එක්ස් ෆයිල්ස් සහ පිටසක්වල ජීවී මනස්ගාත

එක්ස් ෆයිල්ස් (X-Files) නම් ජනප්‍රිය රූපවාහිනි නාට්‍ය මාලාවට අයත් නවතම නාට්‍ය මාලාවක් විකාශය වන බව ප්‍රචාරය වනු මට දැක ගත හැකි විය. මීට සමගාමීව පැරණි එක්ස් ෆයිල්ස් කතා මාලාවන් රූපවාහිනියේ විකාශය වන අතර ඉන් කතා එකක් දෙකක් නැරඹීමට මට ඉඩ ප්‍රස්ථාව ලැබිණි. මේ සමඟම මගේ මතකය ඇදී ගියේ අතීතය වෙතයි. එක්ස් ෆයිල්ස් මුලින්ම ලංකාවේ විකාශය වුනේ මා පාසල් යන අවධියේය. මුල්ම එක්ස් ෆයිල්ස් කතාව බැලීමෙන්ම අමන්දානන්දයට පත් වූ මම ඉන්පසු එහි සියළු කතා නොවරදවා නැරඹුවෙමි. කෙසේ නමුත් ඊයේ පෙරේදා නැවත පැරණි කතා එකක් දෙකක් බැලීමේදී පාසල් වියේදී මා අත්විඳි සංක්ෂෝභය මට නැවත ඇති වූයේ නැත. මේ බව මා සමඟ ඒ නැරඹූ මගේ බිරිඳ ද පැවසුවාය.

පාසල් වියේ මා එක්ස් ෆයිල්ස් වෙත ආකර්ෂණය වූයේ එහි කතාවල වඩවන කුතුහලය සහ රූප රචනාවල ඇති වෙනස නිසාය.  කවුරුත් දන්නා පරිදි එක්ස් ෆයිල්ස් කතා මාලාව ගෙතෙන්නේ ඇමෙරිකාවේ FBI නියෝජිතයන් දෙදෙනෙකු වන ෆොක්ස් මෝල්ඩර් (Fox Mulder) සහ ඩේනා ස්කලි (Dana Scully) අතරය. මොවුන් දෙදෙනාගේ සම්බන්ධයද සුවිශේෂය. ඔවුන් දෙදෙනා අතර දැඩි බැඳීමක් තිබුනද එය කිසි දිනක ප්‍රේම සම්බන්ධතාවක් දක්වා වර්ධනය නොවේ. ඔවුන් එකිනෙකා අමතන්නේද වාස ගමිනි.  ස්කලී සැම විටම බටහිර විද්‍යාවට (Science) අනුව විස්තර කළ හැකි දෑ පිළිබඳව විශ්වාසය තබන අතර, මෝල්ඩර් සැමවිටම පාරයථාවිධ (Paranormal) දේ පිළිබඳ විශ්වාසය තබන කෙනෙකි.

2

මොවුන් දෙදෙනාව ගවේෂණයන් සඳහා යොමු කෙරෙන්නේ අසාමාන්‍ය සිද්ධීන් ගවේෂණය සඳහාය. එය මහා වනාන්තරයකදී හමු වූ අද්භූත සත්වයෙක්, නිවෙස්වල මළ පද්ධතිවල ජීවත් වන ජාන විකෘතිතාවට ළක් වූ මිනිසෙක්, එසේත් නැතිනම් රාත්‍රි කාලයේ ලේ උරා බොන වැම්පයර් මිනිස් සමූහයක් ගැන විය හැකියි. පෙර කී පරිදි මෝල්ඩර් සහ ස්කලී මේ ගවේෂණයන් සඳහා යොමුවන ප්‍රවේශයන් එකිනෙකට වෙනස් වන අතර මෝල්ඩර් බොහෝ විට නිවැරදි මඟ ගනී. ඒ සඳහා ඔහුට සහජ ආශයක් ඇති බව නරඹන්නාට ඒත්තු යයි. කතා සියයක් පමණ ගෙවී ගියත්, නොයෙකුත් පාරයථාවිධ සිද්ධීන් අත් දුටුවත් ස්කලී සැම විටම කියන්නේ “Mulder, there is no scientific explanation for this…” කියාය. සුපුරුදු පරිදි මෝල්ඩර් ඊට එරෙහි මඟ යයි.

පාරයථාවිධ කතාවන් තේමාවන් කර ගන්නා නිසා එක්ස්ෆයිල්ස් තුළින් ඉන් බටහිර විද්‍යාවට අභියෝග වෙතැයි කෙනෙකුට හැඟී යා හැක. නමුත් සෑම කතාවක් මුලටම එහි යොදන “Truth is Out There” නම් පාඨයත් සමඟම අපෙන් බාහිරව පවතින වාස්තවික යථාර්තයත් ඒ හා සම්බන්ධ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයත් එක්ස් ෆයිල්ස් තුළින්ද මතු කෙරෙන බව අප වටහා ගත යුතුය.

කතා වැඩි ප්‍රමාණයක් රූ ගත කෙරෙන්නේ රාත්‍රි කාලයේ අඳුරේය.  කොතන ගියත්, මහ රෑ දොළහටත් මෝල්ඩර් සිටින්නේ ටයි, කෝට් පැළඳගෙනය. ස්කලීද කාර්යාලයකට සුදුසු ඇඳුමක් හැඳගෙනය. මහ රෑ ගණ අඳුරේ පාලු ගබඩා කාමරයට තනිවම ඇතුළු වන මෝල්ඩර්  එක් අතකින් පිස්තෝලයක් ගෙන, අනෙක් අතින් ටෝච් එක දල්වා ඇතුළත ඇති දෑ පිරික්සයි. ටෝච් එළිය අඳුරේ ඔබ මොබ චලනය වන අතර එක්වනම යමෙක් දඟලනු අපැහැදිලිව පෙනේ.  සිය හැඳුනුම්පත අතට ගන්නා මෝල්ඩර් “Federal agents…” යනුවෙන් කෑ ගසයි.  අඳුරේ දඟලන කෙනා පලා යනු පෙනේ. මෝල්ඩර් තමන්ගේ ජීවිතය පිළිබඳ කිසිදු ආසාවක් නැතිව ඒ කෙනා පසුපස ගණ අඳුරේ පන්නයි. මෙවන් ජවනිකා එක්ස් ෆයිල්ස් කතා මාලාවේ සුලබය.මෝල්ඩර් ගන්නා අවදානම්වල හැටියට, සැබෑ ලෝකයේ කෙනෙක් අවදානම් ගනී නම් ඔහු මේ වන විට පනස් වතාවක් වත් මිය ගොසිනි. මට මතක හැටියට මෝල්ඩර් එක් කතාවක මිය යයි. නමුත් රතු ඉන්දියානු මායාකරුවෝ පිරිසක් ඔහුට නැවත පණ දෙති.

ඒකාංගික කතා ලෙස විකාශය වුවත්, එක්ස් ෆයිල්ස් කතා මාලාවේ කතා සියල්ලම එකට බැඳෙන හුයක් තිබේ. ඒ කුමක්ද යත්: එක්සත් ජනපද රජයට සම්බන්ධ ඉහළ තනතුරු දරන පිරිසක් (Syndicate) සිටිති. ඔවුහු පිටසක්වලින් පැමිණෙන දියුණු ජීවින් (Aliens) පිරිසක් සමඟ සබඳතා පවත්වති. ඒ සබඳතා හරහා ඔවුහු විවිධ දියුණු තාක්ෂණික දේ අත් හදා බලති.  ඒවා සුපිරි ගුවන් යානා තාක්ෂණය, විවිධ ජෛවරසායනික අවි, මිනිස් ක්ලෝනීකරණය වැනි දේය. මේ සියල්ල ඔවුහු පොදු මහජනතාවගෙන් සඟවා රහස් ලෙස රකිති. මෝල්ඩර් සහ ස්කලී දෙදෙනාගේ ගවේෂණ වලදී ඔවුනට මේ රහස් වල අහු කොන් පෙනෙන අතර ඒ හේතුවෙන් යටකී පිරිස ඔවුන්ගේ කටයුතු වලට විවිධ බාධා පමුණුවති.  කොතරම් බාධා කළත් ඔවුහු මෝල්ඩර් සහ ස්කලී දෙදෙනාගේ ජීවිත වලට හානි නොකරන අතර (පහසුවෙන් එසේ කිරීමේ හැකියාව තිබියදී), එසේ නොකරන්නේ ඇයිද යන්නට සංගත හේතුවක් කිසි තැනක ඉදිරිපත් වනවා මට මතක නැත.

පාසල් යන වයසේ ඇල්මෙන් එක්ස් ෆයිල්ස් නැරඹූ මම පිටසක්වල ජීවීන් පිළිබඳ කතාව සත්‍යයක් ලෙස තදින් ග්‍රහණය කර ගතිමි. පිටසක්වල ජීවීන් පිළිබඳ කතා එක්ස් ෆයිල්ස් කතාමාලාවට පමණක් නොව බොහෝ හොලිවුඩ් නිර්මාණ වලට පාදක වෙයි. එලෙස එක්ස්ෆයිල්ස් මෙන්ම බොහෝ හොලිවුඩ් නිර්මාණවලට පාදකවන පිටසක්වල ජීවී කතාවල පොදු සාම්‍යයන් තිබේ:

1. දියුණු ශිෂ්ටාචාරයක සිට පැමිණෙන පිටසක්වල ජීවීන් ගේ හැඩරුව බොහෝ කතාවල එක හා සමානය. මිනිසුන්ට තරමක් සමාන ඔවුන්ට විශාල කෙස් නැති හිසක්, සිදුරු දෙක පමණක් වන නාසයක්, කුඩා කටක්, විශාල ඇස් යුගලයක් සහ කෙසඟ සිරුවක් හිමි වේ. තැන්පත් හැසිරීමක් ඇති ඔවුන් මිනිසුන් හා සන්නිවේදනය කරන්නේ ටෙලිපති ක්‍රමයටය.

2. මේ පිටසක්වල ජීවින් අභ්‍යවකාශ තරණය කරන්නේ පීරිසි හැඩය ගත් යානාවලය. ඔවුහු අහඹු ලෙස මිනිසුන් පැහැර ගන්නා අතර විවිධ පරීක්ෂණවලට ඔවුන්ට ලක් කර නැවත එවති. පැහැර ගැනීමට ලක් වූ කෙනාට ඉන්පසු බොහෝ දේ මතක නැත.

3.1947 දී ඇමෙරිකාවේ, නව මෙක්සිකෝවේ රොස්වෙල් ප්‍රදේශයට පිටසක්වල ජීවින් රැගත් යානාවක් කඩා වැටේ. එම යානයත්, එහි සිටි ප්‍රාණය සහිත පිටසක්වල ජීවීන් කිහිප දෙනෙකුත් එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් මුදා ගනු ලබයි. සිද්ධිය මහජනතාවගෙන් වසන් කරනු ලැබේ.

4 එක්සත් ජනපදයේ Area 51 නමින් හැඳින් වෙන කිසිදු කෙනෙකුට ඇතුළු විය නොහැකි ලෙස ආවරණය කෙරුණු ගුවන් හමුදාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශයක් වේ. මෙහි සිදු කරනු ලබන්නේ පිටසක්වල ජීවින්ගේ ආධාරයෙන් සුපිරි තාක්ෂණයෙන් යුතු ප්‍රහාරක ගුවන් යානා පර්යේෂණ කටයුතුය.

1.JPG

මේ කතා පිළිබඳව බටහිර රටවල, විශේෂයෙන් යෞවනයන්ගේ, දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබේ. අපේ රටේද නාගරික සමාජයේ මේ කතා තදින් අල්ලා ගත් තරුණ පිරිසක් සිටින බව පෙනේ. ( අපේ සංස්කෘතියට අයත් දෙවියන්, භූතයන් වැනි ප්‍රාණීන් ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන ඇතැම්හු පිටසක්වල ජීවීන් ගේ පැවැත්ම තහවුරු කිරීමට තර්ක ඕන තරමක් ගෙන එති. ) මා ද තරුණ වියේදී දැඩිව මේවා විශ්වාස කළද, දැන් ආපසු හැරී බලන විට සිතෙන්නේ මේ සියල්ල කිසිදු සාධකයන් නැති හුදු මනස්ගාත බවයි.

එපමණක් නොව මේවා හුදු හොලිවුඩ් ප්‍රබන්ධම නොව ඊට එහ ගිය අරමුණක්ද මේ යටින් තිබෙනු ඇතැයි දැන් මට සිතේ. ඊනියා පිටසක්වල ජීවී මනස්ගාත හරහා එක්සත් ජනපදය ලෝකයේ අප වැනි සෙසු රටවල මිනිසුන්ගේ මනසට නිරන්තරයෙන් කාවද්දන්න යන්නේ කුමක්ද? පිටසක්වල දියුණු ජීවින් සමඟ එක්ව ගොඩ නඟා ගත් අති දියුණු තාක්ෂණයක් ඔවුනට ඇති බව නොවේද? ඊට අප බිය යුතු බව නොවේද?

Advertisements

හුණුවටයේ කතාව සහ දුරස්ථකරණය

henri-2මෑතක හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ වීඩියෝ පටයක් නරඹත්දී සිත අතීතයට ඇදී ගියේ ය. මා මුල්වරට හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව නැරඹුවේ පාසල් වයසේ දී කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලයේ රඟහලේදී ය. එය නරඹා ගෙදර යමින් සිටින විට බස් රථයේදී හමු වූ වැඩිහිටි ඥාතිවරයෙක් ගියේ කොහිදැයි විමසා අනතුරුව “නාට්‍යය තේරුණාද?” යැයි කට මඳක් ඇඳ කොට උපහාසාත්මක ස්වරූපයකින් ඇසුවේ ය. පාසල් වියේදීම පොත පත කියවා කුරෝලු වූ මනසක් තිබූ මට හුණුවටයේ කතාව පිළිබඳ අවබෝධයක් තිබිණි. පාසල් වියේදීම මම මාක්ස්වාදියෙක් වීමි.

හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව ලෝකප්‍රකට නාට්‍යකරුවෙකු වූ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් ගේ The Caucasian Chalk Circle නාට්‍යයේ අනුවර්තනයකි. බ්‍රෙෂ්ට් ස්වකීය නාට්‍යය නිර්මාණය කෙරුවේ 14 වන සියවසේ ලියැවුණ චීන නාට්‍යයක් අනුසාරයෙනි. කෙසේ වුවත් අප දන්නා පරිදි මේ කතාව ඊටත් පැරණි ය. ඒ උම්මග්ග ජාතකයේ පුත්‍ර ප්‍රශ්නය යනුවෙනි. චීනයට මේ කතාව යන්නට ඇත්තේ බෞද්ධ සාහිත්‍යය සමඟ විය යුතු ය. කෙසේ වෙතත් බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් සිය නාට්‍යය නිර්මාණය කළේ එහි මුල් නාට්‍යයට වඩා වෙනස් අර්ථයක් සම්පාදනය කිරීමටයි. මාක්ස්වාදියෙක් වූ බ්‍රෙෂ්ට්ට වුවමනා වූයේ ඉඩම් හිමි අයිතිය, ශ්‍රමය වැය කරන්නන්ට අයිති විය යුතු බව යන මාක්ස්වාදි සංකල්පය, දරු අයිතිය ලේ මව්ට වඩා හැදූ මව්ට අයිති විය යුතුය යන කතාව ඔස්සේ මතු කිරීමටයි. අර මගේ වැඩිහිටි ඥාතියා සෝපහාසයෙන් මගෙන් ප්‍රශ්න කළේ මේ යටි අරුත එවකට පාසල් යන වයසේ සිටි පොඩි කොල්ලෙක් වන මා තේරුම් නොගත්තා යැයි සිතා බව මට එවිටම තේරුම් ගියේ ය. 

හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව අපේ රටේ අතිශය ජනප්‍රිය නාට්‍යයකි. අපේ රටේ ජනප්‍රියම නාට්‍ය කීපයෙන් එකක් යැයි කීවොත් වඩා නිවැරදිය. මා නිවැරදි නම් ඒ නාට්‍යය එදා පටන් මේ දක්වා සක්‍රීයව ප්‍රදර්ශනය වේ. කෙසේ නමුත් නාට්‍යය රස විඳින්නන් කී දෙනෙක් බ්‍රෙෂ්ට් ට වුවමනා වූ අර්ථය පිළිබඳව දැනුවත්ද? දන්නා පිරිසගෙන් වුවද නාට්‍යය රස විඳීමේදී ඒ අර්ථය සමඟ බද්ධ කරගෙන නාට්‍ය රස විඳිත්ද? නාට්‍යය අවසානයේ ගැයෙන “ගොවි දන මනා වූ…දිනිය යුතු වූ සේම ගම් බිම්” යන ප්‍රකට දෙපදය නොවන්නට හෙන් රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව තුළින් ඇත්තටම අවශ්‍ය අර්ථය මතු වේද? මා වුවද එදා ඒ පිළිබඳව දැන සිටියේ ඊට අදාළ විචාර පොතපත කියවා තිබූ නිසා ය.

imagesබ්‍රෙෂ්ට් සිය නාට්‍යය සඳහා භාවිතා කළේ “දුරස්ථකරණය” (Distancing Effect) නම් වූ රංග රීතියයි. ඊට අනුව ප්‍රේක්ෂකයා නාට්‍යයේ චරිත සමඟ භාවාත්මකව බද්ධ නොවී දුරස්ථව නාට්‍යය දෙස බැලිය හැකි වන පරිදි නාට්‍යය නිෂ්පාදනය වේ. හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව තුළ දුරස්ථකරණය නොති බූ බව පසු කාලීන තරුණ නාට්‍යකරුවෝ චෝදනා එල්ල කළහ. ඇතැමෙක් හුණුවටයේ කතාව වෙනම නිෂ්පාදනයක් ද කිරීමට පෙළඹුණහ. නාට්‍යය ගැන ගැඹුරෙන් ශාස්ත්‍රියව හදාරා නැති වුනත් මේ කතාව මට තේරෙන විදියට සත්‍යයකි. හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාවේ චරිත සමඟ අපට භාවාත්මකව බැඳීම වැළැක්විය නොහැක. මා හිතන විදියට දුරස්ථකරණ රංග රීතිය හොඳින්ම උපයෝගී කරගන්නා නාට්‍ය ශිල්පියෙකි, අශෝක හඳගම. ඔහුගේ නිර්මාණවල නම් ඔය කියන දුරස්ථකරණය, මට තේරෙන ආකාරයට, ඇත. යමෙකුට හඳගමගේ නිර්මාණ සමඟ සසඳා බලා යම් අදහසක් ගත හැක. මේ හේතුව නිසා මම තරුණ වියේදී ම හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව අවඥාවෙන් බැහැර කළෙමි. ඊට මගේ මාක්ස්වාදී ස්ථාවරය මෙන්ම රැඩිකල් වීමේ උණද යම් අයුරකින් බලපාන්නට ඇත.

කෙසේ වෙතත් අද මට තේරුම් යන ආකාරයට දුරස්ථකරණය යනු වෙන කිසිවක් නොව නාට්‍යය දෙස වියුක්තව බැලීමයි. එකී රංග රීතිය පහසුකම් සලසන්නේ ප්‍රේක්ෂයාට නාට්‍යය දෙස වියුක්තව බැලීමටය. බ්‍රෙෂ්ට් ගේ නාට්‍යයේ ඔහුට වුවමනා වූ මාක්ස්වාදී සංකල්පාර්ථ නාට්‍යය දෙස වියුක්තව බැලීමේදී මතු වනවා විය හැක. වියුක්ත චින්නතනයක් ඇති බටහිර සමාජයේ එය වඩාත් පහසුය. නමුත් අපේ රටේ මිනිස්සුන්ට ඇත්තේ සංයුක්ත චින්තනයකි. අප හැමදෙයක්ම බලන්නේ සංයුක්තවය. අපේ මිනිස්සු හෙන්රි ජයසේනයන්ගේ හුණුවටය රස විඳින්නේත් සංයුක්තව ය. අපි ගෲෂා සමඟ නාට්‍යයේ මුල සිටම මනසෙන් බැඳෙමු. ඇය අපේම මවකි, දියණියකි, සොහොයුරියකි, බිරිඳකි. “ඇය සෙබළුන් හට හසු වේද? ඇයට වැල් පාලමේදී අනතුරක් වේද? අවසන ඇයට දරුවා හිමි වේද?” නාට්‍යය ගලා යත්දී අපේ සිත කම්පනය වේ. අපි නාට්‍යය බලන්නේ  ගෲෂා ගේ කෝණයෙනි. ගෲෂාගේ සතුරන් අපේ සතුරන්ය. ඇගේ මිතුරන් අපේ මිතුරන් ය. එමෙන්ම අසඩක් අපට වීරයෙකි. පුංචි මයිකල් කුමාරයා දැක්කම අපට මතක් වන්නේ අපේ දරුවන් ය.

මෙලෙස නාට්‍යයේ චරිත සංයුක්තව ගැනීමෙන් නාට්‍යය යටින් වන වියුක්ත ඉඩම් හිමි  අයිතිය පිළිබඳ කතාව මතු නොවේ. අප හුණුවටයේ කතාවෙන් රස විඳින්නේ දරු අයිතිය සහ මවු සෙනෙහස පිළිබඳ කතාවක් මිස වෙන කිසිවක් නොවේ. හෙන්රි ජයසේන යන්ගේ නාට්‍යය අපේ රටේ මේ තරම් ජනප්‍රිය වීමට හේතුවද එයම වෙයි. හෙන්රි ජයසේනට බැනලා “නියම දුරස්ථකරණය” භාවිතා කර තරුණ පඬි නාට්‍යකරුවන් නිෂ්පාදනය කළ හුණුවටයේ කතාව දර්ශනවාර දහයක්වත් පෙන්වා ගත හැකි වූයේ දැයි මම නොදනිමි. 

mqdefault

 

ෂර්වුඩයේ රොබින්

images (2)

මා කුඩා කල, ෂර්වුඩයේ රොබින් (Robin of Sherwood) නම් ජාතික රූපවාහිනියේ විකාශය වූ බ්‍රිතාන්‍ය ටෙලිකතා මාලාව කොතරම් නැරඹුවත් එපා නොවන එකක් ව තිබුණා මතකය. රොබින්හුඩ් සහ කල්ලියේ වීරක්‍රියා, මධ්‍යකාලීන එංගලන්තයේ පරිසරය, මීදුම් සහ ඉටිපන්දම් එළියෙන් ආලෝකනය වූ දර්ශන තල, සහ ඒ සියල්ලට මිශ්‍ර වූ ක්ලැනාඩ්ගේ මියුරු සංගීතය මගේ සිත් ඇඳ බැඳ ගත්තේය.

රොබින් හුඩ් (Robin Hood) යනු කවුද? ඔහු ඉංග්‍රීසි ජනශ්‍රැතියේ එන වීර චරිතයකි. ලංකාවේ ඔහු වඩාත් ප්‍රකට ධනවතුන්ගෙන් මංකොල්ල කා දුප්පතුන්ට බෙදාදුන් චරිතයක් ලෙසයි. (ලංකාවේ, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ, මිට සමාන ලෙස ක්‍රියාකාරකම් වල යෙදුණ මාවනැල්ල ප්‍රදේශයේ සරදියෙල් නම් මංකොල්ලකරුවාව හැඳින්වුයේද “ලංකාවේ රොබින් හුඩ්” ලෙසයි. ). මෙලෙස රොබින් හුඩ් සාමාන්‍යයෙන් අර්ථ ගැන්වෙන්නේ “පීඩිත පංතියක්” වෙනුවෙන් “පීඩක පංතියකට” එරෙහිව සටන් වැදුණු වීරයෙක් ලෙසයි.   ඇත්තටම රොබින් හුඩ් ගේ අරගලය ඊට පමණක් ලඝු කළ හැකිද?

උක්ත බ්‍රිතාන්‍ය කතාමාලාව දෙස විමසිල්ලෙන් බලන්නේ නම් අපට මෙහි වෙනත් අර්ථයක් සම්පාදනය කළ හැක.  එහි දැක්වෙන්නේ සංස්කෘති දෙකක, වඩා නිවැරදිව කියනවා නම් චින්තන දෙකක ගැටීමයි. එනම් නෝර්මන්වරුන්ගේ සහ සැක්සන්වරුන්ගේ චින්තන දෙක අතර ගැටීමයි. ලොක්ස්ලි හි රොබින් , ඔහුගේ සහචරයන් බහුතරය සහ ගම්වැසියන් මේ සියළු දෙනා සැක්සන්වරුය. රිචර්ඩ් සහ ජෝන් රජවරු, නොටින්හැමයේ ෂෙරීෆ්, ගිස්බන් සහ අනෙක්  සියලුම වංශාධිපතියන් නෝර්මන්වරුය.

රොබින් හුඩ් සහ නොටින්හැමයේ ෂෙරීෆ් අතර නොනිමි අරගලය විමසීමට පෙර සැක්සන්වරු සහ නෝර්මන්වරු ගැන මඳක් විමසා බලමු:

සැක්සන්වරු

Britain.Anglo.Saxon.homelands.settlements.400.500

එංගලන්තයේ සහ ඉංග්‍රිසි බස කතා කරන වෙනත් රටවල වර්තමාන සංස්කෘතිය හඳුන්වන ජනප්‍රිය නාමය ඇන්ග්ලෝ-සැක්සන් සංස්කෘතිය යන්නයි. ඊට  ඒ නම ලැබී ඇත්තේ පස්වන සියවසේ පමණ බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළ ඇංගල්ස්  සහ සැක්සන් යන ජර්මානික (Germanic) ගෝත්‍ර දෙක අනුවය. නමුත් ඇන්ග්ලෝ-සැක්සන් සංස්කෘතියට වඩා මේ ඇංගල්වරුන්ගේ සහ සැක්සන්වරුන්ගේ සංස්කෘතීන් විශාල වශයෙන් වෙනස්ය. ඔවුන්ගේ චින්තනයන්ද වෙනස් බව සිතමි. වර්තමාන ඇන්ග්ලෝ-සැක්සන් සංස්කෘතියේ හැඩතල විශාල ප්‍රමාණයක් සැකසී ඇත්තේ බ්‍රිතාන්‍යයට පසුව පැමිණි නෝර්මන්වරුගේ සංස්කෘතිය අනුවය.

ක්‍රි.ව. පස්වන සියවසේ පමණ වර්තමාන ජර්මනිය සහ ඩෙන්මාර්කය ආශ්‍රිත ප්‍රදේශවල සිට බ්‍රිතාන්‍යය වෙත, ප්‍රධාන වශයෙන්, ඇංගල්ස් (Angles) , සැක්සන් (Saxons) සහ ජූට් (Jutes) නම් ජනවර්ග තුනක් සංක්‍රමණය වූහ. මේ කාලයේ බ්‍රිතාන්‍යයේ සිටියේ ප්‍රධාන වශයෙන් කෙල්ටික් (Celtic) නමින් පොදුවේ හැඳින්වෙන ජනවර්ගයි. මේ ජන සංක්‍රමණ නිසා මිශ්‍ර වීමක් හෝ අවශෝෂණයක් සිදු වී නැත. ජනාවාස ගිනි තබමින්, කෙල්ටික්වරුන් සමූල ඝාතණය කෙරුණු අතර, ඉතිරි වූ කෙල්ටික්වරු වර්තමාන ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ වේල්සය වෙත තල්ලු වී ගියහ. ඉන්පසු වර්තමාන එංගලන්තය ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ජීවත් වුනේ මේ ජනවර්ග තුනයි. ඉන් බහුතරය වූයේ සැක්සන්වරුයි. කාලානුරූපීව මේ ජනවර්ග එකට මිශ්‍ර වූහ. සැක්සන්වරු මූලික වශයෙන් පේගන්වරුය.

බ්‍රිතාන්‍යයට පැමිණෙන අවධියේදී සැක්සන්වරු මූලික වශයෙන් පේගන් ආගමික විශ්වාසයන් සහිත පිරිසක් වූහ. ඔවුන් ක්‍රිස්තියානිකරණය වී ඇත්තේ ක්‍රම ක්‍රමයෙන්, කල්ගත වීමෙන් පසුවයි. ක්‍රිස්තියානිකරණය වීමට එරෙහිව ඔවුන් දැඩි ප්‍රතිරෝධයක් ද දක්වා ඇත. ක්‍රිස්තියානිකරණය වීමෙන් පසුවද ඔවුන් තම පැරණි ආගමික විශ්වාසයන් බොහෝ කලක් යනතුරු අතහැර නැත.

නෝර්මන්වරු

n cavalry

නෝර්මන්වරු (Normans) බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළේ ක්‍රි.ව. එකොළොස්වන සියවසේ පමණය. ඔවුහු උතුරු ප්‍රංශයේ නෝර්මන්ඩිය (Normandy)  නම් ප්‍රදේශයේ සිටි ප්‍රංශ බස කතා කළ ජන වර්ගයකි. නෝර්මන්ඩියට  ඔවුන් සංක්‍රමණය වී ඇත්තේ ස්කැන්ඩිනේවියාව ප්‍රදේශයෙනි. වයිකිං සම්භවයක් තිබුණද බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන අවධියේදී ඔවුහු වැඩි වශයෙන් ප්‍රංශ සංස්කෘතියට (ජර්මානික ජනවර්ගයක් වූ ෆ්‍රෑන්ක් වරුන්ගේ සංස්කෘතියට) අනුගත වී සිටියහ. ක්‍රි.ව. 1066 දී නෝර්මන්ඩියේ ආදිපාදවරයා (Duke of Normandy) වූ විලියම්  (William the Conqueror) නම් ශූර පාලකයා බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර (Norman Conquest of England)  රාජ්‍යත්වය අත්පත් කර ගත්තේය. ඉන්පසු බ්‍රිතාන්‍යයේ රජ පෙළපත සහ සියළු වංශාධිපතියන් නෝර්මන්වරු බවට පත්විය. එතෙක් රටේ සැක්සන්වරුන්ට තිබූ බලය ඔවුනට අහිමි විය.

සම්මතය අනුව නෝර්මන්වරු සැක්සන්වරුන්ට වඩා ශිෂ්ට සම්පන්න පිරිසක් විය.  යුධ ශිල්ප, කලා ශිල්ප, ගෘහ නිර්මාණය, රාජ්‍ය පරිපාලනය, වස්ත්‍රාභරණ ආදී සියල්ලෙන් ඔවුහු සැක්සන්වරුන්ට වඩා ඉදිරියෙන් සිටියහ. නෝර්මන්වරු කතෝලික ය. වඩා විධිමත් වැඩවඩම් පාලන ක්‍රමයක් (Feudal System), මෙන්ම රාජ්‍යත්වයද ශක්තිමත් ලෙස එංගලන්තයේ ස්ථාපිත කෙරුණේ නෝර්මන්වරුන් ගෙන් පසුවය. වර්තමාන එංගලන්තයේ රාජකීය සංකේතය වන සිංහයන් තිදෙනෙකුගේ ලාංඡනය (Royal Arms of England) පවා ඔවුනට ලැබුණේ නෝර්මන්වරුන් ගෙන්ය.

තවත් වැදගත් කරුණක් වන්නේ ඔවුන් කතා කළේ ප්‍රංශ බස වීමයි.  නෝර්මන් ආක්‍රමණයෙන් පරම්පරා කීපයක් ගිය පසුත්, රිචර්ඩ් ද ලයන් හාට් රජු (Richard the Lionheart)  හට කතා කළ හැකි වූයේ ප්‍රංශ බව පමණි. වර්තමාන ලංකාවේ සිංහලය පරයා ඉංග්‍රිසියට හිමි තැනට සමාන තැනක් එකල ප්‍රංශ බසට, ස්වදේශික ඇන්ග්ලෝ-සැක්සන් බස පරයා එංගලන්තයේ හිමි විය.

නෝර්මන් – සැක්සන් චින්තනයන්ගේ පරතරය

රොබින් හුඩ් සහ ඒ හා බැඳුණ පුරාවෘත්ත වලින් සංකේත වන්නේ වෙන කිසිවක් නොව නෝර්මන්වරුන්ගේ සංස්කෘතියට/චින්තනයට එරෙහි ව නැගුණ සැක්සන්වරුන්ගේ සංස්කෘතියයි/චින්තනයයි. මේ අවධිය වන විටත් සැක්සන්වරු  විශාල ප්‍රමාණයක් පේගන්වරුය. පේගනිසම තනි සංස්ථාපිත ආගමක් නොවේ; කතෝලිකය යුරෝපය පුරා පැතිර යාමට පෙර තිබූ විවිධ ආගම් සහ ඇදහිලි පද්ධතීන් හැඳින්වීමට යොදාගන්නා පොදු නාමයකි. මේ පේගන් චින්තනය කවරාකාරද? කතෝලික චින්තනයෙක් එය වෙනස් වන්නේ කෙළෙසද?

images (3)

රොබින් හුඩ් සහ සහචරයන් හට අධ්‍යාත්මික මඟ පෙන්වීම කරනු ලබන්නේ හර්න් (Herne the Hunter) නැමැති අධ්‍යාත්මික නායකයකු විසිනි. “හර්න් අප රැක දෙත්වා” යනුවෙන් අහර කිසට පෙර ඔවුහු යාඥා කරති. හර්න් ගෙන් සංකේතවත් කෙරෙන්නේ කතෝලික චින්තනය පැතිරීමට පෙර පැවති සැක්සන්වරුන්ගේ පේගන් චින්තනයයි. සැක්සන්වරුන්ගේ චින්තනයද කතෝලිකයන්ගේ චින්තනය මෙන්ම සාමූහික එකකි. ඔවුන්ගේ සමාජ, සාමූහික සමාජ ය.

නමුත් වෙනස ඇත්තේ ඔවුන්ගේ චින්තනය කතෝලික චින්තනයට වඩා පරිසරය හා බැඳුණු එකක් වීමයි.  හර්න් ගෝන හිසක් පැළඳීමෙන් සංකේතවත් කරන්නේ එවැන්නක් යැයි සිතමි. සැක්සන්වරු දඩයමේ යෙදුණු පරිසරයට සංයුක්ත වූ පිරිසකි. රජුට අයත් ගෝනුන් දඩයමට තහංචි පැනවීමෙන් ඔවුන්ගේ පරිසරයට ඇති බැඳීමට තහංචි පැනවෙයි. කතාමාලාවේ ගැටුම ඇරඹෙන්නේ එතැනිනි.  නෝර්මන්වරු සැක්සන්වරුන්ගේ ජීවන ක්‍රමයට බාධා පැමිණවූහ. මේ කතාමාලාවේ එක් කතාවක දැක්වෙන පරිදි සැක්සන්වරු වෘක්ෂ ඇදහීමේ උත්සවයකද නිරත වෙති. වෘක්ෂ ඇදහීම යනු අනෙකක් නොව පරිසරයට දක්වන ගරුත්වය හා බැඳීමයි. මැදපෙරදිග ශුෂ්ක පරිසරයක බිහි වූ කතෝලික චින්තනය තුළ මිනිසා පරිසරයේ ස්වාමියාය.

මේ ෂර්වුඩයේ රොබින් කතා මාලාව පුරාවට දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නම් “මායා” බලයන්, ගුප්ත විද්‍යාත්මක සංසිද්ධි සහ යක්ෂ/සාතන් ඇදහිලි වැනි දෑය. කතෝලික චින්තනය පැතිර යාමට පෙර යුරෝපය පුරා මෙවැනි දෑ බහුලව තිබී ඇත. හර්න් හටද විශේෂ වූ අධ්‍යාත්මික ශක්තීන් ද හිමිය.   අද කාලයේ පේගන් සංස්කෘතිය හුවා දැක්වීමට යොදාගන්නා ජනප්‍රියම අංග දෙකක් නම් කොස්සක් මත නැගී ගුවනින් ගමන් ගන්නා මායාකාරියන් (Witches) සහ කල්දේරමක බෙහෙත් පැළෑටි වර්ග කලවම් කර නොයෙකුත් මායාකර්ම කරන මායාකරුවන්ය (Druids). 

images (4)

යුරෝපය පුරා කතෝලිකය පැතිරෙත්දී ඒ තුළට පේගන්වරුන්ගේ චින්තනයෙන් යම් යම් සංස්කෘතික කාරණා අවශෝෂණය වී ඇත. අවශෝෂණය කළ නොහැකි දෑ ප්‍රතික්ෂේප කෙරෙයි. පේගන්වරුන්ගේ චින්තනය තුළ ඉහත දැක් වූ ආකාරයේ යම් යම් අධ්‍යාත්මික ක්‍රම තිබුණා යැයි සිතිය හැක. කතෝලික චින්තය තුළ අධ්‍යාත්මික ශක්තීන් වලට තැනක් ලැබී නැත. ඒ නිසා ඔවුහු ඒවා මිථ්‍යා දෘෂ්ටීන් ලෙස බැහැර කළහ. මධ්‍යකාලීන යුරෝපයේ යක්දෙස්සියන් දස දහස් ගණක් මරා දැමුනේ ඒ නිසාය. (Witch Hunt). 

කෙසේ නමුත් අවසානයේ එංගලන්තයේ නෝර්මන් සහ සැක්සන් සංස්කෘතීන් එකිනෙක අවශෝෂණය විය. ඉංගිරිසි ජාතිය සහ සංස්කෘතිය එහි වර්තමාන ස්වරූපය විකාශනය වී ඇත්තේ ඉන්පසුවයි. එය මුලින්ම කතෝලික චින්තනයට නතු වූ අතර එහිදී පේගන්වරුන්ගේ අධ්‍යාත්මික හැකියාවන් සහ පරිසරය හා තිබූ බැඳීම ඔවුන් අතරින් අතුරුදහන් විය. ඉන්පසු එය පුනරුද සමයේ යුදෙව්-ක්‍රිස්තියානි චින්තනයට නතු විය.

රොබින්හුඩ් වෘතාන්තයේ දැක්වෙන්නේ නෝර්මන් සංස්කෘතිය එංගලන්තයේ අධිපතිවාදීව පැතිරෙත්දී චින්තන පරස්පරය නිසා සැක්සන් සමාජය තුළින් ඊට නැගුණු ප්‍රතිරෝධයයි.

ගම කමු. රට හදමු.

ජයන්ත චන්ද්‍රසිරි සිනමා හා නාට්‍යකරණයට පිවිසීමට පෙර හැත්තෑව දකයේ අග / අසූව දශකයේ මුල භාගයේ “ස්වර්ණ” නම් චිත්‍රකතා පත්තරයකට “මැම්බර් හාමු” නමින් චිත්‍රකතාවක් ඇන්ද බව දන්නේ ටික දෙනෙක් යැයි සිතමි. තරුණ කාලයේ චිත්‍රකතා ලෝලියෙකු වූ අපේ බාප්පා කෙනෙක් ළඟ තිබූ පරණ ස්වර්ණ පත්තර තොගයක් නිවාඩු සමයේ ගමේ ගිය විට කියවන්නට කුඩා කළ පුරුදු වී සිටියෙමි.

මැම්බර් හාමු ඉන් වඩා සිත්ගත් කතාවකි. “මැම්බර් හාමු” ප්‍රහසන වර්ගයේ දේශපාලන චිත්‍රකතාවක් බව මතකය. එහි කතාව හරියට මතක නැතත් මූලික වශයෙන් කියැවෙන්නේ අලුතින් ඡන්දය දිනා ගමේ ගම්සභාවේ මුල් පුටුවට පත් වූ මැම්බර් කෙනෙක් ගැනය. ගම් සභාවක් ගැන කියැවුණත් ඉන් සංකේත වශයෙන් දැක්වුණේ මුළු රටමත් එහි පාලකයාත්ය. නො එසේ නම් 77 පෙරැළියෙන් බලයට පත් අලුත් ආණ්ඩුවත් එහි ක්‍රියාකලාපයත්ය.

මෙහි එක් පාඨයක් අදටත් මගේ මතකයේ රැඳේ. එනම් මැම්බර් හාමුගේ මැතිවරණ සටන් පාඨය වූ “ගම කමු. රට හදමු.” යන්නයි. ඒ දවස්වල මට මෙය හුදෙක් හාස්‍යය මතුකළ වදනක් පමණක් විය. (සාමාන්‍යයෙන් “ගම කනවා” යන්නේ තේරුම ඔක්කොම විනාස/කාබාසිනියා කරනවා වැනි තේරුමකි.)

නමුත් අද කල්පනා කරන විට මෙහි ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබුණේ යැයි සිතමි. 77 පසු අපි අදටත් උත්සාහ කරමින් සිටින්නේ “ගම කා. රට හැදීමටය”. නො එසේ නම් “රටක් හැදීම උදෙසා ගම කා දැමීමයි.” සාමාන්‍යයෙන් සමාජයක සිදුවන පෙරළියක් මුලින්ම ග්‍රහණය වන්නේ/විය යුත්තේ කලා කරුවාටයි. ඒ 77 ඡන්දයෙන් යාන්තම් වසර දෙකකට පසුවය. ජයන්ත චන්ද්‍රසිරි ඒ අතින් ඉහළම ගණයේ කලාකරුවෙකි.

download (3)

 

නාගසේන නොහොත් නූතනත්වයේ මිනිසා

පැරණි සමාජයේ මිනිසුන්ගේ සමාජීය/සාමූහික වගකීම්, පුද්ගල අභිමතාර්ථවලට ඉහළින් පිහිටා තිබිණි. ඔවුහු දිවි හිමියෙන්, සමාජය විසින් තමන්ට පවරන ලද වගකීම් ඉටු කිරීමට බැදී සිටියහ. වැවක් භාරව උන් තැනැත්තා වැවට යම් හානියක් වූ කල වැවට පැන දිවි තොර කරගත්තේ තම සමාජීය වගකීම ඉටු කර ගත නොහැකි නම් ඉන් එහාට ඔහුට ජීවිතයක් නොවූ නිසාය.

එහෙත් නූතනත්වය විසින් සමාජ/සාමූහික වගකීම් පසෙකලමින් පුද්ගල අභිමතාර්ථ ඔස්සේ ලුහු බැඳීමට මිනිසා යොමු කර ඇත. මිනිසාගේ පුද්ගල අභිමතාර්ථ ඉලක්ක වන්නේ අසීමිත ඉන්ද්‍රීය පිනවීමට සහ මමංකාරය (Ego) ඉස්මතුකර ගැනීමටයි. අද ලෝකය ගමන් ගන්නේ මේ දිශාවටයි.

ජයන්ත චන්ද්‍රසිරිගේ අකාල සන්ධ්‍යා ටෙලි නිර්මණයේ නාගසේන යනු මා දකින අයුරෙන් නූතනත්වයේ මිනිසාය. නාගසේන සෙස්සන් පරයා සටන් කලාවේ හිනි පෙත්තටම ළඟා වූයේ තම පුද්ගල අභිමතාර්ථ වෙනුවෙන් අනෙක් සියල්ල අමතක කර යොමු වීම නිසාය. එලෙස පුද්ගල අභිමතාර්ථ වෙනුවෙන් අසීමිතව කැප වුණු පුද්ගලයන්ට විශාල ශක්තියක් මුදාහළ හැකි වන අතර ඔවුහු තම පුද්ගල ඉලක්කයන් වෙත සීඝ්‍රයෙන් ළඟා වෙති.  තම සටන් කුලයේ වඩාත්ම දක්ෂ සටන්කරුවා බවට පත්වන නාගසේන අවසානයේ තමන්ව කුඩා කළ සිට පුහුණු කළ, ගුරුහරුකම් දුන් සුදලිය පනික්කිරාළව නිර්දය ලෙස මරාදමයි.

තම ඉලක්කයන් ඔස්සේ තව දුරටත් ලුහුබඳින ඔහු, පුද්ගල අහිමතාර්ථ පසුපස හඹා යාමේ කූට ප්‍රාප්තියට එළඹ,  තම කුල පරම්පරාවේ වගකීම් ද පසෙක ලා, පවුල, දරුමල්ලන්ද අතහැර  මෛත්‍රි බුදුන් බැහැ දැකීමට කාල තරණය කිරීමට යොමු වෙයි. නාගසේන මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට උත්සාහ කිරීම සියලු ආශාවන් අතහැරීමක් යැයි කෙනෙකුට හැඟී යා හැක. නමුත් එය වැරදිය. නාගසේනගේ ඒ උත්සාහය මමත්වය තව තවත් දැඩි වීමේ ප්‍රතිඵලයක් පමණි.  අවසානයේ සිදුවන්නේ කුමක්ද?  අසීමිතව ඉන්ද්‍රිය පිනවන, භෞතික සම්පත් ගොඩ ගසන සහ මමංකාරය වඩන නූතන ලෝකයේ නාගසේන ඇඹලයෙක් සේ ඇලී යාමයි. 

අකාල සන්ධ්‍යාහි මහසෝනාගෙන් නිරූපණය වන්නේ නාගසේන (හෙවත් නූතනත්වයේ මිනිසා) විසින් අමතක කර දමන ලද ඔහුගේ සමාජ වගකීම් ය. පැරණි සමාජයේ මිනිසා ඔහුගේ සමාජ වගකීම් සමඟ එකට බද්ධ වී තිබේ. ඒ නිසා මහසෝනා නාගසේන පසු පස ලුහුබඳියි. එහෙත් නූතන ලෝකයට මහසෝනා පෑහෙන්නේ නැත. එය නාගසේනගේ ලෝකයයි. එහිදී මහසෝනා අතහැර නාගසේන පුද්ගල නිදහස හඹා යෑමට සමත් වේ.

එහෙත්  මිනිසා කොතරම් ඔහුගේ ආශාවන් සන්තර්පණය කළත් ඔහු සංතුෂ්ටිය කරා ළඟා නොවේ. අවසානයේ කළකිරීමට පත් නාගසේන ගොඩගැසීම පුරුදු කරන නූතන ලෝකයෙන් පළා යන්නේ  අත්හැරීම පුරුදු කරන අපේ පැරණි සමාජයටයි. එහිදී ඔහු ඒදඬුවාවේ මැණිකේගේ දෝලාව වසර ගණනාවක් කරගසමින් දෝලාකරුවෙක් ලෙස දිවිගෙවන්නේ, පුද්ගල අභිමතාර්ථ පසෙක ලා පුද්ගලයකුගේ  සමාජ කාර්යභාරය වැදගත් යැයි අවබෝධ කරගත් නිසා විය යුතුය.

134181070802 1294893898dsc791