ඉල් මහේ මතක

ඒ 1989 වසරයි. මගේ වයස අවුරුදු 12ක් පමණය. ඒ කාලයේ හිමිදිරි කලුවරේම පාසල් යාමේ රෝගයක් මට තිබුණි. එදිනද පාසල් යාමට නිවස ඉදිරිපස බස් නැවතුම වෙත ගිය මා හට පාර අයිනේ දමා තිබූ යමක් පෑගීමට ගොස් ඔන්න මෙන්න බේරුණි. ඒ වෙන කිසිවක් නොව පාර අයිනේ වෙඩි තබා මරා දැමුණු තරුණයකුගේ මල සිරුරකි. ඉන් මඳක් ඔබ්බට වන්නට එක මත ගොඩ ගසා තිබුණු තවත් මල සිරුරු පහකි. ඔවුන් හය දෙනාම එක මත ගොඩ ගසා තිබුණත් මට පෑගීමට ගිය තරුණයා, ඒ අවස්ථාවේ මිය ගොස් නොසිටි නිසා, මිය යාමට පෙර බඩගාගෙන ඉන් ඉවතට ආ බවක් පෙනෙන්ට තිබුණි. විවරව තිබූ ඔහුගේ ඇස් මගේ සිතේ නොමැකෙන සටහනක් තැබීය. මේ බස් නැවතුමේ හා ඒ අවට වරින් වර දමා ගිය මිනී අපි කුඩා කළ ගණන් කළෙමු. කැරැල්ල අවසන් වන විට එය 21ක් විය.

මහනුවරට භිෂණය පැමිණියේ ජවිපෙ කැරැල්ලේ අන්තිම කාලයේය. 1989 නොවැම්බරයේදී එක් රැයක අප ගමේ අවලම් ගමනක් ගිය හමුදාවේ සහ පොලීසියේ දෙදෙනෙකු රාත්‍රී “මුර” සංචාරයේ යෙදුණු ජවිපෙ කණ්ඩායමකට හසු වී එතනම වෙඩි තබා මරා දැමුණි. පසු දින සවස ගමේ කඩ මණ්ඩියට පැමිණි හමුදාවේ කිහිප දෙනෙක් පළි ගැනීම සඳහා මුළු ගමම “දෙවන මහවත්තක්” කරන බවට තර්ජනය කළ බවට දූෂමාන ආරංචියක් පැතිර ගියේය. (ඊට මාසයකට පෙර කුණ්ඩසාලේ මහවත්ත නම් ගමේ එක් රැයකදී පුද්ගලයන් හාරසියයක් පමණ මරා දමා තිබුණි.) එදින රෑ අප සිටියේ නිදි නැතිවය. මහ රෑ එක දිගට වෙඩි තබන හඬක් ඇසුණි. ඒ මොහොතේ අපට දැනුණු බය විස්තර කිරීමට වචන නොමැත. අසල්වාසී ගෙවල් කිහිපයේම අය එවෙලේ ගෙවල් අත හැර ගේ පිටිපස වූ කුඩා වන රොදට වැදුනෙමු.

පැය ගණනාවකට පසු කිසි සද්දයක් නැති නිසා නැවත නිවෙස් බලා ආ අපි පසු දින උදෑසනම නිවෙස් අත හැර, අතට හසු වූ දෙයක් ගෙන, වෙනත් ගමක ඥාතී නිවෙසක් බලා ගියෙමු. එදා රෑ හමුදාව විසින් ඇත්තටම සිදු කොට තිබුණේ ඔවුන්ගේ අත් අඩංගුවේ පසු වූ තරුණයන් පස් දෙනෙකු වෙඩි තබා ගමේ කඩමණ්ඩිය අසල දමා යාම බව පසුව අපට ආරංචි විය. එලෙස අපේ ගම දෙවැනි මහවත්තක් නොවී බේරුණි. පසු දින සවස අපගේ ඥාති නිවසේ සිටියදී නැවත අහස ගුගුරන වෙඩි හඬක් එක දිගට ඇසුණි. කලබල වී එළියට ආ අපට දැනගන්නට ලැබුනේ විජේවීරව මරා දමා ඇති බවකි. අපට ඇසුණේ නගරයට පැමිණි හමුදාව ප්‍රිතිය නිමිත්තෙන් අහසට තැබූ වෙඩිය.

සෑම වසරකම පාහේ ඉල් මහ සැමරුමත් සමඟ මේ මතකය වෙත මගේ සිත දුව යයි. අර තරුණයාගේ විවර වූ ඇස් තවමත් මා සිත හොල්මන් කරයි. කැරැල්ල නිසා නැවත නොඑන ගමන් ගිය, අප කුඩා කල දැන සිටි චරිත කිහිපයක් මතකට එයි. මේ සියල්ල මෙසේ සිදු වූයේ ඇයිදැයි සෙවීමට මා පසු කළෙක ජවිපෙ ඉතිහාසය ‘අ’යන්නේ සිට කියවූයෙමි. කෙසේ නමුත්, මා මේ සටහන ලියුවේ ඒ පිළිබඳ විග්‍රහයක් කිරීමට නොව ඉල්මහ සැමරුමත් සමඟ මගේ මතකයට ගලා එන ඒ අතීතය මූසල කටුක එකක් බව ඔබට පැවසීමටයි.

Advertisements