිලියේ සංවර්ධනයක් පිළිබඳ විශ්වාස කරති. මුස්ලිම් අන්තවාදය සහ ව්‍යාප්තවාදය පිළිබඳ දැඩි අවධාරණයක් යොමු කරති. ඊට අමතරව බෞද්ධකම සහ දෙමළ බෙදුම්වාදය පිළිබඳවද අවධාරණයක් යොමු කරති. ආර්ථික කාරණා ගැන වැඩි උනන්දුවක් දක්වති. සිංහලයාගේ වෙළඳ දියුණුව ගැන විශේෂයෙන් සලකති. මුස්ලිම් ව්‍යාප්තවාදයට එරෙහි විශේෂ අවධාරණයක් යොමු කිරීමට එයද හේතුවකි. දැඩි මාක්ස්වාදි විරෝධීහුය. සමහරෙක් තුළ කොළ පාට විඥාණයක් පිහිටයි. ජාතික හෙළ උරුමය, ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, සිංහල වීරවිදහන වැනි සංවිධාන ආශ්‍රය කොට ගෙන මේ පිරිස වැඩි දෙනෙක් දැක ගත හැක.
Advertisements

ප්‍රජාතන්ත්‍රවාදය අපට ජීර්ණය වේද?

වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය යනු නූතනත්වයේ ලක්ෂණයක් ලෙස සැලකිය හැක. එය 15වන සියවසින් පසු යුරෝපයේ ඇති වූ නූතනත්ව චින්තන පෙරළිය සමඟ ඇති වූ බටහිර විද්‍යාව, ධනපති ක්‍රමය ඇතුළු තවත් බොහෝ දේ මෙන් තවත් එකකි. පුරාතන ග්‍රීසියේ මෙන්ම ඉන්දියාවේ ලිච්ඡවීන්, මල්ලයන් වැන්නන් අතරද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයන් තිබූ නමුත් අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඒවායේ සිට අඛණ්ඩව විකාශය වූවක් ලෙස සැලකිය නොහැක.

වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය මධ්‍යතන යුගයේ අවසාන භාගයේ සිට යුරෝපයේ විකාශය වූවක් ලෙස සැලකීම වඩා සාධාරණය. විශේෂයෙන් අප වැනි රටවල් අනුගමනය කරන බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය 1215 මැග්නා-කාර්ටා ගිවිසුම සහ ඉන් පසු එංගලන්තයේ ඇති වූ විවිධ දේශපාලන තත්වයන්ට අනුරූපව වර්ධනය වූවක් ලෙස සැලකිය හැක. යුරෝපයේ වෙනත් රටවල්ද සමගාමී ලෙස පැරණි රාජාණ්ඩු ක්‍රමයන්ගේ සිට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන්ට ක්‍රමානුකූලව පරිනාමය වූ අතර මේ සියල්ල යුරෝපයේ ඇති වූ නූතනත්ව චින්තන පෙරළියේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක.

යුරෝපීයයෝ ඉන්පසු ලෝකය ආක්‍රමණය කළ අතර ලෝකයේ රටවල් බහුතරය තම දේශපාලන ආධිපත්‍යයට නතු කර ගත්හ. ඉන්පසු ඔවුන්ගේ රටවල ක්‍රමිකව විකාශය වෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් අප වැනි රටවලට ආදේශ කළහ. යුරෝපය හැරෙන්නට ලෝකයේ වෙනත් රටවල නූතනත්ව චින්තන පෙරළියක් සිදු වූයේ නැත. ඒ රටවල රාජාණ්ඩු වැනි විවිධාකාර පාලන ක්‍රමයන් පැවතිණ. ප්‍රජාතන්තරවාදය බලෙන් පැටවූවක් විය. නමුත් යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජය තුළම ඇත් වූ නූතනත්ව චින්තන පෙරළියත් සමඟ ක්‍රමිකව පරිනාමය වූවකි.

මේ වෙනස අදටත් දැක ගත හැක. බටහිර රටවල් අද නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත් විකාශය වූ තැනක සිටිති. බටහිර රටවල රාජ්‍ය නායකයා, පැරණි රජුගේ සංකල්පයෙන් සෑහෙන ඈතට යමින් සාමාන්‍ය පුරවැසියා දක්වා ගමන් කරමින් තිබේ. උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා දුම්‍රියේ පුවත්පතක් බලමින් ගමන් කිරීම සාමාන්‍ය දෙයකි. පුරවැසියා ඔහුව අමතනේ “මිස්ටර් කැමරන්” ලෙසයි. රාජ්‍ය නායකත්වය යනු හුදු රැකියාවකි. නිලකාලය අවසන් වූ පසු ඔවුහු ඉතාම සාමාන්‍ය පුරවැසියන් බවට පත් වෙති.

නමුත් අප වැනි රටවලට බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණව ජීර්ණය වී නොමැත. අප වැනි රටවල පුරවැසියා තුළ රාජ්‍ය නායකයා යන සංකල්පය ලබා ගන්නේ රජු යන සංකල්පය හරහාය. වෙන විදියකින් කිවතොත් රාජ්‍ය නායකයා ඔවුන් දකින්නේ රජෙක් ලෙසයි. ඔවුන්ට අවශ්‍ය රජ කෙනෙකි. මේ තත්වය ලංකාව වැනි ආසියානු රටවලද, අප්‍රිකාවේ, මැද පෙරදිග ද දැකිය හැක. මහතීර් මොහම්ඩ්,  ලී ක්වාන් යූ, රොබට් මුගාබේ, සදාම් හුසේන් වැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් ඔස්සේ බලයට පත් වූ පත් වූ රාජ්‍ය නායකයන්ද සංකල්පීයව රජවරුන් ලෙස සැලකිය හැක.

මහින්ද රාජපක්ෂ වැනි චරිතයක් කෙරෙහි විශේෂයෙන් අපේ රටේ ගම්වැසියන්ගේ ආදරය අදටත් නොඅඩුව පවතින්නේ මහින්ද රාජපක්ෂ රජෙකුගේ ප්‍රතිරූපයට වඩාත් ගැලපෙන පෞරුෂයකින් හෙබි තැනැත්තෙක් නිසාය.

නූතනත්ව චින්තන පෙරළිය සිදු නොවූ අප වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදය සදාකල්ම පවතින්නේ විකෘතියක් ලෙසයි.

දික්කසාදය පිටු දැකිය යුත්තේය

බටහිර නූතනත්වය සමඟ සිදු වූ ප්‍රධානම දේ නම් පුද්ගලිකත්වය ඉස්මතු වීමයි. පුද්ගල නිදහස නම් සංකල්පයට ඇති අවධාරණය අසීමාන්තික ලෙස වර්ධනය විය. මේ සමඟම විවාහය පිළිබඳ පිළිබඳව ඇති ආකල්පද දරුණු ලෙස වෙනස් විය.

නූතනත්වයට පෙර පැවති යුරෝපීය සමාජයේ සදාචාර හර පද්ධතිය නිර්ණය කළ කතෝලික ආගමට අනුව දික්කසාදය අනුමත නොකෙරේ. දෙවියන් විසින් එක් කළ යුවළක් මිනිසුන් විසින් වෙන් නොකළ යුතුය යන්න විවාහය පිළිබඳ කතෝලික ආගමේ දෙනු ලබන අර්ථයයි. නූතනත්වයේ එක් ප්‍රවාහයක් ප්‍රොතෙස්තන්ත ආගම්වල සම්ප්‍රාප්තියත් සමඟම දික්කසාදයට තිබූ වැට කඩොළු ලිහිල් වන්නට විය. ඇන්ග්ලිකානු ආගම බිහිවන්නට හේතු වූයේම අටවැනි හෙන්රි රජුගේ දික්කසාද අයිතිය පිළිබඳ කතෝලික පල්ලිය සමඟ ඇති වූ මත ගැටුමයි. කෙසේ හෝ අද බටහිර ලෝකයේ දික්කසාදය යන්න සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. පහත දැක්වෙන්නේ ලෝකයේ විවිධ රටවල දික්කසාද අනුපාතයන්ය:

Capture මේ වාර්තාවලට අනුව ශ්‍රීලංකාවේ දික්කසාද සිදුවන්නේ ඉතාම අඩු වශයෙනි. දළ අර්ථයෙන් ගත් කළ එක්සත් ජනපදයෙ විවාහ 100කින් 53 ක්ම දික්කසාදයෙන් කෙළවට වන අතර ලංකාවේ විවාහ 100 කින් දික්කසාදයකින් කෙළවර වන්නේ දෙකක් පමණි. මගේ අදහස නම් මෙය අපට ජාතියක් වශයෙන් ආඩම්බර විය හැකි කාරණයකි. ලිබරල් මානසිකත්වයක් ඇති අයෙකු නම් මේ සලකනු ඇත්තේ පසුගාමී ජාතියක ලක්ෂණයක් ලෙසයි.

දික්කසාදය වෙනුවෙන් තර්ක කරන අයගෙන් නිතර දෙවේලේ අසන්නට ලැබෙන නගන ප්‍රධානතම තර්කය නම්, “දෙදෙනාට දෙදෙනා නොගැලපේ නම්, එක්ව දුකින් නොසිට, වෙන් වී යාමට  ඔවුන්ට  ඇති අයිතිය වැළැක්වීමට සමාජය අයිතියක් නැත.” යන්නයි. මුලින්ම කිව යුත්තේ දික්කසාදයට මූලික හේතුව ලෙස ඉදිරිපත් කරන මේ “නොගැලපීම” යන වචනය ප්‍රෝඪාවක් බවයි. දික්කසාදයට මූලික හේතුව දුරාචාරයයි; ආශාවන් පාලනය කර නොගැනීමයි. කෙසේ වුවත් එය මඳකට අමතක කරමු.

දික්කසාදයේදී මේ තර්කයට අනුව සලකනු ලබන්නේ පාර්ශවයන් දෙකක් ගැන පමණි. සැමියා සහ බිරිඳ. ඔවුන්ගේ කැමැත්ත සහ නිදහස. නමුත් මේ තර්කය මුළුමනින්ම වැරදිය. අයුක්ති සහගතය. විවාහයේ පාර්ශවකරුවන් වන්නේ අඹුසැමියන් පමණක් නොවේ. දරුවෝද විවාහයක පාර්ශවකරුවෝ වෙති. දික්කසාදයක තීරණය උදෙසා දරුවන්ගේ කැමැත්තද සලකා බැලිය යුතු වන්නේමය. දරුවන් අකමැති නම් දරුවන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ පුද්ගල නිදහස කැපකිරීමට අඹුසැමියන් කටයුතු කළ යුතුය.

දික්කසාදයකදී විනාශ වන්නේ දරුවන්ගේ ජීවිතයි. ඕනෑම දරුවකු කැමති තම දෙමාපියන් එකට සිටිනු දැකීමටයි.මාගේ අත්දැකීම් අනුව බටහිර සංස්කෘතිය තුළද එය එසේ ය. දික්කසාදය නිසා දරුවන්ගේ ජීවිත මුළුමනින්ම බිඳ වැටේ. එය මා ඇත්දැකීමෙන්ම අප සමාජයේ මෙන්ම බටහිර සමාජයේද දැක ඇති කාරණයකි. බටහිර රටවල මිනීමරුවන්, අපචාරකයන්, සහ වෙනත් අපරාධකරුවන් බොහෝ දෙනෙකුගේ ජීවිත කතා දෙස බැලුවහොත් ඔවුන්ගේ දෙමාපියන් දික්කසාද වී තිබීම සහ එම සිද්ධිය ඔවුන්ගේ ජීවිත වෙනස් කළ ආකාරය නිරීක්ෂණය කළ හැක.

මේ පිළිබඳව ලිවීමට මගේ සිත වඩාත්ම පෙළඹුණේ බටහිර රටක පුස්තකාලයක ළමා පොත් රාක්කයේ “Divorce” නමින් වූ පොතක් දැකීමෙන් ඇති වූ කම්පනයයි. එය වැරදීමකින් එතන ඇතැයි මුලින් සිතුනද පොත පෙරළා බැලූ විට මා දුටුවේ දෙමාපියන්ගේ දික්කසාදයෙන් සිදුවන බිඳවැටීම මඟ හරවා ගැනීමට කුඩා ළමුන්ට දී ඇති උපදෙස් මාලාවකි. රූපමය සටහන් ආදියෙන් විචිත්‍රවත්ව එහි දක්වා තිබුණේ දික්කසාදය සාමාන්‍ය දෙයක් බවත් දරුවන් එය විඳ දරා ගැනීමට හුරු විය යුතු බවත්ය.

ජාතික විඤ්ඤාණය සහ වෙනත් විඤ්ඤාණයන්

පුද්ගලයන් හට විවිධාකාර විඤ්ඤාණයන්* හට ගනී: ජාතික විඤ්ඤාණය, වාර්ගික විඤ්ඤාණය, ආගමික විඤ්ඤාණය, කුල විඤ්ඤාණය, ප්‍රදේශ විඤ්ඤාණය, පංති විඤ්ඤාණය … ආදී වශයෙන්. උදාහරණයක් වශයෙන්ජාතික විඤ්ඤාණය යනු තමන්ගේ ජාතිය පිළිබඳ “මෙය මාගේ ජාතිය ය, මා මේ ජාතියට අයත්ය” ඇති හැඟීමය. එලෙසම එකී ජාතියට අයත් තවකෙක් පිළිබඳව “මේ මාගේ ජාතියට අයත් එකෙකි” ය යන හැඟීමද පැන නගී. මෙලෙස ජාතික විඤ්ඤාණය යම් පොදු ජන සමූහයක් – කුලකයක් තුළ එකට පැන නගී. ඉන්පසු එකී කුලකය යම් යම් කාරණා සම්බන්ධයෙන් එකට සිතීමට සහ එකට ක්‍රියා කිරීමට කටයුතු කරයි. එලෙසම වාර්ගික විඤ්ඤාණය රටක එක් ජනවර්ගයකට (Ethnic Group) අයත් පුද්ගලයන් තුළ පොදු වශයෙන් පැන නගී. කුල විඤ්ඤාණයද ඒ ආකාරය. මේ සියල්ල උපාදානයන් සහ සංස්කාරයන් ය.

පංති විඤ්ඤාණය පවතින්නේ කාල් මාක්ස් සඳහන් කළ ආකාරයෙන් ආර්ථිකය මූල කොට ගෙන බෙදුණ පංති වශයෙන් නොවේ. කාල් මාක්ස් ගේ පන්ති පිළිබඳ අදහස අතිශය වියුක්ත අදහසකි. කිසිම කෙනෙකුට “තමන් කම්කරු පංතියට අයත් වේය” යන අදහස හෝ හැඟීම කිසිම කලක පැන නොනගී. මේ ගැටළුවට වී.අයි. ලෙනින් සහ අන්තෝනියෝ ග්‍රැම්ස්චි වැනි මාක්ස්වාදීහු පසුව විකල්ප අදහස් ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත්, කාල් මාක්ස්ගේ අදහස වැරදි වුවත්, සමාජය පන්ති වශයෙන් බෙදෙන අතර ඊට ආර්ථිකය මෙන්ම සංස්කෘතිය යන සාධකයද ප්‍රබල වශයෙන් මුල් වේ. මේ ගැන ලියැවුන තවත් ලිපියක් : පංතිය ආර්ථිකයට ඌණනය කිරීම.

අපේ රට ගැන සලකා බලන කල, අන් රටවල නැති හෝ අඩු වශයෙන් දක්නට ඇති, සුවිශේෂ විඤ්ඤාණයක් දෙකක් පවතී: එකක් පාක්ෂික විඤ්ඤාණය. අනෙක විද්‍යාල විඤ්ඤාණයයි. (මේ විද්‍යාල විඤ්ඤාණය, පංති විඤ්ඤාණය සමඟ කෙළින්ම ගැට ගැසී ඇත.)  පාක්ෂික විඤ්ඤාණය යනු තමන් සහාය දක්වන දේශපාලන පක්ෂය පිළිබඳ ඇති බැඳීම යි.  සිංහල සමාජය තුළ එය ප්‍රධාන වශයෙන් එ.ජා.ප (කොළ පාට) හෝ ශ්‍රිලනිප (නිල් පාට)  වීම ලෙස දෙකට බෙදේ. ජවිපෙ අරභයා ද  රටේ ජනගහණයෙන් සුළු පිරිසකගේ පාක්ෂික විඤ්ඤාණය ක්‍රියා කරයි.  කෙනෙකු තමන් ඡන්දය දෙන දේශපාලන පක්ෂය තෝරා ගන්නේ ඒ ඒ පක්ෂයේ ප්‍රතිපත්ති හෝ මැතිවරණ පොරොන්දු සොයා බලා යැයි කියන්නේ නම් එය අසත්‍යයකි. පාක්ෂික විඤ්ඤාණය අහඹු ලෙස පිහිටන්නක්ද නොවේ. පාක්ෂික විඤ්ඤාණය වැඩි දෙනෙකුගේ පැමිනෙන්නේ පවුලෙනි. එමෙන්ම එය ආගමික, වාර්ගික, කුල සහ පන්ති විඤ්ඤාණයන් සමඟ සංකීර්ණ සහ සිත් ගන්නා සුළු ලෙස බැඳී පවතී.

මගේ අදහස නම් ජාතික විඤ්ඤාණය හැරෙන්නට අනෙක් සියලු විඤ්ඤාණයන් නිෂේධනාත්මක දේවල් ය. වෙනත් අයුරකින් කියනවා නම්, අනෙක් සියල්ල විසින් කෙරෙනු ලබන්නේ ජාතික විඤ්ඤාණය දුර්වල කිරීමයි. අපේ රටේ දෙමළ මිනිසා ප්‍රධාන කොටම වාර්ගික විඤ්ඤාණය මතම ක්‍රියා කරන තැනට තල්ලු වී ගොස් ඇත. මරක්කල මිනිසා මුළුමනින්ම ක්‍රියා කරන්නේ ඉස්ලාමීය විඤ්ඤාණය මතයි. ඔහුගේ අනෙක් විඤ්ඤාණයන් ඉතාම තුනී ය. සිංහල මිනිසා තුළ දැඩිව ක්‍රියා කරන්නේ පාක්ෂික විඤ්ඤාණයයි. සිංහල මිනිසා තුළ ජාතික විඤ්ඤාණය පහළ වන්නේ ක්‍රිකට් මැච් වලදී පමණක් දැයි සිතෙන තරමට ඔහුගේ ජාතික විඤ්ඤාණය තුනී එකකි.

කෙසේ නමුත් මා පවසන්නේ අනෙක් විඤ්ඤාණයන් සමතලා කළ යුතු බව නොවේ. එවැන්නක් කිසිදා කළ නොහැක. අප කළ යුත්තේ තුනී ව පවතින ජාතික විඤ්ඤාණය දැඩි කිරීමයි. ජාතික විඤ්ඤාණය දැඩි කළ හැක්කේ ජාතික අභිමානය වර්ධනය කිරීමෙනි.

එමෙන්ම අනෙක් විඤ්ඤාණයන් ක්‍රියා කරන අන්දම අවබෝධ කර ගත යුතු ය. විශේෂයන් දේශපාලනය ගැන කතා කිරීමේදී, පාක්ෂික විඤ්ඤාණයන් පුද්ගලයන් කෙරෙහි බලපාන අයුරුත්, ඔවුන් ඒ අනුව තීරණ වලට එලැඹෙන ආකාරයත් තේරුම් ගත යුතු ය.

———————–

* මෙතන විඤ්ඤාණය යන පදය යෙදෙන්නේ චක්ඛු විඤ්ඤාණය ආදී ඉන්ද්‍රීයන් සම්බන්ධ විඤ්ඤාණයන්ට නොවේ. මෙතන විඤ්ඤණය යන පදය සුදුසු යෙදුමක් නොවේ යැ‍යි සිතමි. කෙසේ වුවත් තත්කාලීනව මේ සම්බන්ධවයෙන් විඤ්ඤාණය යන පදය යෙදෙන නිසාත්, ඊට සුදුසු වෙනත් පදයක් යෙදෙන්නේ නොමැති නිසාත් දැනට එම පදයම යොදා ගනිමි.

 

ඔබට පෙනෙන්නේ මට පේන රතු පාටමද?

කුඩා කල සිදු වූ සිද්ධියක් කරා මතකය ඇදේ. මට මතක හැටියට එය ව්ලද්මීර් කරලෙන්කෝ ගේ “අඳ වාදකයා” නම් සාහිත්‍ය කෘතිය විය යුතුය. එය මා ආශාවෙන් කියවූ පොතකි. එහි එක් තැනක අන්ධ වාදකයකුට වර්ණ යනු කුමක්දැයි විස්තර කර දීමට කරනු ලබන ප්‍රයත්නයක් විස්තර කෙරේ. ඒ අවස්ථාව ගැන මම මගේ මාමා කෙනෙකුට විස්තර කළෙමි. එය අසා සිටි මගේ මාමා කීවේ උපතින් අන්ධ කෙනෙකුට වර්ණ යනු කුමක්දැයි කිසිම දිනක වටහා ගත නොහැකි බවයි. එය මගේ සිත ප්‍රහේලිකාවටකට සහ වේදනාවකට ලක් කළේය.

මෙය වඩාත් සංවේදී ලෙස විස්තර කෙරෙන අවස්ථාවක් කේයස් කවියාගේ “සුදෝ සුදු” කෘතියේ වේ. අන්ධ ළමයෙක් තම මව වෙත පැමිණ මෙසේ අසයි:

“…මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොළොක් බව තේරෙනවා මටද
එළියක් කියා මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද

උණුසුම දැනේ දහවල මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා

ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
පාට කියා ඇත්නම් ගතියක් මලෙක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

ලස්සන කියන දේ නැහැයට වත් කනට
මගේ දිවට හරි මගෙ අත පය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට…”

කෙසේ වෙතත්, මගේ මාමා කියූ කතාව ඇත්තය. වර්ණ පිළිබඳ හැඟිම උපතින් අන්ධ කෙනෙකුට කිසිදා ලබා ගත නොහැක. “සුදෝ සුදු” පැදියේ විස්තර වන අයුරින් වර්ණ පිළිබඳ හැඟීමක් අපට ලබා ගන්නට නම් එය කළ යුත්තේ අනෙකුත් ඉන්ද්‍රිය අනුසාරයෙනි. එය කිසි සේත් කළ නොහැක. අනෙක් ඉන්ද්‍රිය සම්බන්ධයෙන්ද එය සත්‍ය වේ. රස පිළිබඳ හැඟීමක් අනෙක් ඇස, කන හෝ අනෙක් ඉන්ද්‍රිය අනුසාරයෙන් ලබා ගත නොහැක.

මේ ඔස්සේ කල්පනා කරන විට තවත් යමක් කල්පනා විය. “මම දකින රතු ඔබ දකින රතුමද?”. කෙනෙකුට එය මෝඩ ප්‍රශ්නයක් ලෙස එකවර සිතිය හැක. නමුත් එය එසේ නොවේ. උදාහරණයක් ලෙස මෙසේ කල්පනා කරමු. (මෙසේ කල්පනා කිරීමම වැරදිය. එය පසුව අවබෝධ වනු ඇත.) ඇතැමෙක් මොළයේ වර්ණ හඳුනා ගැනීමේ ආභාධයක් සහිතව උපදී. ඔහුට රතුපාට පෙනෙන්නේ නිල්පාට ලෙසයි. නිල්පාට පෙනෙන්නේ රතුපාට ලෙසයි. දැන් මේ ළමයා බහ තෝරන වයසට ළඟා වේ. ඔහුට ඔහුගේ මව් නිල්පාට සෙල්ලම් බෝලයක් ලබා දෙයි. දැන් මේ දරුවා එය දකින්නේ රතු පාට බෝලයක් ලෙසයි. දැන් ඔහුගේ මව “මෙන්න පුතේ නිල්පාට බෝලයක්” යනුවෙන් වර්ණ හඳුනා දීමට උත්සාහ කරයි. එවිට දරුවා තමන් දකින රතුපාට බෝලය නම් කරන්නේ නිල්පාට බෝලයක් ලෙසයි. එනම් ඔහු “තමන් දකින රතු පාට” නම් කරන්නේ “නිල් පාට” ලෙසයි. එලෙසම ඔහු “තමන් දකින නිල්පාට” හඳුනා ගන්නේ “රතු පාට” ලෙසයි. ඔහු මියෙන තෙක්ම රතු පාට නිල් පාට කියාත්, නිල් පාට රතු පාට කියාත් සලකනු ඇත. ඔහුට මෙන්ම කාටවත් මෙය කිසිදාක නිවැරදි කළ හැක්කක් නොවේ.

එසේ නම් ඔහු “නිල් පාට” යැයි කියන්නේ අප කියන “නිල් පාට” ට නොවේ; ඔහුගේ “නිල් පාට”, “අපේ නිල් පාට” ට වඩා වෙනස් ය. ඔහුගේ නිල් පාට කුමක්දැයි අපට කිසිදා දැනගත හැකි නොවේ.”අපේ නිල් පාට” කුමක්දැයි ඔහුටද කිසි දා දැන ගත නොහැක. වඩා නිවැරදිව කිවතොත් “අපේ නිල් පාට” යනුවෙන් කිසිවක් නැත. ඇත්තේ “මගේ නිල් පාට” කි. “මගේ නිල් පාට” කුමක්දැයි කිසිවෙකුට කිසි දා දැන ගත නොහැක.  ඔබ රතු දකින්නේ මා රතු දකින අන්දමින්ම යැ‍යි නිශ්චිතව කිව හැක්කේ කෙසේද?  ඔබ රතු දකින්නේ කෙසේ දැයි මා හට විස්තර කළ හැකිද? ඔබ රතු දකින්නේ කෙසේ දැයි දැන ගත හැකි එකම ආකාරය මා ඔබ බවට පත් වීමෙන් පමණි.

මේ පිළිබඳ යළිත් ලිවීමට සිත් වූයේ වර්ණ යනු වාස්තවික දෙයකැයි එක් මෝඩයෙක් කියා තිබෙනු දැකීමෙනි. වර්ණ වාස්තවික නැත. වර්ණ පමණක් නොව ඉන්ද්‍රිය ගෝචර වෙනත් කිසිවක් වාස්තවික නැත. ඒවා සාප්කේෂය.

මුස්ලිම්වරු සිංහල ජාතියට අවශෝෂණය කර ගත හැකිද?

මුස්ලිම් වරු අපේ සංස්කෘතියට අවශෝෂණය නොවෙති. එවැන්නක් කවදාවත් සිදු වී නැත. නලින් ද සිල්වා මහතාගේ අදහසට අනුව ලෝකයේ එසේ රටේ ප්‍රධාන ජාතියට අවශෝෂණය නොවන ජනවර්ග දෙකකි. එකක් මුස්ලිම්වරුය අනෙක් වර්ගය යුදෙව්වන්ය. යුදෙව්වන් කෙසේ වෙතත් මුස්ලිම්වරු අපේ ජාතියට අවශෝෂණය වී නැති බව අපි අත්දැකීමෙන් දනිමු. සිංහල රජ දවස දකුණු ඉන්දියාවෙන් මෙරට ආ දෙමළ, අන්දර දෙමළ, මලයාලම් ආදී නොයෙක් ජනවර්ග මෙරට පැවති සිංහල-බෞද්ධ සංස්කෘතියට සාර්ථකව අවශෝෂණය වූහ. එහෙත් එකලම මෙහි පැමිණි මුස්ලිම් ජනවර්ග අවශෝෂණය වී නොමැත.

වර්තමානයේ උතුරේ දෙමළ ජනවර්ගය සිංහල ජාතියට අවශෝෂණය වී නැත්තේ ඉංගිරීසින් විසින් යටත්විජිත සමයේ ගන්නා ලද සූක්ෂ්ම පියවරයන් නිසාය. නමුත් අපේ රටේ මුස්ලිම් ජනවර්ගය සිංහල ජාතියට අවශෝෂණය නොවීමට ප්‍රධාන හේතුව ඉංගිරිසින් විසින් කරන ලද දෙයක් නොවේ. ඊට හේතුව මුස්ලිම්වරුන්ගේ ආගමික විඥාණය ඔවුන්ගේ ජාතික විඥාණයට වඩා දැඩි වීමයි.

10176227_10152404945333482_8796058910230671031_n

අවශෝෂණය යනු ස්වභාවික ක්‍රියාවලියකි. යම් ජනවර්ගයක් ඔවුන් ජීවත්වන රටේ මුඛ්‍ය සංස්කෘතියට අවශෝෂණය වන්නේ එකී මුඛ්‍ය සංස්කෘතියට ශක්තිමත් දේශපාලන බලයක රුකුල ලැබේ නම් පමණි. රාජ්‍යත්වය යනු එයයි. අපේ රටේ අඛණ්ඩ සිංහල බෞද්ධ සංස්කෘතියක් පැවතීමට හේතුව එය රාජ්‍යත්වය සමඟ ශක්තිමත්ව ගැට ගැසී තිබීමයි. එසේ නොමැති කල සිදුවන්නේ අවශේෂ ජනවර්ග ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවන් ශක්තිමත් කර ගැනීම සහ ඒ ඔස්සේ ඔවුන් යම් කිසි භූමියක් පදනම් කරගෙන වෙනම රාජ්‍යත්ව සංකල්ප ගොඩ නඟා ගැනීමයි.

අද මුළු ලෝකයම බටහිර යටත්විජිතවාදයෙන් වෙළී ඇත. තුන්වන ලෝකය යැයි හඳුන්වනු ලබන රාජ්‍යයන් සියල්ලම බටහිර නොවන සංස්කෘතීන් පැවති රටවල්ය. මේ රටවල් සියල්ලගේම පාහේ ඇත්තේ දුර්වල රාජ්‍යයන්ය. (යම් රාජ්‍යයක් ශක්තිමත් වෙමින් පවතී නම් ඇමෙරිකව ප්‍රමුඛ බටහිර රටවල් දේශපාලනිකව ඒවා මර්ධනය කරති.) මේ නිසා මේ හැම රටකම පාහේ ජනවාර්ගික ගැටලු පවතී. ජනවාර්ගික ගැටළු යනු ජනවර්ග තමන් ජීවත් වන රටේ මුඛ්‍ය සංස්කෘතියට අවශෝෂණය නොවී වෙනම රාජ්‍යත්ව සංකල්ප දක්වා ගමන් ගැනීමයි.

අපේ රටේ මුස්ලිම්වරුද අපේ සංස්කෘතියට අවශෝෂණය වන බවක් නොපෙනේ. සිදුවන්නේ (විශේෂයෙන් පසුගිය දශක දෙක තුන තුළ ) ඔවුන් සිය වාර්ගික අනන්‍යතාව ශක්තිමත් කරගනිමින් සිටීමයි. දැන් ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය නොවීමේ හේතුව මෙරට සිංහල බෞද්ධයන්ගේ කළ කිසි දෙයක් නොවේ. මුස්ලිම් කාන්තාවන් පර්දාව හැර නිකාබ්, බුර්කා ඇඳීමට හේතුව සිංහල බෞද්ධයන් කළ දෙයක්ද? කෙසේ වුවත් රටේ බහුතර සිංහල ජනතාවට මෙය දැනෙන තත්වයකට වර්ධනය වීමත් සමඟ ඔවුන් ඊට යම්කිසි ප්‍රතිරෝධයක් දැක්වීම පසුගිය වකවානුවේ සිදු විය. හලාල් විරෝධය, මුස්ලිම් කඩ වර්ජනය ආදිය උදාහරණ වැනි දෑ ඊට උදාහරණය. කෙසේ නමුත් මුස්ලිම්වරුන් සිංහලත්වයට අවශෝෂණය නොවීමට හේතුව ඉහත සිංහල සමාජයෙන් එල්ල වු යම් ප්‍රතිරෝධී ක්‍රියාමාර්ග බව සමහරුන් විසින් හුවා දැක්වීමට උත්සාහ කිරීම වැරදි නිගමනයකි.

indian-muslims-poorest-505x269
මුස්ලිම්වරුන් අවශෝෂණය කර ගත නොහැකි නම් කළ යුත්තේ ඔවුන්ට වෙනම රාජ්‍යයක් ලබා දීමද නැතිනම් ඔවුන්ව සමූල ඝාතණය කිරීමදැයි පෙරළා අපෙන් ප්‍රශ්න කෙරේ. සියළු ජනවර්ග සිංහල-බෞද්ධ ජාතියට අවශෝෂණය විය යුතු යැයි නියමයක් නැත. හොඳම උදාහරණය ලංකාවේ වැදි ජනවර්ගයයි. දෙමළ හෝ මුස්ලිම් මෙන් නොව ඉතාම පැරණි ජනවර්ගයක් වන ලංකාවේ වැද්දෝ වෙනම අනන්‍යතාවක් පවත්ගෙන යන පිරිසකි; ඔවුන් කතා කරන්නේ වෙනම බසකි; ඔවුහු බෞද්ධයෝ නොවෙති; ඔවුන්ගේ සංස්කෘතිය වෙනස්ය. එහෙත් ඔවුහු මේ රටේ මුඛ්‍ය සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගෙන ඊට අනුකූලව ජීවත් වෙති. වර්තමානයේ කෙමින් මැකී යමින් පැවතියත් වැද්දන්ට ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳ විඥාණයක් තිබේ. එහෙත් ඔවුහු කිසි කලෙක සිය අනන්‍යතාව පිළිබඳ විඥාණය වෙනම ජාතියක් හෝ රාජ්‍යත්වයක් දක්වා දැඩි කර ගන්න නොයති. බොහෝ කලක සිට අපේ බොහොමයක් මුස්ලිම්වරුද මේ අනුව ජීවත් වෙති. බොදු බැති ගී කියූ මොහිදීන් බෙග් උදාහරණයකි.

එහෙත් මෑතක සිට මුස්ලිම්වරුන්ගේ අන්තවාදය සහ ව්‍යාප්තවාදය දැඩි වෙමින් පවතී. මෙහිදී මුස්ලිම්වරුන් අපේ ජාතියට අවශෝෂනය වේ යැයි සිතා, ඔවුන් කෙරෙහි සහනශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට සඳහා හලාල් වැනි පැහැදිලිම ව්‍යාප්තවාදී අංගවලට ඉඩ දීමට හැරීම මෝඩ කමකි. ඉන් සිදුවන්නේ මුස්ලිම් වාර්ගිකයන් සිංහලත්වයට අවශෝෂණය වීම නොව සිංහලයන් මුස්ලිම් සංස්කෘතියට අවශෝෂණය වීමයි.  අප කළ යුත්තේ වර්තමානයේ අපේ රාජ්‍යත්වය සමඟ බැඳ ඇති සර්වාගමික-බහුවාර්ගික-ශ්‍රීලාංකික සංකල්ප ඉවත ලා එය ශක්තිමත් සිංහල බෞද්ධ රාජ්‍යයක් කිරීමයි. ඒ සඳහා හලාල් වැනි දේ දේශපාලනිකවම යටපත් කළ යුතුය.

 

ෆෙයින්මාන් සහ මාලුංක්‍ය පුත්ත හාමුදුරුවෝ

Richard_Feynman_Nobelරිචඩ් ෆෙයින්මාන් යනු ප්‍රකට ඇමෙරිකානු යුදෙව් වාර්ගික භෞතික විද්‍යාඥයෙකි. බටහිර විද්‍යාවට කරන ලද සේවය වෙනුවෙන් 1965 දී හෙතෙම භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබුවේ ය. බටහිර විද්‍යා ලෝකය තුළ ඔහු වඩාත් ජනප්‍රිය චරිතයක් වන්නේ  භෞතික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය ලෝකයෙන් එපිට ඔහු විසින් කරන ලද දේශන, පොත පත ලිවීම වැනි කාර්යයන් නිසා ය.

ෆෙයින්මාන් තවත් ප්‍රසිද්ධ වන්නේ ඔහු විසින් කරන්නට යෙදුණ පහත කියමන නිසා ය: “I think I can safely say that nobody understands quantum mechanics.”

බටහිර ලෝකයට ක්වන්ටම් භෞතිකය නොතේරෙන්නේ නැතිනම් ගෝචර නොවන්නේ, බටහිර දැනුම් පද්ධතිය බිහි වූ ග්‍රීක-යුදෙව්-ක්‍රිස්තියානි චින්තනය තුළ චතුෂ්කෝටික තර්කනය නැති වීම නිසා බව පිළිගැනීමට බොහෝ දෙනා මැළි වෙති. එබැවින් ඔවුහු ෆෙයින්මාන් ගේ ප්‍රකාශය හුදු කාව්‍යාත්මක ප්‍රකාශයක් ලෙස සලකා අමතක කරති.

කෙසේ වෙතත් මේ ලිපියට ප්‍රස්තුත වන්නේ ෆෙයින්මාන් විසින් කරන ලද පහත වීඩියෝවේ ඇති කතාවයි. බටහිර දැනුම් පද්ධතිය අනිත් දැනුම් පද්ධතිවලින් වෙනස් වන යම් යම් ලක්ෂණ ඇති බව සත්‍යයකි. එහෙත් බටහිර දැනුම් පද්ධතිය අනෙක් සියලුම දැනුම් පද්ධතිවලට වඩා සුවිශේෂී, ඉහළම එකක් බව පෙන්වීමට බොහෝ බටහිර විද්වත්හු උත්සාහ දරති. කාල් පොපර් විද්වතා සිය අසත්‍යකරණය(Falsification)  තුළින් උත්සාහ කළේද එය යි. මේ කතාවේ ෆෙයින්මාන් විද්වතා උත්සාහ දරන්නේත් ඒ සඳහා මය.

මේ වීඩියෝව තුළ ඇත්තේ දීර්ඝ කතාවක කොටසක් පමණි. එහිදී ෆෙයින්මාන් බොහෝ දේ කියයි. නමුත් ෆෙයින්මාන් ගේ කතාවේ සාරය ඇති කතාවේ අවසාන භාගය මේ වීඩියෝ ඛණ්ඩය තුළ අන්තර්ගතය. මෙතන ෆෙයින්මාන් කියන්නේ කුමක්ද?

තමා උත්සාහ කරන්නේ විශ්වය පිළිබඳ අවසාන විද්‍යාත්මක නියමයන් සොයාගැනීමට නොව, ලෝකය පිළිබඳව තව දුරටත් ගවේශණය කිරීමට පමණක් ය. ගවේශණය තුළින් විශ්වය පිළිබඳ යම් අවසාන සරල නියමයන් කීපයක් කවදා හෝ සොයාගැනීමට ලැබුණොත් ඉතා හොඳයි, නමුත් ගවේශණය තුළින් සොයා ගැනීමට ලැබෙන්නේ ළුෑණු ගෙඩියක් ලෙලි ගසා ඉතිරිවන මිලියනයක් පමණ වන ළුෑණු සිවි වැනි සංකීර්ණ තත්වයන් සමුදායක් නම් තමා ඉන් තෘප්තිමත් ය. 

ආගම් ලෝකයේ සිදුවන සියළු ප්‍රපංචයන්ට උත්තර / හේතු, නියම (Theories) ආකාරයෙන්  ලබා දී ඇත. ඒ තුළ ඇත්තේ විශ්වාසය පමණි. නමුත් බටහිර විද්‍යාව තුළ කිසිම දෙයක් විශ්වාස කිරීමට අවශ්‍ය නැත; ප්‍රශ්න කිරීම, සැක කිරීම කළ හැක.  යමකට උත්තර / හේතු නොදන්නේ නම් තමාට ඒ නොදන්නා කම, අවිනිශ්චිත බව තුළ ජීවත් විය හැක. යමක් පිළිබඳව දෙන ලද වැරදි හේතු විශ්වාස කිරීමට වඩා ඒ පිළිබඳ නොදන්නා කම යහපත් ය. විශ්වයේ සිදුවන බොහෝ දේට හේතු තමා දන්නේ නැත. හේතු නොදැනීම තමාව කිසි අපහසුතාවයකට හෝ බියකට පත් නොකරයි. 

ෆෙයින්මාන් ගේ මේ කතාව තරම් බොරුවක් තවත් ඇත් ද? මේ ලෝකයේ සිදුවන සියළු ප්‍රපංචනයන්ට “උත්තර” දෙන්නට යන්නේ බටහිර විද්‍යාව මිස ආගම් නොවේ. පොල් ගසෙන් පොල් ගෙඩි බිම වැටීමේ සිට ක්ෂුද්‍ර ජීවින් ප්‍රජනනය කරන ආකාරයත්, ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණිය උපත ලැබූ ආකාරයත් පිළිබඳ “උත්තර” ලබා දෙන්නේ බටහිර විද්‍යාව මිස ආගම් නොවේ.

විශේෂයෙන් බුදුදහම තුළ නම් මේ ලෝකයේ සිදුවන සියළු ප්‍රපංචයන්ට “උත්තර” ලබා දීමක් සිදු කර නැත. බුදුන් වහන්සේගේ ධර්මය මූලික වශයෙන් ඉලක්ක වන්නේ සසර ගමන කෙටිකර ගෙන නිවන් අවබෝධ කර ගැනීම ඔස්සේ ය. පොල් ගහෙන් ගෙඩි වැටෙන්නේ ඇයිද යන ප්‍රශ්නයට බුදුදහම තුළ “උත්තර” නැත. පොල් නැත්නම් ඇපල් ගහෙන් ගෙඩි වැටෙන්නේ ඇයිද යන්නට “උත්තර” යක් මුලින්ම දෙන්නට ගියේ වසර පන්සියකට පමණ පෙර අයිසැක් නිව්ටන් නම් ඉංගිරිසි ජාතිකයෙකි. මා දන්නා තරමින් මේ ලෝකයේ වෙනත් ශිෂ්ටාචාරවල මිනිස්සු පොල් ගහෙන් ගෙඩි වැටෙන්නේ ඇයි යන ප්‍රශ්නයට  “උත්තර” දෙන්නට ගොස් නැත. කෙසේ වුවත් නිව්ටන් විසින් දෙන ලද  “උත්තරය” බොරුවකි. එය බොරුවක් බව නොදැන මිනිස්සු එය තවමත් ඔසවා ගෙන යති. ෆෙයින්මාන් කියන ලද ප්‍රශ්න කිරීම හෝ සැක කිරීම හෝ එතන නැත.

කෙසේ වුවත් මීට කදිම පිළිතුරක් බුදුන් වහන්සේ මාලුංක්‍ය පුත්ත නම් තෙර කෙනෙකුට ලබා දී ඇත. එය මජ්ඣිම නිකායේ චූල මාලුංක්‍ය පුත්ත සූත්‍රයේ සඳහන් වේ. මාලුංක්‍ය පුත්ත තෙරුන්ටද මේ ලෝකයේ සිදුවන යම් යම් ප්‍රපංච වලට “උත්තර” අවශ්‍ය විය. ඒ තෙර නම බුදුන් වහන්සේ වෙත ප්‍රශ්න දහයක් නැගීය. බුදුන් වහන්සේ ඒවාට “උත්තර” දෙන්නට ගියේ නැත. ඉක්බිතිව මාලුංක්‍ය පුත්ත තෙරුණුවන්ට ෆෙයින්මාන්ට මෙන්ම “උත්තර” නොදැන ජීවත් වීමට හැකියාව ලැබුණි. පසුව උන්වහන්සේ රහත් බවට පත් වූහ.