ඔබට පෙනෙන්නේ මට පේන රතු පාටමද?

කුඩා කල සිදු වූ සිද්ධියක් කරා මතකය ඇදේ. මට මතක හැටියට එය ව්ලද්මීර් කරලෙන්කෝ ගේ “අඳ වාදකයා” නම් සාහිත්‍ය කෘතිය විය යුතුය. එය මා ආශාවෙන් කියවූ පොතකි. එහි එක් තැනක අන්ධ වාදකයකුට වර්ණ යනු කුමක්දැයි විස්තර කර දීමට කරනු ලබන ප්‍රයත්නයක් විස්තර කෙරේ. ඒ අවස්ථාව ගැන මම මගේ මාමා කෙනෙකුට විස්තර කළෙමි. එය අසා සිටි මගේ මාමා කීවේ උපතින් අන්ධ කෙනෙකුට වර්ණ යනු කුමක්දැයි කිසිම දිනක වටහා ගත නොහැකි බවයි. එය මගේ සිත ප්‍රහේලිකාවටකට සහ වේදනාවකට ලක් කළේය.

මෙය වඩාත් සංවේදී ලෙස විස්තර කෙරෙන අවස්ථාවක් කේයස් කවියාගේ “සුදෝ සුදු” කෘතියේ වේ. අන්ධ ළමයෙක් තම මව වෙත පැමිණ මෙසේ අසයි:

“…මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොළොක් බව තේරෙනවා මටද
එළියක් කියා මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද

උණුසුම දැනේ දහවල මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා

ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
පාට කියා ඇත්නම් ගතියක් මලෙක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

ලස්සන කියන දේ නැහැයට වත් කනට
මගේ දිවට හරි මගෙ අත පය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට…”

කෙසේ වෙතත්, මගේ මාමා කියූ කතාව ඇත්තය. වර්ණ පිළිබඳ හැඟිම උපතින් අන්ධ කෙනෙකුට කිසිදා ලබා ගත නොහැක. “සුදෝ සුදු” පැදියේ විස්තර වන අයුරින් වර්ණ පිළිබඳ හැඟීමක් අපට ලබා ගන්නට නම් එය කළ යුත්තේ අනෙකුත් ඉන්ද්‍රිය අනුසාරයෙනි. එය කිසි සේත් කළ නොහැක. අනෙක් ඉන්ද්‍රිය සම්බන්ධයෙන්ද එය සත්‍ය වේ. රස පිළිබඳ හැඟීමක් අනෙක් ඇස, කන හෝ අනෙක් ඉන්ද්‍රිය අනුසාරයෙන් ලබා ගත නොහැක.

මේ ඔස්සේ කල්පනා කරන විට තවත් යමක් කල්පනා විය. “මම දකින රතු ඔබ දකින රතුමද?”. කෙනෙකුට එය මෝඩ ප්‍රශ්නයක් ලෙස එකවර සිතිය හැක. නමුත් එය එසේ නොවේ. උදාහරණයක් ලෙස මෙසේ කල්පනා කරමු. (මෙසේ කල්පනා කිරීමම වැරදිය. එය පසුව අවබෝධ වනු ඇත.) ඇතැමෙක් මොළයේ වර්ණ හඳුනා ගැනීමේ ආභාධයක් සහිතව උපදී. ඔහුට රතුපාට පෙනෙන්නේ නිල්පාට ලෙසයි. නිල්පාට පෙනෙන්නේ රතුපාට ලෙසයි. දැන් මේ ළමයා බහ තෝරන වයසට ළඟා වේ. ඔහුට ඔහුගේ මව් නිල්පාට සෙල්ලම් බෝලයක් ලබා දෙයි. දැන් මේ දරුවා එය දකින්නේ රතු පාට බෝලයක් ලෙසයි. දැන් ඔහුගේ මව “මෙන්න පුතේ නිල්පාට බෝලයක්” යනුවෙන් වර්ණ හඳුනා දීමට උත්සාහ කරයි. එවිට දරුවා තමන් දකින රතුපාට බෝලය නම් කරන්නේ නිල්පාට බෝලයක් ලෙසයි. එනම් ඔහු “තමන් දකින රතු පාට” නම් කරන්නේ “නිල් පාට” ලෙසයි. එලෙසම ඔහු “තමන් දකින නිල්පාට” හඳුනා ගන්නේ “රතු පාට” ලෙසයි. ඔහු මියෙන තෙක්ම රතු පාට නිල් පාට කියාත්, නිල් පාට රතු පාට කියාත් සලකනු ඇත. ඔහුට මෙන්ම කාටවත් මෙය කිසිදාක නිවැරදි කළ හැක්කක් නොවේ.

එසේ නම් ඔහු “නිල් පාට” යැයි කියන්නේ අප කියන “නිල් පාට” ට නොවේ; ඔහුගේ “නිල් පාට”, “අපේ නිල් පාට” ට වඩා වෙනස් ය. ඔහුගේ නිල් පාට කුමක්දැයි අපට කිසිදා දැනගත හැකි නොවේ.”අපේ නිල් පාට” කුමක්දැයි ඔහුටද කිසි දා දැන ගත නොහැක. වඩා නිවැරදිව කිවතොත් “අපේ නිල් පාට” යනුවෙන් කිසිවක් නැත. ඇත්තේ “මගේ නිල් පාට” කි. “මගේ නිල් පාට” කුමක්දැයි කිසිවෙකුට කිසි දා දැන ගත නොහැක.  ඔබ රතු දකින්නේ මා රතු දකින අන්දමින්ම යැ‍යි නිශ්චිතව කිව හැක්කේ කෙසේද?  ඔබ රතු දකින්නේ කෙසේ දැයි මා හට විස්තර කළ හැකිද? ඔබ රතු දකින්නේ කෙසේ දැයි දැන ගත හැකි එකම ආකාරය මා ඔබ බවට පත් වීමෙන් පමණි.

මේ පිළිබඳ යළිත් ලිවීමට සිත් වූයේ වර්ණ යනු වාස්තවික දෙයකැයි එක් මෝඩයෙක් කියා තිබෙනු දැකීමෙනි. වර්ණ වාස්තවික නැත. වර්ණ පමණක් නොව ඉන්ද්‍රිය ගෝචර වෙනත් කිසිවක් වාස්තවික නැත. ඒවා සාප්කේෂය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: