කළ යුත්තේ කුමක්ද?

[[  මේ ලිපිය මවිසින් ලියන්නට යෙදුනේ මීට වසරකට පෙරාතුවය. මේ ලිපියේ මා දක්වා ඇති කාරණා සම්බන්ධයෙන්,ආපසු හැරී බලන විට, මට අද එකඟ විය නොහැක.

මූලික වශයෙන් මේ ලිපිය මා විසින් ලියන ලද්දේ වැරදි උපකල්පනයක් සහ වැරදි තක්සේරුවක් මුල් කරගෙනය

1.   ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට මම උපකල්පනය කළෙමි. එය වැරදි උපකල්පනයකි

2.  ජාතික හෙළ උරුමය අඩු පාඩු සහිතව වුවත් සත්භාවයෙන් යුතුව ජාතික ව්‍යාපාරයේ නියැළුණු පක්ෂයක් බව මම තක්සේරු කර සිටියෙමි. එයද මගේ වැරදි තක්සේරුවකි. ජාතික හෙළ උරුමය ජාතික ව්‍යාපාරයේ ක්‍රියාකළේ හුදෙක් බලය සහ බලය සඳහාම පමණි.  ]]

මහින්ද රාජපක්ෂ මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ සිටිනා ප්‍රධාන දේශපාලඥයන් කිසිදු කෙනෙක් මතවාදී වශයෙන් ජාතිකවාදීන් නොවේ. නමුත් ඒ එක් එක් පුද්ගලයාගේ චින්තනයන් ක්‍රියා කරන ආකාරය වෙනස් ය. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන වැනි චරිත තුළ යම් කිසි දේශීය විඤ්ඤාණයක් ඇති අතර රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි චරිත තුළ ඇත්තේ විජාතික විඤ්ඤාණයකි. මේවා සකස්වීම ඒ ඒ පුද්ගලයන්ගේ පවුල් පසුබිම, අධ්‍යාපනය, මිත්‍ර ඇසුර ආදිය අනුව සිදු වේ. මේ නිසා මහින්ද රාජපක්ෂ වැනි චරිතයක් ජාතිකවාදී දේශපාලනයකට අනුගත කරගත හැකි වුවත් රනිල් වික්‍රමසිංහ වැනි චරිතයක් එසේ අනුගත කරගත නොහැක.

කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලඥයන් සංවේදී වන්නේ ප්‍රධාන වශයෙන් බලයටය. 2005 මහින්ද රාජපක්ෂ බලයට පැමිණෙන විට ඔහුට දේශපාලන වශයෙන් විශාල ශක්තියක් නොවූ අතර ඔහු වටා සිටි වැඩි පිරිස ජාතිකවාදීන් විය. මේ නිසා මංගල සමරවීර වැනි පිරිස්වලට පයින් ගසා විසි කර ජාතිකවාදීන්ට අභිමත වූ ගමනක් යෑමට ඔහු සමත් විය. මේ නිසා තම ජීවිත ගැන පවා නොසිතමින් (මේ ජීවිත තර්ජනය තවම අවසන් වී නැත.) යුද්ධමය ක්‍රියාමාර්ගයකට එළැඹි අතර බාහිර සාධකද කළමණාකරණය කරගනිමින් එය සාර්ථකව නිමා කළේය.

යුධ ජයග්‍රහණයත් රාජපක්ෂ ආණ්ඩුවට විශාල කීර්තියක් අත් වූ අතර ඔහු වටා විශාල වශයෙන් බලය සංකේන්ද්‍රනය විය. ඉන්පසු රාජපක්ෂ ආණ්ඩුවේ ගමන සාධනීය එකක් ලෙස සැලකිය නොහැක. එය කාරණා කීපයක් ඔස්සේ සලකා බැලිය හැක.

1. මුස්ලිම් අන්තවාදය සහ ව්‍යාප්තවාදය නැග ඒම.

දෙමළ බෙදුම්වාදයට එරෙහිව සාර්ථක සහ සංගත පිළිතුරක් මහාචාර්ය නලින් ද සිල්වා ගොඩ නැගීය.  ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඒ අනුවය. එහෙත් මුස්ලිම් ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් සාර්ථක සහ සංගත පිළිතුරක් අපේ රටේ ජාතිකත්වය තුළ නැත.  කෙසේ වුවත් මුස්ලිම් ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට හැකිව තිබූ ක්වාසි අධිකරණ පිහිටුවීම, හලාල් තහනම ආදී බොහෝ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා කර නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

2. නාස්තිකාර ආර්ථික ප්‍රතිපත්ති.

ආණ්ඩුවේ ආර්ථික වශයෙන් ඉදිරි දැක්මක් නැත. කෙසේ නමුත් අපේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අපේ රටේ ජාතිකත්වය තුළ සංගත පිළිතුරක් නැත. එබැවින් මේ කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුවට මුළුමනින්ම දොස් තැබීමේ තේරුමක් නැත. යළිඳු, ආර්ථික දැක්ම කෙසේ වුවත් විශාල පරිමාණයෙන් ණය ලබාගෙන ඉතා නාස්තිකාර දේ සිදුකෙරෙමින් තිබන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මේවා නතර කළ හැකි දේය.

3. දූෂණය.

දූෂණය ඉතා විශාල අන්දමින් සිදුවන බව පෙනෙන්නට තිබේ. අද අපේ රටේ දූෂණය ඉහළ සිට පහළ දක්වා පැතිර ඇති පිළිලයකි. රට මේ අන්දමින් දූෂණයන්ට යොමුවුනේ 1977 න් පසුවය. රටේ සිදු වූ මහා පරිමාණ දූෂණය මහවැලි යෝජනා ක්‍රමයයි. දේශපාලනය සහ දූෂණය චක්‍රීය ලෙස සම්බන්ධව තිබීමට මේ රටේ මැතිවරණ ක්‍රමයද බලපායි.

4. නීතිය ක්‍රියාත්මක නොවීම.

අපේ රටේ නිතිය පිලිබඳ මහජනයාට ඇති විශ්වාසය නැතිවන සිද්ධි ගණනාවක්ම පසුගිය වකවානුවේ සිදු වී ඇත. මර්වින් සිල්වා සහ නොයෙක් ප්‍රාදේශීය පාදඩ දේශපාලඥයන් විසින් එළිපිටම නීති කඩ කළ අවස්ථාවල කිසිදු ක්‍රියාමාර්ගයක් ඊට එරෙහිව ගනු ලැබුණේ නැත. අපේ රටේ ඇත්තේ බටහිර දේශපාලන ක්‍රමයකි. ජාතික දේශපාලන ක්‍රමයක් සකසා ගන්නා තුරු ඊට අනුව අපට ක්‍රියා කිරීමට සිදු වේ. මේ ක්‍රමයට අනුව අධිකරණය විධායකයට යට නොවී තිබිය යුතුය. නමුත් පසුගිය සමයේ එය පැහැදිලිවම බිඳ වැටුණ අවස්ථා දක්නට ලැබුණි. අධිකරණය මේ තත්වයට පත් කළේ චන්ද්‍රිකා පාලන සමය සහ සරත් එන්. සිල්වා නම් පුද්ගලයාය.

5. දෙමළ බෙදුම්වාදය

ආණ්ඩුව කොටි ත්‍රස්තවාදය තීරණාත්මකව පරාජය කළත් දෙමළ බෙදුම්වාදයේ ගමන නතර වී නැත. දෙමළ බෙදුම්වාදයේ ගමන නතර කිරීමට ආණ්ඩුව ගත හැකිව තිබූ තීරණ රැගෙන නැත. 2/3 බලයක් පාර්ලිමේන්තුවේදී ලබාගෙන ඇති වාතාවරණයක පළාත් සභා අහෝසි කළ යුතුව තිබුණි. නමුත් ආණ්ඩුව උතුරු පළාත් සභාව පිහිටුවීමට ක්‍රියා කිරීමෙන් දෙමළ බෙදුම්වාදයට තල්ලුවක් ලබා දීමට ක්‍රියා කළේ ය.

6. ජාතිකවාදීන් අමතක කර හැරීම

මේ තත්වයට අනුව ජාතිකවාදීන්ට අභිමත දේශපාලන ගමනක් යෑමට ආණ්ඩුව ක්‍රියා නොකරන බව පෙනෙන්නට තිබේ. ඊට අමතරව ආණ්ඩුව 2005 දී ආණ්ඩුව සමඟ සිටි ජාතිකවාදීන්ට කෙනහිලි කම්ද කළේය. ජා.නි.පෙ. මන්ත්‍රීවරුන් බිළිබා ගැනීම, හෙළ උරුමයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සහ පාඨලී චම්පික රණවකව විදුලි බල ඇමති ධූරයෙන් ඉවත් කිරීම ආදිය ඊට නිදසුන්ය.

7. රාජපක්ෂකරණය

රටේ බලය රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතට සංකේන්ද්‍රනය වීම දක්නට ලැබෙන දෙයකි. ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට සම්බන්ධයෙන් එහි වරදක් නොවන්නේ ඔහු සාධනීය යමක් කරන නිසාය. නමුත් එය සැම කෙනෙකු සම්බන්ධයෙන් සත්‍ය නොවේ. රගර් කණ්ඩායමේ නායකත්වයේ සිට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය දක්වා රාජපක්ෂකරණය වීම යහපත් දෙයක් ලෙස නොපෙනේ. රාජපක්ෂ පුත්‍රයන් යනු කවර ආකාරයේවත් ජාතිකත්වයක් නැති නූතනත්වයේ දරුවෝ ය. ඔවුන් සමාන වන්නේ බණ්ඩාරනායක යුවළගේ දරුවන්ටය.

දෙමළ බෙදුම්වාදය බොරු බිල්ලෙක් නොවේ

තත්වයන් එසේ තිබියදී ජාතිකවාදීන් ආණ්ඩුව සමඟ තව දුරටත් සිටීමට හේතුව ආණ්ඩුව බෙදුම්වාදයට එරෙහි වීමත් විපක්ෂය තවදුරටත් බෙදුම්වාදී වීමත් ය. කණගාටුවෙන් වුවත් කිවයුතු කරුණ නම් මෙය තවදුරටත් වලංගු තර්කයක් බවයි. ආණ්ඩුව තුළද බෙදුම්වාදීන් සිටියද ඔවුන්ගේ අභිලාශයන් පූර්ණ වශයෙන් ඉටු නොකිරීමට ආණ්ඩුව වග බලාගෙන ඇත. අනිත් පැත්තෙන් විපක්ෂය තුළ ඉහළ සිට පහළට සිටින්නේ බෙදුම්වාදීන්ය. විපක්ෂයට රටේ බලය ලැබුණහොත් රට නැවතත් බෙදුම්වාදයට ඇද දමනවා නිසැකය.

ඇතැමුන්ට මෙය බොරු බිල්ලෙකි. මෙය බොරු බිල්ලෙක් නොවේ. අද පොදු අපේක්ෂක භූමිකාව පිටුපස සිටින චරිත බොහොමයක් මේ රටේ බෙදුම්වාදය වෙනුවෙන් දර දිය ඇදි පිරිස් ය. එය රනිල්, චන්ද්‍රිකා, මංගල, රාජිත වැනි ඉදිරි පෙළේ දේශපාලඥයන්ගේ සිට දයාන් ජයතිලක, නිර්මාල් රංජිත්, වික්ටර් අයිවන් සහ 94 චන්ද්‍රිකා සමඟ කරළියට ආ විවිධ එන්.ජී.ඕ. ක්‍රියාධරයන් දක්වා දිව යයි. ඔවුන්ගේ අරමුණ රටේ යහපාලනය නොව නැවත රට බෙදුම්වාදයට තල්ලු කිරීමයි. ඇතැමුන් කෙසේ සිතුවත් මේ රට බෙදීම අපහසු කරුණක් නොවේ.

ජාතිකත්වය මතවාදී පෙට්ටියක සිර කර තැබීම

කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකර සියල්ලන්ම විවේචනය කිරීම පහසු මෙන්ම ජනප්‍රිය විය හැකි උපාය මාර්ගයකි. ඇතැම්හු ජාතිකත්වය පදනම් කරගෙන දේශපාලනය කිරීම වරදක් බව පවසමින් ජාතිකත්වය මතවාදී පෙට්ටියක සිර කිරීමට උත්සාහ කරති. නිවැරදි කියමන විය යුත්තේ ජාතිකත්වය දේශපාලනයට පමණක් ඌණනය නොකළ යුතු බවයි. ජාතිකත්වය මතවාදී පෙට්ටියක සිර කර තබන්නට කියන අය වක්‍රව කරන්නේ ප්‍රධාන පක්ෂවල විජාතික දේශපාලනයට සහාය දීමකි.

ජාතිකවාදීන් ආණ්ඩුවට කඩේ යාම

ඒ අනුව, මේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ව්‍යාපෘතිය ජයග්‍රහණය කර රට බෙදුම්වාදයට තල්ලු වීම නවතා ගැනීම ගැන කල්පනා කර ඇතැම් ජාතිකවාදීන් මහින්දට සහාය දීම ගැන මගේ අමනාපයක් නැත. එසේ වුවත්, ආණ්ඩුවට ඕනෑවට වඩා කඩේ යාමෙන් ඇතැම් ජාතිකවාදී නායකයන් ඔවුන්ගේ ගරුත්වය පහළ දමා ගැනීම ගැන මා තුළ ඇත්තේ කණගාටුවකි.

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ ගමන වෙනස් කිරීමට උත්සාහ කිරීම

ජාතිකවාදීන්ට අභිමත ගමනක් මේ ආණ්ඩුව නොයන අතර එය ආණ්ඩුව සමඟ සිටින ජාතිකවාදීන්ට වෙනස් කර ගත හැකි බවක්ද පෙනෙන්නට නැත. ජානිපෙ යෝජනා 12ක් ඉදිරිපත් කර ඇති නමුත් ඒවා සාධනීය අයුරින් ඉටුවන බවක් පෙනෙන්නට නැත. නලින් ද සිල්වා ඇතුළු පිරිසක් කාලයක් තිස්සේ කරගෙන යන ආසනික් අරගලය සම්බන්ධයෙන්ද ආණ්ඩුව යහපත් ක්‍රියාමාර්ග ගෙන නැත.

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ ගමන වෙනස් කළ හැකි යැයි ඇතැම් පිරිස් කල්පනා කළ ද එය සිදු වන්නක් නොවේ. එය සිදු නොවන්නේ ජාතිකවාදීන්ට දේශපාලන වශයෙන් බලයක් නොමැති වීම නිසා ය. තොණ්ඩමන්, හකීම් වැන්නන්ට තමන්ට අවශ්‍ය දේ පවතින ආණ්ඩු තුළින් කරගත හැකිව තිබෙන්නේ ඔවුන් නියෝජනය කරන සුළුවාර්ගික ඡන්ද කුට්ටිය නිසා ඔවුන්ට දේශපාලන වශයෙන් බලයක් ඇති නිසා ය. ජාතිකවාදී දේශපාලන පක්ෂවලට ඔවුන්ටම වෙන්වූ ශක්තිමත් ඡන්ද පදනමක් නැත. ඔවුන්ගේ ඡන්ද පදනම ප්‍රධාන පක්ෂවල ඡන්ද පදනම තුළම පිහිටන එකකි. මේ නිසා සන්ධානයෙන් ඡන්දය ඉල්ලූ විට මේ පක්ෂවල අපේක්ෂකයෝ ජයග්‍රහයණය කරන අතර වෙන්ව ඉල්ලූ විට ඔවුහු පරාජය වෙති.

මේ  නිසා ආණ්ඩුවේ උපකුලකයක් ලෙස හිඳිමින් ආණ්ඩුව වෙනස් කිරීමට උත්සාහ කිරීම කරත්තය මත නැගී කරත්තය තල්ලු කිරීමට දරන උත්සාහය  හා සමානය. කරත්තය තල්ලු කිරීමට නම් කරත්තයෙන් බිමට බැසිය යුතුය.

කළ යුත්තේ කුමක්ද?

මේ අවස්ථාවේ  ජාතිකවාදීන්ට  ගත හැකි හොඳම විකල්පය ලෙස මා දකින්නේ ආණ්ඩුවෙන් ස්වාධීන වීමයි. මීට එරෙහිව නැගෙන ප්‍රධානම චෝදනාව ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් ජාතිකවාදීන්ට දේශපාලන බලය අහිමි වන බවත් ඔවුන් ත්‍රීවිල් පක්ෂ බවට පත්වන බවත් ය. මෙය වැරදි කතාවකි. ජ.වි.පෙ. සිය නායකත්වය මෙන්ම සාමාජිකත්වයද මුළුමනින්ම අහිමි කරගෙන තිබියදී නැවත පක්ෂයක් ලෙස නැගී සිටියේ ය; රටේ තුන්වන බලවේගය බවට පත් විය. ආණ්ඩුව සහ විපක්ෂය දෙකම බෙදුම්වාදී ගමනක යෙදෙන විට ආරම්භ කරන ලද හෙළ උරුමය පාර්ලිමේන්තුවේ ආසන 9ක් ලබා ගැනීමට සමත් විය. මාක්ස්වාදී ජවිපෙට රටේ තුන්වන බලවේගය විය හැකි නම් සිංහල බෞද්ධ ජාතිකත්වය මුල් කරගත් ව්‍යාපාරයකට රටේ තුන්වන බලවේගය විය නොහැකි යයි කීම පදනම් විරහිත තර්කයකි.

එලෙස විකල්ප බලවේගයක් ගොඩ නඟාගෙන ඊට අනන්‍ය වූ  ඡන්ද පදනමක් ගොඩ නඟා ගත හැකි නම් බලයට පත්වන කුමන ආණ්ඩුවකට වුවද තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි අවස්ථාව ඊට හිමි වනු ඇත.විකල්ප ජාතික බලවේගයක මුල්තැන ගනු ඇතැයි මා විශ්වාස කළේ පාඨලී චම්පික රණවක යන චරිතයයි. වර්තමාන දේශපාලන කරළිය තුළ ඊට වඩාත්ම ශක්‍යතාවයක් හිමි චරිතය ඔහුය. කෙසේ වුවත් පක්ෂයක් වශයෙන් හෙළ උරුමය බිම්මට්ටමේ ක්‍රියාකාරිත්වය අතින් දුර්වල පක්ෂකි.

හෙළ උරුමයේ ක්‍රියාමාර්ග

මෙවන් වාතාවරණයක් තුළ හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් විය හැකි කාරණයකි. හෙළ උරුමය ආණ්ඩුව වෙත සත් වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන ලද අතර ආණ්ඩුවෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

කෙසේ වුවත් ඔවුන් පොදු අපේක්ෂක ව්‍යාපෘතියට සහාය දීම අනුමත කළ හැකි දෙයක් නොවේ. පොදු අපේක්ෂක ව්‍යාපෘතියේ දී කරන්නට යන දේ පැහැදිලිව දක්වා නැත. මුලින් කියැවුනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වී පසුව රනිල් වික්‍රමසිංහට බලය පවරන බවකි. එසේ නොමැතිව එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ මෙන්ම ඡන්ද දායකයන්ගේ සහායද ඊට නොලැබෙනු ඇත. වර්තමාන එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ යටතේ ඉතා විශාල වශයෙන් විජාතිකකරණයට ලක් වූ පක්ෂයකි. ඔවුන් සමඟ ජාතිකත්වයට ගමනක් නැත.

එසේ නොමැතිව හෙළ උරුමය බලාපොරොත්තු වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට බලය නොපවරා තමන්ට අවශ්‍ය පරිදි ඔහුත් සමඟ වෙනම ගමනක් යාම නම් එය ඉතා හොඳ දෙයකි. එය එසේ නම් පොදු අපේක්ෂක ව්‍යාපෘතියට සහාය දෙන බෙදුම්වාදී බලවේග ඊට එරෙහිව කිසිවක් නොකර පසු බා යා යැයි විශ්වාස කළ නොහැක. මේ නිසා මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය ලැබුවද ඉන්පසු ඇති වනුයේ අර්බූදකාරි වාතාවරණයකි. හෙළ උරුමය ඇතුළු ජාතිකවාදි බලවේග 2005 දී මහින්දව සමඟ තමන්ට අභිමත මාර්ගයක යාම මීට සමාන කළ හැකි එකක් නොවේ. ඒ වන විට මහින්දට සහාය දුන් පිරිස් අතර මතවාදී වශයෙන් විශාල පරස්පර නොතිබිණි.අනෙක් අතට ඒ උපාය මාර්ගයේ ඵලයක් ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහයණය කළහොත් පමණි. දැනට පවතින වාතාවරණය අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇත. ඒ අනුව හෙළ උරුමයට සිද්ධ වන්නේ විශාල මඩ පැල්ලමක් ගා ගැනීමට සිදු වීම පමණි.

දෙයාකාරයෙන්ම ගත් කළ හෙළ උරුමය ගන්නා ලද තීන්දුව මා දකිනා ආකාරයට වැරදි මෙන්ම ඔවුන්ගේ පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් අමනෝඥ තීන්දුවකි.

බොදු බල සේනාව

බොදු බල සේනාව මා එතරම් මනාපයක් දැක් වූ සංවිධානයක් නොවේ. නමුත් එය මුස්ලිම් ප්‍රශ්නය පිළිබඳ හඬක් නැගූ අතර ඒ වටා අව්‍යාජ හැඟීමෙන් යුත් තරුණ පිරිසක් විය. කෙසේ නමුත් සංවිධානයක් වශයෙන් බොදු බල සේනාවට නිසි නායකත්වයක් නොවීය. එහි ගිහි නායකයා 2012 වන විටත්  කුප්‍රකට එන්.ජී.ඕ. ක්‍රියාධරයෙකි. එවැන්නෙක් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින රැඩිකල් සංවිධානයක් මෙහෙයවන තත්වයට හදිසියේ පරිවර්තනය වීම සැකයට බඳුන් වන කරුණකි.

බොදු බල සේනාව ජනාධිපතිවරණයේදී මහින්දට සහාය දීම එතරම් වරදක් ලෙස නොදකිමි. නමුත් ජනාධිපතිවරණයට පෙර එම සංවිධානය විසින් ආණ්ඩු විරෝධී ජාතිකත්ව රැල්ලක් මතු කිරීම සහ ආණ්ඩුව් විරෝධී එහෙත් ජාතිකවාදී පිරිස් ඒ වෙත ආකර්ෂණය කර ගැනීම සහ අවසන් මොහොතේ ට්‍රැක් හදිසියේ මාරු කිරීම යහපත් ක්‍රියාවක් ලෙස සැලකිය නොහැක.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: