මාදුලාවේ සෝභිත හිමියෝ

කෙනෙකුන් මළ පසු ඔහුට අපහාස කිරීම වීම ඒ මළ කෙනා කවුරුන් වුවත් සිංහල බෞද්ධ සිරිත නොවේ. බෞද්ධ භික්ෂුවක් අරඹයා එය වඩාත් බලපායි.

මාදුලාවේ සෝභිත හිමියෝ අපවත් වී ඇත. ඒ හිමියෝ අපවත් වූයේ පැතූ යහපාලනය නොලැබුන නිසා ඇති වූ කලකිරීම නිසා බවට මතයක් ගොඩ නැගෙමින් ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ඒ හිමියන්ගේ ලෙඩ දුක් බැලීමට ගිය අවස්ථාවේ “අපට වැරදුනා” යනුවෙන් වදාළ බවක් ද ප්‍රචාරය වෙමින් පවතී.

මගේ මතය අනුව නම් මේ කතා දෙකම වැරදිය. මේ ආණ්ඩුව විසින් ගෙන එන යහපාලනයක් නැති බව ඒ හිමියන් නොදැන සිටියා නොවේ; එය මුසාවකි. මේ ආණ්ඩුවෙන් යහපාලනයක් ගෙන එනු ඇතැයි සිතා මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ මෙලෝ හසරක් නැති බබාලාය. මාදුලුවේ සෝභිත හිමියෝ එවැනි යහපාලන බබෙක් නොවේ. සිරිසේන, රනිල්, චන්ද්‍රිකා ඇතුළු දේශපාලඥයන් මෙන්ම නිර්මාල් ඇතුළු දේශපාලන ක්‍රියාධරයන්ගේ සැබෑ අභිලාශයන් මොනවාද යන්න දශක කීපයක් දේශපාලන ක්‍රියාධරයකුව සිටි සහ මේ පුද්ගලයන්ව කිට්ටුවෙන් ආශ්‍රය කළ ඒ හිමියන් නොදැන රැවටීමකට ලක් වූවාය යන්න විශ්වාස කළ නොහැක. ඒ නිසා මාදුලාවේ හිමියන්ට ඇති වූ කළකිරීමක් නැත. එසේ සිතන යමෙක් වේ නම් ඒ තැනැත්තාද පෙරකී යහපාලන බබාලාගේ පන්තියේම කෙනෙක් විය යුතුය.

මාදුලුවාවේ හිම්යෝ, යටත් පිරිසෙන් අවසාන අවුරුදු කිහිපයේ, කටයුතු කළේ අවංක අධාශයෙන් නොවේ. ඒ හිමියෝ චින්තන පර්ෂදයේ ආරම්භක සභාපතිය. ජේ.ආර්. ප්‍රේමදාස පාලනයට එරෙහිව විශාල හඬක් නැගූ හිමි නමකි. චන්ද්‍රිකාගේ පාලන සමයේ අවසන් වන විට දේශපාලන සිසිර නිද්‍රාවකට වැටුන ඒ හිමියෝ නැවත කරළියට ආවේ රාජපක්ෂ පාලනයට එරෙහිව දෙමළ බෙදුම්වාදයේ සිංහල නියෝජිතයන් සමඟය. මට ඒ හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් සංවේගයක් නො උපදී.

මේ අතර, මාදුලාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් කහකොඩි දාගෙන නටන සිංහල බෞද්ධ යූඇන්පී කාරයන් සහ ජේවිපිකාරයන්ගේ ව්‍යාජ රංගන නැරඹීම එක විට උත්ප්‍රාසය සහ පිළිකුල දනවන දෙයක් වී ඇත.

sobitha

Advertisements

පැරඩි සහ බොරු කොඩි

සමාජ ජාලයක් (Social Network) වන ෆේස්බුක් (Facebook) අපේ රටේ ජනතාව තම පුද්ගලික නෑ මිත්‍ර සබඳතා පවත්වා ගැනීමට භාවිතා කරති. එමෙන්ම බොහෝ දෙනෙක් එය සමාජ-දේශපාලන සංවාදවලට මෙන්ම මතවාද ප්‍රචාරණය සඳහාද බහුල වශයෙන් යොදා ගනිති. රටේ එතෙක් පැවති අනෙකුත් මාධ්‍යවලට සාපේක්ෂව නානා ප්‍රකාර මතිමතාන්තර, අදහස්වලට ෆේස්බුක් එක තෝතැන්නක් වී ඇත්තේ

  • එහි ඇති ලිහිල් වාරණ නීති
  • මුදලක් වැය නොවීම
  • තරාතිරම්වලින් තොරව විශාල පිරිසකට විවෘත වීම
  • ඕනෑම කෙනෙකුට ප්‍රවේශ වීමට ඉඩ තිබීම
  • අනන්‍යතාවක් අවශ්‍ය නොවීම

වැනි කාරණා නිසාය.

මේ හේතුව නිසා නා නා ප්‍රකාර මතවාද, අදහස් කිසිදු අවහිරයකින් තොරව ගලා යාමේ ඉඩකඩක් ෆේස්බුක් එක තුළ ඇති වී ඇත.

අපේ රටේ විශේෂයෙන් මෑත කාලයේ ජාතිය සහ ආගම සම්බන්ධ කාරණාවලට වැඩි ජනප්‍රියතාවක් ඇති වී තිබේ. ඒ නිසා ෆේස්බුක් එක තුළ ද ඊට අදාළ දේ වැඩි වශයෙන් ප්‍රචාරණය වීම ප්‍රවණතාවකි.

මේ ඉඩ ඔස්සේ තවත් ප්‍රවණතාවයන් දෙකක් ඇති වී තිබේ. ඒ බොරු කොඩි සහ පැරඩි ය.

බොරු කොඩි (False Flags)

බොරු කොඩි යනු තම මතවාදී සතුරා වෙනුවෙන් (බොරුවට ) පෙනී සිටිමින් අන්තගාමී සහ අගතිගාමී හැසිරීමක් පෙන්නුම් කිරීමයි. එසේ හැසිරීම තුළ තම මතවාදී සතුරා පිළිබඳ නරක චිත්‍රයක් සමාජයට ලබා දීම බොරු කොඩී ව්‍යාපෘතිවල අරමුණ වේ. https://en.wikipedia.org/wiki/False_flag

බොරු කොඩි විශාල වශයෙන් යොදා ගැනුනේ පසුගිය වකවානුවේ මුස්ලිම් විරෝධය මතු කිරීමටයි. ලංකාවේ මුස්ලිම්වරුන්ට, ඔවුන්ගේ ආගමට තදබල ලෙස අපහාස වන අන්දමේ පිටු විශාල වශයෙන් නිර්මාණය වුනි. එමෙන්ම සංවාද අවකාශ වල සැරිසරන, අනන්‍යතාවක් නැති මුස්ලිම් විරෝධී ෆේස්බුක් ප්‍රොෆයිල්ද විශාල වශයෙන් පසුගිය වකවානුවේ දක්නට ලැබිණි. මේවා දැන් වැඩි පුර දක්නට ලැබෙන්නේ නැත. මේවායෙන් සමහරක් ඒවා පිළිබඳව අපට කළ හැකි නිගමනය නම් ඒවා බොරු කොඩි බවයි.

පැරඩි (Parody)

මෑත කාලයේ ඇති වී ඇති අනෙක් වසංගත රැල්ල නම් පැරඩිය. පැරඩිවල අරමුණ යම් කිසි මතවාදයක් සමච්චලයට ලක් කිරීමයි. යම් කිසි මතවාදීමය පාර්ශවයක් සමච්චලයට ළක් කළ හැකි ආකාරයක් වන්නේ ඒ මතවාදයට පක්ෂව මෝඩ සහ අන්තගාමී අදහස් පළ කිරීමයි. පැරඩි වල කාර්යභාරය එයයි. https://en.wikipedia.org/wiki/Parody

මේ ආකාරයට නිර්මාණය කරන ලද ඇතැම් පැරඩි පිටු ඉහළ ජනප්‍රියතාවක් අත් කරගෙන ඇති අතර ෆේස්බුක් අවකාශය ගැන එතරම් පරිචයක් නැති ඇතැම් පිරිස් ඒවාට හසු වනවා සුලබව දක්නට ලැබෙන කාරණයකි. මෑතකදී එක්තරා ප්‍රකට වාමාංශික බ්ලොග්කරුවකුද පැරඩි වළක වැටී තිබෙනු දක්නට ලැබිණි.

බොරු කොඩි සහ පැරඩි අතර වෙනස ඇතැම් විට හඳුනාගැනීමට අපහසුය. එසේ වුවද මේ දෙකේම අරමුණ එකම වන අතර ඒ දෙකම පිටු දැකිය යුතු ප්‍රවණතාවයන්ය. ඉන් සැබෑ මතවාදී පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටින පිරිස්වලට තම මතවාදය ප්‍රචාරය කර ගැනීමට ඇති ඉඩ අහුරයි.

පහත පළ වන්නේ එවන් ෆේස්බුක් පැරඩි පිටු කීපයකි. මේවාට හසු නොවී පැරඩි වලවල් වල නොවැටීමට ෆේස්බුක් පරිහරණය කරන ජනතාව වග බලා ගත යුත්තේය.

31

2

4

මඟුල් කෑම

“මඟුල් කෑම” යනු කුමාරතුංග මුණිදාස ශූරීන්ගේ සාහිත්‍ය කෘතියකි. මා කියවූ පොත් අතරින් මතකයෑ හැටියට මා කියවූ මුල්ම පොත එයයි. කෙසේ නමුත් මේ කියන්නට යන්නේ ඒ සාහිත්‍ය කෘතිය ගැන නොවේ. හැබෑවටම “මඟුල් කෑම” ගැනයි. අපි කුඩා කල “මඟුල් ගෙවල්” වල ගියෙමු. අද තිබෙන්නේ මඟුල් ගෙවල් නොව “වෙඩින් රිසෙප්ෂන්” ය.

යෝජිත විවාහයක් වුවත්, ප්‍රේම සම්බන්ධයක් වුවත් ඉස්සර විවාහ මඟුලක් යනු දෙදෙනෙක් එක් වීමකටත් වඩා පවුල් දෙකක් එක්වීමක්, එහෙම නැත්නම් පවුල් දෙකක් අතර වන ගනු දෙනුවක් ලෙසයි සැලකිය හැක්කේ. විවාහ මඟුල සහ ඊට බැඳුණු සිරිත් විරිත් වල අර්ථය බොහෝ විට ගත හැක්කේ ඒ අයුරෙනි.

මට මතක ඇති කුඩා කාලයේ මඟුල් ගෙවල් පිළිබඳ අත්දැකීම දැනට වඩා ගොඩක් වෙනස්ය. මඟුල් ගෙවල් ගන්නේ මනාලියගේ මහ ගෙදරය. විවාහ මඟුලට දින ගණනකට කලින් කලින් නිවෙස අලුත් වැඩියා කිරීම, තීන්ත ගෑම, තොරන් බැඳීම, සැරසීම සහ කැවිලි පෙවිලි පිළියෙල කිරීම ආදිය සිදු වේ. මේ කටයුතු සිදුවන්නේ බොහෝ විට මනාලියගේ දෙමාපියන්ගේ මූලිකත්වයෙන් ඥාතී හිතමිතුරන්ගේ මැදිහත් වීමෙනි. මඟුල් ගෙදර කිට්ටුවන විට නිවසේ කලබලකාරිත්වයක් උසුලයි. විවාහ මඟුල දින මනාල පාර්ශ්වය තෑගි බෝග රැගෙන මනාලියගේ නිවෙසට එක්ව යති. මනාලියගේ පාර්ශ්වයේ අය ඒ වන විටත් මනාලියගේ මහගෙදරය රැස් වී සිටිති. ගැහැණු රත්තරන් පාට වාටි ඇල්ලූ වටිනා සාරි හැඳ අත කර රත්තරනින් පුරවගෙන සිටිති. පිරිමින්ගේ ඇඳුම් පැළඳුම් චාම්ය. සමාජ තරාතිරම අනුව වෙනස් වේ. තලතුනා ගැමියෝ ආරිය සිංහල ඇඳුම හඳින අතර සමහරු උඩින් කෝට් බෑයක් හඳිති.   සාමාන්‍ය උගත්තු අත්දිග කමිසය සහ කලිසම හැඳ ටයි පටියක් පළඳිති. සෙස්සෝ අත්දිග කමිසය සහ කලිසම හඳිති.

විවාහ මංගල්‍යයේ සියළු කටයුතු සිදුවන්නේ නැකැත් බලා සුභ වෙලාවකටය. අදාළ පෝරුවේ සිරිත් බොහොමයකි. ඒවාට වැඩි වැදගත්කමක් ලැබේ. යම් අඩුපාඩුවක් වුවහොත් මනාල පාර්ශ්වයේ අය අතර ඒ පිළිබඳ කසු කුසු ඇති වේ. අල්ලාප සල්ලාප අතර පුරාජේරු කතා එමටය. වැඩිහිටි පිරිමින්ගේ මත්පැන් පානය සිදු කෙරෙන්නේ නිවෙසේ ඉදිරි කාමරයක් තුළය. ඊට ළමුන්ට යාම තහනම් ය. පැයක් හමාරක් ගිය පසු ඒ කාමරයෙන් ඇසෙන හඬ උස් වේ. කෑමට ආරාධනය කෙරෙන්නේ වතුර ඇල්ලීමෙනි. එහි සාම්ප්‍රදායික අරුත බුලත් කන අයට කට හෝදා ගැනීමයි. මඟුල් කෑම මේසය බත් සහ ව්‍යාංජන වර්ග රාශියකින් සමන්විත වේ. අතුරුපසට ඇත්තේ කැවුම් කෙසෙල් කිරි පැණි ආදියයි. කෑම මේසය විවෘත කෙරන්නේ මනාල පාර්ශවයෙන් වැඩිහිටියෙක් පිළිගැනීමේ කතාවක් කිරීමෙන් අනතුරුවය.

මඟුල් ගෙදර කටයුතු හමාර වන්නේ මනාල යුවළ පිටත් වීමෙනි. ඉස්සර කාලයේ නම් මධුසමය ගත කෙරෙන්නේ මනාලයාගේ මහ ගෙදරය. නමුත් අප කුඩා කාලයේ මනාල යුවළ මධුසමය සඳහා බොහෝ විට තානායමකට පිටත්ව යති. ඊට කළින් මංගල ඡායාරූපය ගැනීම සඳහා “ඡායාරූප ස්ටුඩියෝ” එකකට යෑම සිදුවේ. මඟුල් දිනවල ඡායාරූප ස්ටුඩියෝ කාර්යබහුලය; ඉදිරිපස නතර කෙරී ඇති “මඟුල් කාර්” බොහොමයකි. දෙවනි ගමන සිදුවන්නේ මනාලයාගේ මහගෙදරයටය. එහිදී මනාලියගේ පාර්ශ්වය තෑගි බෝග කඳ බැඳගෙන මනාලයාගේ නිවසට යති. ඔවුන් රතිඤ්ඤා පත්තු කර පිළිගැනීම සිදුවේ. මධුසමය ගත කළ යුවළද එහි පැමිණෙති. මඟුල් දින සුදුපැහැයෙන් සැරසී සිටි මනාලිය දෙවනි ගමන පැමිණෙන්නේ රතු පැහැයෙන් සැරසී ගෙනය. මඟුල් ගෙදර මෙන් චාරිත්‍ර වාරිත්‍ර නැත. කෑම මේසයක් පිළියෙල කෙරේ. සියල්ල අහවර වන්නේ කතා පැවැත්වීමෙනි. දෙපාර්ශය්වයෙන් ඇතැම් විට කතා කීපයක් පැවැත්වෙන අතර සියළු දෙනා ඊට ඇහුම් කන් දෙති. මෙහිදී සම්ප්‍රදායික අර්ථයෙන් සිදු කෙරෙන්නේ මනාලියව මනාල පාර්ශ්වයට භාර දීමකි. ඉස්සර සාම්ප්‍රදායිකව විවාහක යුවළ මඟුල් ගෙදරින් පසු පදිංචි වන්නේ මනාලයාගේ මහගෙදරය. විවාහක යුවළ ඉන්පසු වෙනම ජීවත් වුවත් විවාහ මඟුල අර්ථ ගැන්වෙන්නේ එලෙසය.

අපේ යුගය වන විට මඟුල් කෑම විශාල වෙනසකට පත් වී තිබේ.  දැන්  “වෙඩින්” ඉතාම වැඩි පිරිස සිදුවන්නේ හෝටල්වලය. “හෝම් කමින්” එකද සිදුවන්නේද මනාලයාගේ නිවසේ නොව හෝටලයකය. මෙලෙස හෝටල්වල වෙඩින් ගැනීම තුළින් අපේ සාම්ප්‍රදායික විවාහ මඟුලක අර්ථය මුළුමනින්ම නැති වී ගොස් ඇත. අපට කලින් යුගයේ විවාහ මඟුලක් සංවිධානය කෙරුණේ විවාහක යුවළට වඩා දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගේ මූලිකත්වයෙනි. නමුත් අපේ යුගය වන විට වෙඩින් සංවිධානය කෙරෙන්නේ විවාහක යුවළගේ මූලිකත්වයෙනි. අපට කලින් යුගයේ විවාහ මඟුල් බොහෝ විට පවුල් දෙකක් අතර සිදුවන උත්සව වන විට අපේ යුගයේ වෙඩින් බොහෝ විට තරුණයන්ගේ උත්සව බවට පත් වී තිබේ. විවාහක යුවළගේ දෙමාපියන්ට නවීන පන්නයේ වෙඩින් කටයුතු සංවිධානය කෙරෙන අන්දම පිළිබඳ අවබෝධය මඳ වේ. ඒ නිසා ඔවුනගේ සහභාගිත්වය ඊට අඩු වේ. විවාහ යුවළගේ මිතුරු මිතුරියන්ගේ කාර්යබහුල ජීවන රටාවන් නිසා ඔවුනගේ උපකාරයද අඩු වේ නම් විවාහ යුවළට වෙඩින් එක වෙනුවෙන් විශාල වෙහෙසක්, පරිශ්‍රමයක් දැරීමට සිදු වේ.

අපේ මඟුල් කෑම දැන් බටහිර මාදිලිය දක්වාම ගමන් කර තිබේ. වෙනසකට ඇත්තේ පෝරුව පමණි. බටහිර වෙඩින් ප්ලෑනර්ලා සිටිති. දැන් ලංකාවට එයත් පැමිණ ඇත්දැයි මම නොදනිමි. දැනට වෙඩින් ප්ලෑනර්ගේ කාර්යයෙන් වැඩි ප්‍රමාණයක් කරන්නේ ඡායාරූප ශිල්පියා ය. බොහෝ විට වෙඩින් එකේ කටයුතු කෙරෙන්නේ ඡායාරූප ශිල්පියාගේ අභිමතය පරිදිය. වෙඩින් එකට අදාළ දේ අදාළ පරිදි සිදු කෙරෙන අතර ඡායාරූප ශිල්පියාගේ කාර්යභාර්ය විය යුත්තේ එහි ඡායාරූප ගැනීමයි. නමුත් වර්තමානයේ බොහෝ විට සිදුවන්නේ ඡායාරූප ශිල්පියාගේ පිටපතකට අනුව විවාහ යුවළ සහ අනිත් පිරිස් රඟපෑමක නිරත වීමයි. ඡායාරූප ගැනීමත් නිර්මාණශීලිත්වයේ සීමා සියල්ල අභිබවා ගොස් විකාර රූපී තත්වයකට පත්ව ඇත. මනාලයා මනාලියට හාද්දක් දෙන අතර එය නොපෙනෙන පරිදී දෙවන මනාලිය මල් කුමරියන්ගේ දෑස් වසයි. මෙවන් දෑ බොහෝය. වෙඩින් එකේ ඊළඟට වැඩි අවධාරණය යොමු කෙරෙන්නේ ඇඳුම් පැළඳුම් වලට, රූප ලාවන්‍ය කටයුතුවලට සහ අභ්‍යන්තර සැරසිලි වලටය. මේවාටද විශාල මුදලක් මෙන්ම පරිශ්‍රමයක් වැය වේ. මේ සියල්ල දීර්ඝ කාලයක සිට සැලසුම් කිරීම කෙරෙයි.

විවාහ මඟුල් හෝටල් තුළ සිද්ධ වෙතත් පෝරුවේ චාරිත්‍ර ආදිය බොහෝ විට එලෙසම සිදු කෙරේ. නමුත් මනාලයාගේ පාර්ශ්වය මනාලියගේ නිවෙසට යාම යන අරුත එහි නැත. දෙපාර්ශ්වයේම පිරීස් එහි එකම අර්ථයෙන් අමුත්තෝ වෙති. ඒ හැමෝම වෙඩින් එක තුළ හුදු “ප්ලේට් එකකි.” ඔවුන් බොහෝ විට මේස වටා වෙන් වෙන් වශයෙන් අසුන් ගන්නා අතර බොහෝ දෙනා, කාලෙකින් හමු වී ඇති නිසා, ආගිය කතාවෙන් කල් යවති. දෙපාර්ශවය අතර අන්‍යොන්‍ය සම්බන්ධය වන්නේ අඩුවෙනි. වෙඩින් එක තුළ සිදු කෙරෙන කටයුතු පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමුවන්නේද අල්ප වශයෙනි. විවාහ යුවළ වැඩි වශයෙන් කාලය ගෙවන්නේ ඡායාරූප ශිල්පියා සමඟය. සංගීත කණ්ඩායමක ඝෝෂාවෙන් ඔවුන් තව දුරටත් එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි.

මඟුල් කෑමේ සම්ප්‍රදායික අර්ථය නැති වී ඇතත් වර්තමානයේ වෙඩි එකක් වෙනුවෙ විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ.ධන බලය ඇත්තෝ විශාල ලෙස වෙඩින් වෙනුවෙන් මුදල් වැය කරන අතර ඒවා මාධ්‍යය හරහා උත්කර්ෂයට නැඟේ. ඒවා දකින සාමාන්‍ය ජනයාද හැකිතරම් ඒවා අනුකරණය කිරීමට උත්සාහ කරති.

 

බට්ටිව කරේ තබාගෙන යාම

මේ දිනවල පශ්චාත් මාක්ස්වාදීන් පිරිසක් රත්නපුරේදී පොලිස් නිලධාරියෙක් අතින් පහර කෑමකට ලක්වූ කාන්තාව (බට්ටි ) කරේ තබාගෙන යති. නූතනවාදීන් (77 දරුවන්) ද ඊට හුරේ තබති. ඇය මාධ්‍ය හමුවක්ද පවත්වන ලද අතර නීති ක්‍රියාමාර්ගවලටද එක්ව ඇති බව දක්නට ලැබේ.

ඇත්තටම බට්ටිව මොවුන් කර තබාගෙන යන්නේ ඇයි?

ගණිකා වෘත්තිය ලොව පැරණිම වෘත්තිය බව සාඩම්බරයෙන් නිතර කියැවේ. ඒ කෙසේ වෙතත් ගණිකා වෘත්තිය මනුෂ්‍ය ශිෂ්ටාචාරවලින් මුළුමනින්ම අතුගා දැමිය හැක්කක් බව සිතිය නොහැක. බුදුන් වහන්සේ විසූ ගම් දනව් පිටින් මග ඵල ලැබූ සමාජයේද ගණිකාවන් ජීවත් ව ඇත. නමුත්, එසේ වූ පමණින් ගණිකා වෘත්තිය සමාජයක හොඳ ලක්ෂණයක් යැයි කිව නොහැක. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, සොරකම්, මැරකම් මේවා ඉතිහාසයේ සියළු මානව සමාජ වල විවිධ ප්‍රමාණයන්ගෙන් සහ ගුණයන්ගෙන් තිබී ඇත. ඉදිරියටත් පවතිනු ඇත. එසේ වූ පමණින් ඒවා සමාජයක හොඳ ලක්ෂණ ලෙස සැලකිය නොහැක.

මේ ගණිකාවන් බහුතරය අදාළ වෘත්තියේ නියැලෙන්නේ කැමැත්තෙන් යැයි මම නොසිතමි. (ඉහළ සමාජ ස්ථරවල ගණිකාවන්ට උපකල්පනය නිවැරදි නොවන බවද කිව යුතුය.) ගණිකා වෘත්තියේ නියැලීම නිසා අදාළ කාන්තාවගේ සමාජ පවුල් සබඳතා මුළුමනින්ම බිඳ වැටී ජීවිත අර්බූදයකට යයි. ඔවුන්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යයද පිරිහේ.

වීදි ගණිකාවන් බොහෝ විට ඒ වෘත්තිය සඳහා එළැඹෙන්නේ සමාජයේ වරදිනි. ආර්ථික අඟහිඟකම මෙන්ම, කැඩුණු දෙමාපිය-පවුල් සබඳතා, සමාජ වටපිටාව, ආදී නොයෙක් සාධක කාන්තාවන් වීදි ගණිකාවන් වීමට බලපාන හේතු වේ. මට මතක් වෙන්නේ “අයෝමා” නමින් සැබෑ ගණිකාවකගේ ජීවිත කතාවක් දෙනගම සිරිවර්ධනයන් විසින් දිවයිනට රචනා කළ අන්දමයි. පරාක්‍රම නිරිඇල්ලගේ එය චිත්‍රපටයකට පෙරළීය. අයෝමාගේ කතාව කඳුළු කතාවකි. බට්ටිගේ කතාවද ඊට සමාන යැයි සිතමි. එහි උත්කර්ෂයට නැංවිය හැකි දෙයක් නොමැත.

ගණිකාවෝ සාමාන්‍යයෙන් සමාජයේ පිළිගැනීමක් ලැබෙන ස්ථරයකට අයත් නොවෙති. මේ නිසාම ගණිකාවන් උත්කර්ෂයට නැගීම සමහරු මහා රැඩිකල් දෙයක් ලෙස සලකන බව ද පෙනේ. පේරාදෙණි විදග්ධ සාහිත්‍ය ගුරුකුලයේද ඇතැම්හු තම සාහිත්‍ය ප්‍රබන්ධවල වීරයා ගණිකාවන් සොයා යැවූහ. ඉන් ඔවුන්ට රැඩිකල් වීරත්වයක් ලැබිණ.

අප කළ යුත්තේ වීදි ගණිකාවන් ඒ වෘත්තියෙන් මුදවා ගැනීමට හැකි තරම් කටයුතු කිරීමයි. ඊට අවශ්‍ය ආර්ථික සමාජ පසුබිම සැලසීමයි. ඔවුන්ව උත්කර්ෂයට නැගීම නොවේ.

අර පශ්චාත් මාක්ස්වාදීන් පිරිස බට්ටිව කරේ තබාගෙන යන්නේ ඇයි? ඔවුනට අවශ්‍ය බට්ටිව වීදි ගණිකා වෘත්තියෙන් මුදවා ගෙන ඇගේ ජීවිතය ගොඩ ගැනීම නොව ඇයට රිසි සේ ගණිකා වෘත්තියේ නියැලීමට ඉඩ ලැබෙන පරිදි සමාජ වෙනසක් ඇති කිරීමයි. ඔවුන් බට්ටිව කරේ තබාගෙන යාමේ එකම අරමුණ මේ රටේ සදාචාර හර පද්ධතියට පහර දීමයි.  මූලික කතාව ඒකය.  ඒ නිසා මොවුන් කරන්න යන දේ හරය මුලින්ම හඳුනාගෙන සිටිමු.

වර්බටන් බුද්ධාගම

මෙල්බර්න් නගරයේ සිංහල බෞද්ධ පන්සල් 8ක් ඇත. ලංකාවෙන් පිට මේ තරම් සිංහල බෞද්ධ පන්සල් ඇති නගරයක් තවත් නැතැයි සිතමි. මේ පන්සල් වලට එන සියළු දෙනාම පාහේ ලංකාවෙන් සංක්‍රමණය වූ සිංහල පිරිස් ය. වෙනත් ජනවර්ගවලට අයත් අය එන්නේ කලාතුරකිනි.

මේ පන්සල් සියල්ලක්ම පාහේ පවත්වාගෙන යන්නේ සිංහල බෞද්ධ අපේ රටේ සම්ප්‍රදායටය. නමුත් විදේශගත වූ අපේ සමහර සිංහලයන්ට අපේ සම්ප්‍රදාය අපුලය. පන්සල් යෑම ඔවුන්ට මදිකමකි. අපේ පන්සල් තුළ ඔවුන්ගේ බුද්ධාගම නැත. ඔවුන්ට අනුව අපේ හාමුදුරුවරු කරන්නේ පන්සල් හැදීම පමණි. බුදුදහම යනු පන්සල් හැදීම නොවේ. “අපි නම් ලංකාවේ පන්සල් යන්නේ නෑ” යනුවෙන් සමහරෙක් මහත් ආඩම්බරයෙන් කියනුද මා අසා ඇත.

මේ පොෂ් බෞද්ධයෝ අපේ පන්සල් වලට නොයා යන වෙනත් පන්සලක් ඇත. එය වර්බටන් පන්සලයි. තායි සම්ප්‍රදායට අයත් එය තපස් ආරාමයකි. එහි හාමුදුරුවරු වැඩවසන්නේ කුඩා කඳු ගැටයක ගස් අතරේ පිහිටුවා ඇති භාවනා කුටිවල භාවනානුයෝගීව ය. දන් වැළඳීමට පමණක් උන්වහන්සේලා පහළට වැඩම කරති. උන්වහන්සේලාගේ ගමන බිමන ඉතා සංවරය. සමහරක් හාමුදුරුවරු සුදු ජාතිකයන් ය. අපේ සිංහල ගොඩේ හාමුදුරුවරුන්ට වඩා උන් වහන්සේලාගේ පොෂ් ගතියක්ද ඇත. අපේ පන්සල්වල නැති බුද්ධාගමක් ඔවුනට මේ වර්බටන් පන්සලේ ඇති බව පෙනේ.

වර්බටන් පන්සලට දානය රැගෙන ගිය හැකි අතර හාමුදුරුවරු දන් වැළඳීමෙන් අනතුරුව ඉතිරි ආහාර ගැනීමට යන සැමට අවස්ථාව ලැබේ. පන්සල පිහිටා ඇත්තේ අපේ පන්සල් මෙන් නොව නගරයෙන් තරමක් ඈත ය. එහි යෑම සති අන්ත නිවාඩු දවසක ට්‍රිප් එකක් යෑම හා සමාන ය.ලන්ච් එක පන්සලෙන්ම ගත හැක. හාමුදුරුවරු දන් වැළඳීමෙන් පසු උන්වහන්සේලාගෙන් ඉංගිරිසියෙන් බුදුදහම ගැන දාර්ශනික ප්‍රශ්න ඇසීමේ අවස්ථාවද එහි යන්නන්හට එළැඹේ. බුදුදහම ගැන ඉංගිරිසියෙන් ලියැවුනු පොත්පත් හා සීඩී පට නොමිලේ ලබා ගත හැක.

වර්බටන් යන ඕස්ට්‍රේලියානු හෝ බටහිර ජාතිකයන් අල්පය. යන පිරිසත් යන්නේ මානසික සහනය පතා භාවනා කිරිමේ අරමුණෙන් හෝ “චේන්ජ්” එකකට ය. ඔවුන් වැඩි පිරිස බෞද්ධයන් නොවෙති. වර්බටන් යන වැඩි පිරිස චීන සම්භවයක් ඇති විවිධ ජන පිරිස් සහ සිංහලයන් ය.

කෙසේ වුවත් වර්බටන් පන්සල ගැන ලියන්නට මා සිත පෙළඹුනේ මෑතක එහි පළ කර තිබෙනවා යයි කියන දැන් වීමක් නිසා ය. එහි ඇත්තේ “ලංකාවෙන් එන පිරිස් එතන හැසිරෙන්නට දන්නේ නැත. පොඩි ළමයි දඟලති. දානය පොඩ්ඩක් ගෙන විත් ගොඩක් කාලා යනවා. කෑම කන්නේ අතිනි” යන අදහසයි. මේ වෙන මොකවත් නොව එහි යන චීන සම්භවයක් ඇති පිරිසගේ සහ අපේ සිංහලයන් අතර පවතින සංස්කෘතික ඝට්ටනයයි. ලෝකයේ ඕනම තැනක වෙනස් සංස්කෘතීන් එකට ගැටෙති.

අපේ සමහරු වර්බටන් යන්නේ අපේ පන්සල්වල ඇත්තේ සංස්කෘතික බුද්ධාගමක් නිසා ය. බුදුදහම සංස්කෘතියෙන් වෙන් කර වියුක්ත බුදුදහමක් සොයා වර්බටන් සරණ ගිය අපේ පොෂ් බෞද්ධයන්ට වර්බටන් වලින්ම “සංස්කෘතික කණේ පහරක්” ලැබී තිබීම ගැන මට නම් අප්‍රමාණ සංතෝස ය.

                                 වර්බටන් බෝධිවන ආශ්‍රමය

මැලේරියාව, බටහිර විද්‍යාව සහ අපේ මිනිස්සු

මෑතක සිට පෙරදිග විද්‍යාවන් හා සන්සන්දනය කර බටහිර විද්‍යාවේ මහිමය පෙන්වීමට දෙන ප්‍රකට උදාහරණයක් නම් ලංකාව, විශේෂයෙන් පසුගිය සියවස මුලදී, මැලේරියා වසංගතයට මුහුණ දීමට බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ භාවිතා කිරීම යි.

නමුත් මැලේරියා වසංගතයට බටහිර විද්‍යාව මුහුණ දුන් ආකාරය ගැන ඒ කවුරුවත් දන්නා බවක් පේන්නට නැත. බටහිරයන් 14 වන සියවසින් පසු ඝර්ම කලාපීය රටවල් කොල්ල කෑමේ යෙදීමේදී මැලේරියාව ඔවුන් මුහුණ දුන් ප්‍රධාන තර්ජනයක් විය. ඊට ඔවුන්ට නිසි ප්‍රතිකාරයක් නොවීය. මැලේරියාවට ගොදුරු වූ බොහෝ දෙනා මිය ගියහ. සුප්‍රකට දේශාටකයන් වූ වස්කෝද ගාමා, ඉංගිරිසි ජාතික වෛද්‍ය ඩේවිඩ් ලිවින්ස්ටන්, මෙන්ම ඇමෙරිගෝ වෙස්පුචී මිය ගියේද මැලේරියාව නිසා ය.

මැලේරියාවට බටහිර ලෝකය සොයාගත් මුල්ම සාර්ථක ඖෂධය කුයිනීන් ය. කුයිනීන් යනු කවරක්ද? පේරු රටේ ස්වදේශිකයන් සින්කෝනා නම් ගසේ කොටස් භාවිතයෙන් සාර්ථක ඖෂධයක් මැලේරියාවට එරෙහිව යොදාගන්නා බව එරට මිෂනාරි ව්‍යාපාරවල යෙදී සිටි ජේසුයිට් නිකායේ පූජයකයෝ අවබෝධ කරගත්හ. ඔවුහු ඒ ඖෂධය යුරෝපයට ගෙන ආහ. බටහිර වෛද්‍ය විද්‍යාව කුයිනීන් තනා ගත්තේ ඒ අනුසාරයෙනි.

 

1

 

මැලේරියා රෝග කාරකයා කුයිනීන්වලට අනුව හැඩගැසීමත් සමඟ බටහිර වෛද්‍ය විද්‍යාඥයෝ කුයිනීන් වල විවිධ ප්‍රභේද ඊට එරෙහිව නිෂ්පාදනය කළහ. කෙසේ නමුත් පසුගිය සියවස මැදභාගය වන විට මැලේරියා රෝග කාරකයා ඒ සියල්ලට අනුව සාර්ථකව පරිනාමය වූ අතර කුයිනීන් වල නොයෙක් ප්‍රභේද ඊට විසඳුම් ලෙස අසාර්ථක විය. ලෝක සෞඛ්‍ය සංවිධානය දශක කීපයක් මැලේරියාවට මුහුණ දීමට විශාල පර්යේෂණ සඳහා විශාල පරිශ්‍රායක් යෙදූවත් ඔවුන්ගේ සියලු ප්‍රයත්නයන් සැලකිය යුතු ප්‍රතිඵල ගෙනදීමට අපොහොසත් විය. ඖෂධ වෙනුවට මැලේරියා රෝගකාරයකා සහමුලින්ම වඳ කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය ව්‍යාපෘතියක් ගෙනගියද සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිව 1969දී එයද අතහැර දමන ලදී.

ඉන්පසු මැලේරියාවට සාර්ථක ඖෂධයක් සොයාගනු ලැබුවේ චීනයෙනි. මැලේරියාවට සාර්ථක ප්‍රතිකාරයක් සොයාගැනීමට චීන රජයේ මැදිහත් වීමෙන් පර්යේෂණ මාලාවක් සිදු කරන ලද අතර ඔවුන් සිදු කළේ වෙන කිසිවක් නොව පෞරාණික චීන බෙහෙත් වට්ටෝරු පරීක්ෂා කිරීමයි. 20,000 කට වැඩි බෙහෙත් වට්ටෝරු අධ්‍යනය කිරීමෙන් පසු Tu Youyou නම් ඖෂධවේදිනිය ආර්ටිමීසිනින් (Artemisinin) නම් ඖෂධයක් මැලේරියාවට සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස යොදාගත හැකි බව පෙන්වා දෙන ලදී. චීනයේ පැවති දේශපාලන තත්වයන් නිසා මේ ඖෂධය බටහිරට පැමිණීමට කලක් ගත් වු අතර අද මැලේරියාවට සාර්ථකම ඖෂධය ලෙස සැලකෙන්නේ එය සහ එහි විවිධ ප්‍රභේදයි.

2

 

කෙසේ නමුත් ඉහත බටහිර වෛද්‍ය විද්‍යාව කර ඇත්තේ වෙනත් දැනුම් පද්ධතිවල දැනුම අවශෝෂණය කිරීමකි. එය පේරු රටේ මිනිස්සු ගේ දැනුම හෝ චීනයේ පැරණි බෙහෙත් වට්ටෝරු වීම ඔවුන්ට ගැටළුවක් නොවේ. නමුත්, අපේ රටේ ඉන්නා අනුකාරකයෝ අවශෝෂණය යනු කුමක්ද යන්න නොදනිති. ඔවුන් දන්නා එකම දෙය අනුකරණය පමණි. මේ මුග්ධයෝ බටහිර විද්‍යාව නොමැති නම් අප සියලු දෙනා මැලේරියාවෙන් මිය යනු ඇතැයි සිතා, බටහිර විද්‍යාව ඉදිරියේ වැඳ නමස්කාර කරමින්, අපේ දැනුමට ගර්හා කරමින් පුස් පඬියන් මෙන් වැජඹෙති.

ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ඉඩ දිය යුතුද?

සමහරුන්ගේ මතය ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ඉඩ දිය යුතු බව ය. ජාතිකත්ව විරෝධීන් එසේ සිතීම ගැන මට පුදුමයක් නැත. නමුත් ඇතැම් ජාතිකවාදීන් ද ඒ මතයේ ඉන්නා බව පෙනෙන්නට තිබීම පුදුමයකට කරුණකි.

මේ වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය නම් තමන්ගේ බසින් ගැයෙන ජාතික ගීය ගැයෙන විට දෙමළ මිනිසුන්ට තම ජාතිය ගැන අභිමානයක් ඇති වෙන බව ය.  දෙමළ මිනිසෙකුට දෙමළ බසින් ගැයෙන ජාතික ගීයක් ඇසෙන විට කුමන ආකාරයේ හැඟීමක් ඇතිවේද යන්න ගැන නිගමන දීමට මට නොහැක. නමුත්  අපේ සිංහල බසින් ගැයෙන ජාතික ගීය ඇසෙන විටවත් අවංකවම මට ජාතිය ගැන කිසි අභිමානයක් දැනෙන්නේ නැත. “සෙංකඩගලපුර දළඳා බුදු රැස්”, “මගේ රටට දළදා හිමි සරණයි” වැනි ගීයක් ඇසෙන විට මට ඊට වඩා ලොකු හැඟීමක් අපේ ජාතිය ගැන ඇති වේ.

ජාතික ගීය අපිට සුද්දන් විසින් එකතු කරන ලද සංකල්පයකි. අපේ මිනිස්සු වසර දාස් ගණනක් ජාතිය රැක්කේ ජාතික ගීයක් තිබිලා නොවේ. කෙසේ වුවත් ලෝක සම්මතය අනුව අපට ජාතික ගීයක් අද අවශ්‍ය වී තිබේ. ජාතික ගීයක් අවශ්‍ය රාජ්‍ය උත්සව වැනි විශේෂ අවස්ථාවල ගැයීමටය. එහි ඇත්තේ චාරිත්‍රානුකූල සහ සංකේතාත්මක වටිනාකමක් පමණි. 

දෙමළ බසින් ජාතික ගීය ගැයීමට ඉල්ලීම මතු පිටින් බැලූ කල අහිංසක ඉල්ලීමකි. බැලූ බැල්මට එහි වරදක් පෙනෙන්නට නැත. නමුත් මේ ඉල්ලීම දෙමළ බෙදුම්වාදය පාර්ශ්වයෙන් කෙරෙන්නකි. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ඉල්ලන්නේ විශේෂයෙන් උතුරේ රාජ්‍ය සහ වෙනත් උත්සව අවස්ථාවලදී ගැයීම උදෙසාය. ඊට ඉඩ දුන්නේ නම් සිදු විය හැක්කේ කුමක්ද? උතුරේ (සහ නැගෙනහිර ) පැවැත්වෙන උත්සව වලදී ජාතික ගීය දෙමළ බසින් ගැයෙනු ඇත. නමුත් රටේ අනෙක් පළාත්වල ජාතික ගීය දෙමළෙන් ගැයෙන්නේ නැත. එවිට මේ ඊනියා අභිමානය ඇතිවන්නේ උතුරේ දෙමළ ජනයාට පමණ ද? රටේ අනෙක් පළාත්වල සිටින දෙමළ ජනයා ගැන කිව හැක්කේ කුමක්ද? මෙහිදී සැලකිය යුතු කරුණ නම් රටේ දෙමළ ජනයාගේ බහුතරය ඉන්නේ උතුරේ නොව කොළඹ සහ වෙනත් පළාත් වල බවය. 

කෝටි ගණනක් දෙමළ වැසියන් ඉන්නා තමිල්නාඩුවේ ජාතික ගීය ගැයෙන්නේ වංග බසිනි. ලක්ෂ කීපයක් දෙමළ ජනයා ඉන්නා උතුරේ දෙමළ බසින් ජාතික ගීය ගැයීමට ඉඩ දීමෙන් සිදුවන්නේ කුමක්ද? දෙමළ බසින් ජාතික ගැයීමෙන් දෙමළ ජනයාගේ ජාතික විඥාණය ශක්තිමත් නොවේ. සිදුවන්නේ ඔවුන්ගේ වාර්ගික විඥාණය තවත් ශක්තිමත් වීම පමණි. (දැනටමත් දෙමළ දේශපාලඥයෝ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරති.) කලින් කී පරිදි ජාතිකත්ව විරෝධීන්ට ඉන් ගැටළුවක් නැත. ඒ නිසා ඔවුන් මේ ගැන කෑ ගැසිම පිළිබඳ විශ්මයක් නැත. නමුත් ඇතැම් ජාතිකවාදීන් ඊට අත එසවීම මෝඩ කමක් බව කිව යුතුය.