අපේ මෑත පිරිවෙන් සම්ප්‍රදායේ නැගීම සහ බැසීම

අපේ රටේ බුදුසසුන පිරිහෙමින් පැවති කාලයක සියම් රටෙන් වැඩමවූ උපාලි හිමියන් මාර්ගයෙන් උපසම්පදාව යළි පිහිටුවා බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා කටයුතු කලේ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර හිමි ය. ඉන්පසු උන්වහන්සේ මෙරට ශ්‍යාමෝපාලී මහා නිකාය පිහුටුවන ලද අතර සංඝරාජ පදවියෙන් පිදුම් ලදහ.

වේහැල්ලේ නාහිමි සිසු පරපුර

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ගිහි කළ ඥාති සොහොයුරෙක් වේහැල්ලේ ධම්මදින්න හිමි නමින් පැවිදි වී වේහැල්ලේ වේළුවනාරාම නම් විහාරස්ථානයක් පිහිටුවාගෙන වැඩ විසූහ. පසුකලෙක පහතරට සංඝ මූලස්ථානය ලෙස සැලකුණේ මේ විහාරස්ථානයයි. උන්වහන්සේ සංඝරාජ හිමියන් සමඟ තිබූ සම්බන්ධතා හරහා ශ්‍රීපාදස්ථානාධිපති ධුරයටත් සබරගමු දකුණු දෙපළාතේ සංඝනායක ධුරයටත් පත් වූහ. වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානම ගෝලයන් වූයේ කදුරුපොකුණේ සුවණ්ණජෝති හිමි සහ කිරිනැලියේ රතනසාර හිමි දෙනමය. මාතර වේරගම්පිට විහාරය පිහිටවූ කදුරුපොකුණේ සුවණ්ණජෝති හිමියන් වඩා ප්‍රකට වූයේ කීර්තිමත් පඬිරුවනක් වූ කරතොට ධම්මාරාම හිමි යන්ගේ ගුරුවරයා ලෙසය. කිරිනැලියේ රතනජෝති හිමි වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ ගිහි කළ ඥාති පුත්‍රයාය. උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම වූයේ ගාල්ලේ මේධංකර හිමි ය.

පැල්මඩුල්ල මහ පිරිවෙන

පසුකලෙක ශ්‍රීපාදස්ථාන විහාරාධිපති බවට පත් වූ ගාල්ලේ මේධංකර හිමියන්ගෙන් සිදු වූ ප්‍රධානම සාසනික සේවය නම් පැල්මඩුල්ලේ ධර්මායතනයක් පිහිටුවීමයි. මේ ධර්මායතනය අපේ රටේ පිරිවෙන් සම්ප්‍රදාය බිහි කිරීමේ ලා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ තැනක් බව කිව යුතුය. වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමි මේ ධර්මායතනයෙන් බිහි වූ  හිමි නමකි.

පැල්මඩුල්ල මහ පිරිවෙන

රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන

වලානේ ශ්‍රී සිද්ධර්ථ හිමි පසුකලක 1841 දී රත්මලානේ පරම ධම්මචේතිය නමින් පිරිවෙනක් පිහිට වූහ. පරමධම්ම චේතිය පිරිවෙන ආරම්භ කෙරුණේ පානදුර හා අවට බෞද්ධ දානපතියන්ගේ අනුග්‍රහයෙනි. පොල් අතු මඩුවකින් ඇරඹි මේ පිරිවෙන පසු කලෙක ධර්ම ශාස්ත්‍රඥාණයේ කේන්ද්‍රයක් බවට පත් විය.

මේ පිරිවෙනින් බිහි වූ කීර්තිමත්ම බෞද්ධ භික්ෂූන්වහන්සේ වූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි යනුත්, රත්මලානේ ධම්මාලෝක හිමි යනුත්ය. උන්වහන්සේලා පසු කලෙක අපේ පිරිවෙන් සම්ප්‍රදායේ මුදුන් මල්කඩ වූ විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් බිහි කළහ.

උන්වහන්සේලාගෙන් පසුවද පරම ධම්ම චේතිය පිරිවෙන කීර්තිමත් සඟ පරපුරක් රටට දායාද කළේය. ඒ අතර අපේ රටේ ඉංග්‍රීසි භාෂාවෙන් මුල්වරට සාහිත්‍ය ශූරී උපාධිය (එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන්) ලත් බෞද්ධ භික්ෂූන්වහන්සේ සහ මුල්වරට ලංකා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මණ්ඩලයට පත් බෞද්ධ භික්ෂූන්වහන්සේ වූ සූරියගොඩ සුමංගල හිමි, ප්‍රාචීන භාෂා විභාගවලින් වාර්තා සහිතව සමත් වූ පණ්ඩිත භික්ෂු පරපුරේ පුරෝගාමියකු ලෙස සැලකෙන විදුරුපොළ පියතිස්ස හිමි ඒ අතර විය.

 මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි යටත්විජිත සමයේ ලංකාවේ බොදු පුනරුදය බිහිකිරීමේ ලා වඩාත්ම පුරෝගාමී මෙහෙවර ඉටු කළ යතිවරයානන්වහන්සේ යැයි කීවොත් අතිශයෝක්තියක් නොවේ. 1815 දී අපේ රට ඉංගිරිසින්ට යටත් වීමත් සමඟ  බුදු සසුනට ලැබෙමින් තිබූ රාජ්‍ය අනුග්‍රහය නැති විය. රටේ සිංහල බෞද්ධයන්ගේ කොඳු නාරටිය කඩා දැමිණ. එවන් වකවානුවක නැවත බොදු පුනරුදයකට මුල පිරුවේ හික්කඩුවේ සුමංගල හිමියන් ය.

හික්කඩුවේ සුමංගල හිමි බෞද්ධ භික්ෂු අධ්‍යාපන ක්ෂේත්‍රයේද අමිල මෙහෙවරක් ඉටු කර තිබේ.  රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනෙනින් අධ්‍යාපනය ලද  උන්වහන්සේ පසුව එහි පරිවේනාධිපති ධුරයට පත් වූහ.  1873 දී උන් වහන්සේ  මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළහ. එය අපේ රටේ පිරිවෙන් ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි.

වැලිවිටියේ සෝරත හිමි, මහාචාර්ය කොටගම වාචිස්සර හිමි, රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක හිමි, බලගල්ලේ විමලබුද්ධි හිමි, සහ පලන්නෝරුවෙ විමලධම්ම හිමි ආදී කීර්තිමත් සංඝ පීතෘවරුන් රැසක් විද්‍යෝදය පිරිවෙනින් බිහි විය.

Presentation1

 පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙන

රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනේ සිසුනමක් වන හික්කඩුවේ සුමංගල හිමියන් 1873 දී මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන අරඹන විට, ඊට සමගාමීව,  එම පිරිවෙනේම තවත් සිසු නමක් වන රත්මලානේ ධම්මාලෝක හිමි යන් විසින් 1875 දී පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇරඹීම සුවිශේෂ සිද්ධියකි.

රත්මලානේ ධම්මාලෝක හිමි යන්ගේ ප්‍රධාන ගෝල හිමි නම වන රත්මලානේ ධම්මාරාම හිමි යන් විසින් ද පසුව පිළිවෙලින් ලුණුපොකුණේ ධම්මානන්ද හිමි යන් සහ කිරිවත්තුඩුවේ පඥාසාර හිමි යන් විසින් විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති ධූරයන් හොබවන ලදී. විද්‍යාලංකාර පිරිවෙනින් බිහි වූ කීර්තිමත් යතිවයාණන්වහන්සේ ලා අතර යක්කඩුවේ පඥාරාම හිමි, වල්පොල රාහුල හිමි, කොටහේනේ පඥාකිත්ති හිමි, බඹරැන්දේ සිරි සීවලී හිමි, සහ මාදෝවිට ශ්‍රී ඤාණානන්ද හිමි ආදීන් ප්‍රකට ය. උන්වහන්සේලා බොහෝ දෙනෙක් විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ධූර හෙබවූහ.

Presentation2

 විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පත් කිරීම

1958 අංක 45 දරන විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත මඟින් එම පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල දෙකක් බවට පත් කරන ලදී. කීර්තිමත් සඟ පරපුරක් රටට දායාද කරමින් තිබූ මේ විශ්ව විද්‍යාල ද්වය බටහිර ශාස්ත්‍රීය අධ්‍යාපනක් ලබා දෙන ආයතන බවට පරිවර්තනය කෙරිණි.

ඒ වන විට එම විද්‍යෝදය පිරිවෙනේ පරිවේනාධිපතිව වැඩ හුන් වැලිවිටියේ සෝරත හිමියන් සහ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපතිව වැඩ හුන් යක්කඩුවේ පඥාරාම හිමියන් පිළිවෙලින් එම විශ්ව විද්‍යාලවල ප්‍රථම කුලපති ධූරයන්ට පත් කරන ලදී. මේ හිමි දෙනමම විශාල දැනුම් සම්භාරයක් හිමි අපේ රටේ බෞද්ධ අධ්‍යාපනයට සහ බුදුදහමට විශාල සේවයක් කළ හිමිනමවල් දෙකක් වීම ද විශේෂ සිද්ධියකි.  කෙසේ වුවත් බටහිර ආකෘතියෙන් තරමක් හෝ වෙනස් වීමට විශේෂයෙන් උන් වහන්සේලා උත්සාහ කළ බව ද පෙනේ. මේ විශ්ව විද්‍යාල බෞද්ධ විශ්ව විද්‍යාල යන සංකල්ප ඔස්සේ ගෙන යාමට උන්වහන්සේලාගේ වුවමනාව වී තිබේ. විශ්ව විද්‍යාලයට ඇතුළු වන සෑම ශිෂ්‍යයෙක් ම (විද්‍යා සිසුන් පවා) අනිවාර්යයෙන් ම බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ව පදනම් පාඨමාලාව කළ යුතු විය.

කෙසේ වුවත් අද මේ විශ්ව විද්‍යාල දෙක අනෙක් විශ්ව විද්‍යාල මෙන් හුදු බටහිර ආකෘතියේ විශ්ව විද්‍යාල බවට පත්ව ඇත. අග්‍ර ගණයේ පිරිවෙන් දෙකක් වූ විද්‍යෝදය සහ විද්‍යාලංකාරය අපට සදහටම අහිමි වූ අතර ඉන් අපේ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායට සිදු වී ඇති පාඩුව මෙතකැයි කිව නොහැක.

 


 

 

 

 

Advertisements

දානිගල හන්තානෙ

ඔහු ගැන ගොඩක් තොරතුරු නොදන්නා නමුත් දන්නා තොරතුරු සියල්ල මෙහි සටහන් කරමි.

අවුරුදු 5 කට පමණ පෙර වෙනත් වැඩකට ගොස් සිටියදී අහඹු ලෙස ලැබුණ තොරතුරක් ඔස්සේ බිබිලේ ප්‍රදේශයේ මහ වනය මැද පිහිටි මොහුගේ කුඩා නිවෙස වෙත ගොස් හෝරා කිහිපයක් ඔහු හා පිළිසඳරේ යෙදීමට අවස්ථාව කොට ගතිමි.

ඔහුගේ නම දානිගල හන්තානෙ. දානිගල වැදි පරපුරෙන් පැවත එන්නෙක් වුණත් ඔහු වැදි සමාජයෙන් මිඳිලා සිංහල සමාජයට අනුගත වුන කෙනෙක්. ඔහුට අංශ ගණනාවක් පිළිබඳ ඉතා ගැඹුරු දැනුමක් තිබුනා:

1.  වනය – ගහකොල සතා සීපාවා පිළිබඳව
2.  සිංහල භාෂාව පිළිබඳව
3.  සෙල්ලිපි සහ ලෙන්චිත්‍ර පිළිබඳව
4.  පැරණි සිංහල වෙදකම පිළිබඳව

නමුත් මේ දැනුම ඔහු ලබා ගෙන ඇත්තේ කෙසේද යන්න පිළිබඳ මට සාධක හමුවුණේ නැහැ. උදාහරණයකට ඔහුට සිංහල වෙදකම ගැන තිබ්බෙ පුදුම දැනුමක්. නමුත් එය පාරම්පරිකව ලබා ගත්ත එකක් නොවෙයි. ඔහුගෙ පරම්පරාවෙ කවුරුත් සිංහල වෙද්දු නෙවෙයි. ඔහු ඒ දැනුම ලබාගත් ක්‍රමය මට ප්‍රහේලිකාවක්.

ඔහු හමුවීමට මහාචාර්ය ගණනාථ ඔබේසේකර ඇතුළු උගතුන් කිහිප පොළක් නිතර එනවා. බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල කථිකාචාරයවරුන්. විශේෂයෙන් ලංකාවට නිතර යන එන නෙදර්ලන්තයේ මහාචාර්යවරයෙක් ලංකාවට ආවොත් නොවැරදීම මහ කැළේ මැද තියෙන ඔහුගේ නිවසට එන බව මට දැනගන්න ලැබුණා.

දානිගල හන්තානෙ ව නිසි අගැයීමකට ළක් වී ඇතැයි මා සිතන්නේ නැහැ. පුවත් පතකවත් ඔහු ගැන වාර්තාවක් පල වී ඇත්දැයි මා දන්නෙ නැහැ. ඔහු හමුවීමට එන උගතුන් පවා ඔහුගේ දැනුම පාවිච්චි කරනවා මිස ඔහුව ඇගැයීමකට ළක් කිරීමට කටයුතු කරනවා යැයි මා සිතන්නේ හැහැ. නමුත් වරක් ඔහුට සූරිය සිංහ පදනමින් ජනාධිපති සම්මානයක් ලැබී තිබුණා. ඔහුගේ කුඩා නිවසේ ඉටි කවරයක ඔතා පැත්තක දමා තිබූ ඒ සම්මානය ඔහු සිනා සෙමින් මට පෙන්වූවා.

අද වියපත් වී සිටින ඔහු ජීවත් වෙන්නේ යම් ආර්ථික දුෂ්කරතා මැද. කෙසේ නමුත් ඔහු ගැන සටහනක් කිරීමට මට මතක් වූයේ මා හොඳින් නිරීක්ෂණය කළ එක් කරුනක් නිසා: එනම් ඔහු නිතරම සිටියේ පුදුම සතුටකින්. ඔහුගේ සතුට ඇතුළෙන් ගලා එන්නා සේ මට දැනුනා. මට ඊට වඩා එය විස්තර කරන්න අපහසුයි.

අවසානයේ මා නික්ම එන විට සිදි වූ දෙයක් මට හොඳට මතකයි. මා පයට පෑගුණ වල් පැලයක් පෙන්වා ඔහු කීවේ එය හෘද රෝග වලට ඉතා හොඳ ඖෂධයක් බවයි.