හුණුවටයේ කතාව සහ දුරස්ථකරණය

henri-2මෑතක හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ වීඩියෝ පටයක් නරඹත්දී සිත අතීතයට ඇදී ගියේ ය. මා මුල්වරට හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව නැරඹුවේ පාසල් වයසේ දී කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලයේ රඟහලේදී ය. එය නරඹා ගෙදර යමින් සිටින විට බස් රථයේදී හමු වූ වැඩිහිටි ඥාතිවරයෙක් ගියේ කොහිදැයි විමසා අනතුරුව “නාට්‍යය තේරුණාද?” යැයි කට මඳක් ඇඳ කොට උපහාසාත්මක ස්වරූපයකින් ඇසුවේ ය. පාසල් වියේදීම පොත පත කියවා කුරෝලු වූ මනසක් තිබූ මට හුණුවටයේ කතාව පිළිබඳ අවබෝධයක් තිබිණි. පාසල් වියේදීම මම මාක්ස්වාදියෙක් වීමි.

හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව ලෝකප්‍රකට නාට්‍යකරුවෙකු වූ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් ගේ The Caucasian Chalk Circle නාට්‍යයේ අනුවර්තනයකි. බ්‍රෙෂ්ට් ස්වකීය නාට්‍යය නිර්මාණය කෙරුවේ 14 වන සියවසේ ලියැවුණ චීන නාට්‍යයක් අනුසාරයෙනි. කෙසේ වුවත් අප දන්නා පරිදි මේ කතාව ඊටත් පැරණි ය. ඒ උම්මග්ග ජාතකයේ පුත්‍ර ප්‍රශ්නය යනුවෙනි. චීනයට මේ කතාව යන්නට ඇත්තේ බෞද්ධ සාහිත්‍යය සමඟ විය යුතු ය. කෙසේ වෙතත් බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් සිය නාට්‍යය නිර්මාණය කළේ එහි මුල් නාට්‍යයට වඩා වෙනස් අර්ථයක් සම්පාදනය කිරීමටයි. මාක්ස්වාදියෙක් වූ බ්‍රෙෂ්ට්ට වුවමනා වූයේ ඉඩම් හිමි අයිතිය, ශ්‍රමය වැය කරන්නන්ට අයිති විය යුතු බව යන මාක්ස්වාදි සංකල්පය, දරු අයිතිය ලේ මව්ට වඩා හැදූ මව්ට අයිති විය යුතුය යන කතාව ඔස්සේ මතු කිරීමටයි. අර මගේ වැඩිහිටි ඥාතියා සෝපහාසයෙන් මගෙන් ප්‍රශ්න කළේ මේ යටි අරුත එවකට පාසල් යන වයසේ සිටි පොඩි කොල්ලෙක් වන මා තේරුම් නොගත්තා යැයි සිතා බව මට එවිටම තේරුම් ගියේ ය. 

හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව අපේ රටේ අතිශය ජනප්‍රිය නාට්‍යයකි. අපේ රටේ ජනප්‍රියම නාට්‍ය කීපයෙන් එකක් යැයි කීවොත් වඩා නිවැරදිය. මා නිවැරදි නම් ඒ නාට්‍යය එදා පටන් මේ දක්වා සක්‍රීයව ප්‍රදර්ශනය වේ. කෙසේ නමුත් නාට්‍යය රස විඳින්නන් කී දෙනෙක් බ්‍රෙෂ්ට් ට වුවමනා වූ අර්ථය පිළිබඳව දැනුවත්ද? දන්නා පිරිසගෙන් වුවද නාට්‍යය රස විඳීමේදී ඒ අර්ථය සමඟ බද්ධ කරගෙන නාට්‍ය රස විඳිත්ද? නාට්‍යය අවසානයේ ගැයෙන “ගොවි දන මනා වූ…දිනිය යුතු වූ සේම ගම් බිම්” යන ප්‍රකට දෙපදය නොවන්නට හෙන් රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව තුළින් ඇත්තටම අවශ්‍ය අර්ථය මතු වේද? මා වුවද එදා ඒ පිළිබඳව දැන සිටියේ ඊට අදාළ විචාර පොතපත කියවා තිබූ නිසා ය.

imagesබ්‍රෙෂ්ට් සිය නාට්‍යය සඳහා භාවිතා කළේ “දුරස්ථකරණය” (Distancing Effect) නම් වූ රංග රීතියයි. ඊට අනුව ප්‍රේක්ෂකයා නාට්‍යයේ චරිත සමඟ භාවාත්මකව බද්ධ නොවී දුරස්ථව නාට්‍යය දෙස බැලිය හැකි වන පරිදි නාට්‍යය නිෂ්පාදනය වේ. හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව තුළ දුරස්ථකරණය නොති බූ බව පසු කාලීන තරුණ නාට්‍යකරුවෝ චෝදනා එල්ල කළහ. ඇතැමෙක් හුණුවටයේ කතාව වෙනම නිෂ්පාදනයක් ද කිරීමට පෙළඹුණහ. නාට්‍යය ගැන ගැඹුරෙන් ශාස්ත්‍රියව හදාරා නැති වුනත් මේ කතාව මට තේරෙන විදියට සත්‍යයකි. හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාවේ චරිත සමඟ අපට භාවාත්මකව බැඳීම වැළැක්විය නොහැක. මා හිතන විදියට දුරස්ථකරණ රංග රීතිය හොඳින්ම උපයෝගී කරගන්නා නාට්‍ය ශිල්පියෙකි, අශෝක හඳගම. ඔහුගේ නිර්මාණවල නම් ඔය කියන දුරස්ථකරණය, මට තේරෙන ආකාරයට, ඇත. යමෙකුට හඳගමගේ නිර්මාණ සමඟ සසඳා බලා යම් අදහසක් ගත හැක. මේ හේතුව නිසා මම තරුණ වියේදී ම හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව අවඥාවෙන් බැහැර කළෙමි. ඊට මගේ මාක්ස්වාදී ස්ථාවරය මෙන්ම රැඩිකල් වීමේ උණද යම් අයුරකින් බලපාන්නට ඇත.

කෙසේ වෙතත් අද මට තේරුම් යන ආකාරයට දුරස්ථකරණය යනු වෙන කිසිවක් නොව නාට්‍යය දෙස වියුක්තව බැලීමයි. එකී රංග රීතිය පහසුකම් සලසන්නේ ප්‍රේක්ෂයාට නාට්‍යය දෙස වියුක්තව බැලීමටය. බ්‍රෙෂ්ට් ගේ නාට්‍යයේ ඔහුට වුවමනා වූ මාක්ස්වාදී සංකල්පාර්ථ නාට්‍යය දෙස වියුක්තව බැලීමේදී මතු වනවා විය හැක. වියුක්ත චින්නතනයක් ඇති බටහිර සමාජයේ එය වඩාත් පහසුය. නමුත් අපේ රටේ මිනිස්සුන්ට ඇත්තේ සංයුක්ත චින්තනයකි. අප හැමදෙයක්ම බලන්නේ සංයුක්තවය. අපේ මිනිස්සු හෙන්රි ජයසේනයන්ගේ හුණුවටය රස විඳින්නේත් සංයුක්තව ය. අපි ගෲෂා සමඟ නාට්‍යයේ මුල සිටම මනසෙන් බැඳෙමු. ඇය අපේම මවකි, දියණියකි, සොහොයුරියකි, බිරිඳකි. “ඇය සෙබළුන් හට හසු වේද? ඇයට වැල් පාලමේදී අනතුරක් වේද? අවසන ඇයට දරුවා හිමි වේද?” නාට්‍යය ගලා යත්දී අපේ සිත කම්පනය වේ. අපි නාට්‍යය බලන්නේ  ගෲෂා ගේ කෝණයෙනි. ගෲෂාගේ සතුරන් අපේ සතුරන්ය. ඇගේ මිතුරන් අපේ මිතුරන් ය. එමෙන්ම අසඩක් අපට වීරයෙකි. පුංචි මයිකල් කුමාරයා දැක්කම අපට මතක් වන්නේ අපේ දරුවන් ය.

මෙලෙස නාට්‍යයේ චරිත සංයුක්තව ගැනීමෙන් නාට්‍යය යටින් වන වියුක්ත ඉඩම් හිමි  අයිතිය පිළිබඳ කතාව මතු නොවේ. අප හුණුවටයේ කතාවෙන් රස විඳින්නේ දරු අයිතිය සහ මවු සෙනෙහස පිළිබඳ කතාවක් මිස වෙන කිසිවක් නොවේ. හෙන්රි ජයසේන යන්ගේ නාට්‍යය අපේ රටේ මේ තරම් ජනප්‍රිය වීමට හේතුවද එයම වෙයි. හෙන්රි ජයසේනට බැනලා “නියම දුරස්ථකරණය” භාවිතා කර තරුණ පඬි නාට්‍යකරුවන් නිෂ්පාදනය කළ හුණුවටයේ කතාව දර්ශනවාර දහයක්වත් පෙන්වා ගත හැකි වූයේ දැයි මම නොදනිමි. 

mqdefault

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: