77 දරුවන්ගේ අදහස් සහ ආකල්ප

77 දරුවන් ගේ සමාජ සංවේදීතාව මොට වී ඇත. ඔවුන් වැඩි දෙනෙක් රටේ ප්‍රශ්න ගැන අවධානය ඉතා අඩුවෙන් යොමුකරන, තමන්ගේ පුද්ගලික සුඛ විහරණය ගැන දැඩි අවධානයක් යොමු කරන, තමන්ගේ පුද්ගලික සහ වෘත්තිය ජීවිතය සාර්ථකත්වය වෙනුවෙන් දැඩිව වෙහෙසෙන, උන්නතිකාමීන් පිරිසකි. බටහිර නූතනත්වයට ගොදුරු වීම නිසා සාමූහිකත්වය පළා ගොස් පුද්ගලයා ඉස්මතු වීම ඊට හේතු වී තිබේ. මුළුමනින්ම සමාජය වෙනුවෙන්ම කැපවූ, සමාජ අභිමතාර්ථ පමණක් සහිත මිනිසුන් සහිත සමාජයන් මේ ලෝකයේ තිබී නැත. සෑම පුහුදුන් පුද්ගලයකු තුළම යම් යම් පුද්ගල අභිමතාර්ථ පවතී. එහෙත් මේ තරම් තම පුද්ගලත්වය වෙනුවෙන්ම කැපවූ සමාජයන් පැරණි ලෝකයේ තිබී නැත.

තරඟකාරී ජීවන රටාව  හේතුවෙන් විවේකය මඳකම වැනි හේතු නිසා, 77 දරුවන්ගෙන් ඉතා වැඩි පිරිස අවශේෂ සමාජ ප්‍රශ්න ගැන උනන්දුවක් දක්වන්නේ ඉතා අඩුවෙනි. තමන්ට පුද්ගලික ආර්ථිකමය හෝ සමාජමය ලාභයක් නොමැති දේ ගැන උනන්දුවක් දක්වන්නන් ඔවුන් දකින්නේ පිස්සන් පිරිසක් මෙනි. එහෙත් යම් යම් හේතූන් නිසා සමාජ දේශපාලන කරුණු ගැන උනන්දුවක් දක්වන 77 දරුවන් පිරිසක් ද වෙති. සමාජ දේශපාලන ප්‍රශ්න ගැන ඔවුන්ගේ ආකල්ප සහ මතවාදයන් අතර යම් යම් සමානතාවයන් තිබේ. මේ ලිපිය වෙන්වන්නේ ඔවුන්ගේ ආකල්ප සහ මතවාද වල ඇති පොදු ගුණයන් වෙන්කොට 77 දරුවෙකු හඳුනා ගත හැකි ලක්ෂණ සමුදායක් තනා ගැනීමයි. 77 දරුවන් කළින්ද කී පරිදි බටහිර නූතනත්වය වැළඳගත් ඉන් ආශ්වාදය ලත් පිරිසකි. එබැවින් පුද්ගල නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම ඔවුන් විවිධ දේ ගැන දක්වන අදහස් බොහොමයක පදනම නැතිනම් හරය යි.

වසර දෙක තුනක් සයිබර් සංවාද වලට සහභාගී වීම නිසා මා අවබෝධ කරගත් 77 දරුන්වගේ සමාජ මතවාද සහ ආකල්ප මෙසේ දිග හරිමි:

1. 77 දරුවෝ පොදු වශයෙන් අපේ නිෂ්පාදන(Products), අපේ ක්‍රමවේදයන් (Systems), අපේ සංස්කෘතිකාංග (Cultural Elements)  ප්‍රතික්ෂේප කරති. ඒවා බාල යැයි සලකති. ඒවා යල් පැන ගිය දේ ලෙස සලකති. ඒවාට සමච්චල් කරති. බටහිර දේ උසස් යැයි සලකති. යමෙක ප්‍රමිතිය මැනීමේ මිනුම් දණ්ඩ ලෙස සලකන්නේ ඊට අනුරූප බටහිර දේට එය කොතරම් සමාන වේද යන්නයි.

2. 77 දරුවෝ ‘සිංහල ජාතිය’ යන සංකල්පය ප්‍රතික්ෂේප කරති. තමන්ගේ ජාතිය කුමක්දැයි විමසූ විට බොහෝ දෙනෙක් ආඩම්බරයෙන් දෙන පිළිතුර ‘මනුෂ්‍ය ජාතිය’ යන්නයි.

3. 77 දරුවෝ ඇතැමෙක් නිරාගමිකයෝ වෙති. අනෙක් ඇතැමෙක් බෞද්ධ වේ නම් වියුක්ත බෞද්ධයෝ වෙති. සංස්කෘතික බුද්ධාගම ප්‍රතික්ෂේප කරන  ඔවුහු බුදුදහම හුදු දර්ශනයක් ලෙස සලකති.

4. 77 දරුවෝ පුද්ගලයන්ගේ පූර්ණ ලිංගික නිදහස වෙනුවෙන් පෙනී සිටිති. අවිවාහක අයත්, විවාහක යුවළක් විවාහයෙන් පිටත්, ගණිකාවන් සමඟත් ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ වරදක් නැත. ඔවුහු අපේ රටේ වර්තමාන ලිංගික සදාචාරය මුලුමනින්ම වික්ටෝරියානු එකක් බව සිතති. සුද්දන් පැමිණීමට පෙර අපේ රටේ පැවත ඇත්තේ වර්තමානයේ ඇතැම් බටහිර රටවල පවතින ලිංගික නිදහස බව ඔවුන්ගේ තර්කයයි.

5. එමෙන්ම 77 දරුවෝ දික්කසාදය හොඳ දෙයක් ලෙස සලකති. දෙදෙනාගේ කැමැත්ත ඇත්නම් දික්කසාදය විවාහ යුවලකගේ පරම අයිතිවාසිකමකි. දරුවන් වෙනුවෙන් යැයි සලකා විවාහ යුවළක් එකට සිටීම මෝඩකමක් ලෙස ඔවුහු සලකති.

 6. අපේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුය යන්න 77 දරුවන්ගේ මතය වේ. අපේ රටේ කාම අපරාධ වැඩි වීමටත්, ලිංගික අසහනය වැඩි වීමටත් හේතුව ගණිකා වෘත්තිය නීතිගත වී නොතිබීම ලෙස දකිති.

7. 77 දරුවෝ සමලිංගික නිදහස වෙනුවෙන් පෙනී සිටිති. සමලිංගිකයන්ට ලංකාවේ විවාහ අයිතිය තිබිය යුතුයැයි හඬ නඟති. ලංකාවේ නාගරිකව මෙන්ම ගම්බදවද සමලිංගිකයන් ඉන්නා බව නොරහසකි. නමුත් ඔවුන්ට විවාහ වීමේ ප්‍රබල වුවමනාවක් ඇතැයි පෙනෙන්නට නැත. ලංකාවේ සමලිංගිකයන්ට විවාහ අයිතිය දිය යුතුයැ‍යි හඬ නඟන්නේ සමලිංගිකයන් නොව 77 දරුවන්ය.

8.බටහිර ජාතීන් ගේ යටත්විජිතකරණයට ළක් වීමෙන් අප රටට අනර්ථයකට වඩා අර්ථයක් සිදු වූ බව 77 දරුවෝ සලකති. ඔවුහු ඉංගිරිසින් විසින් ගෙන යන ලද පාලනය පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කතා කරති.

9. ගැමුණු, විජයබා, පැරකුම්බා වැනි පැරණි සිංහල රජවරු මෙන්ම කැප්පෙටිපොළ වැනි බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් වැදුනු සිංහල නායකයන් 77 දරුවන්ගේ තැකීමකට ලක් නොවේ. ඔවුන් සියලු දෙනා 77 දරුවන්ගේ විග්‍රහයට අනුව ඒකාධිපතීන් සහ රදළ වැඩවසම් පාලකයන්ය.

10. සියලු දේවල් බටහිර විද්‍යාත්මකව විග්‍රහ කිරීම 77 දරුවන්ගේ ලක්ෂණයකි. බටහිර විද්‍යා දැනුම් පද්ධතියෙන් පරිබාහිර දේ හෝ බටහිර විද්‍යාවට විග්‍රහ කළ නොහැකි දේ මිථ්‍යා දෘෂ්ටින් ලෙස ලේබලයක් අලවා බැහැර කිරීම ඔවුන්ගේ සිරිතයි. බටහිර දැනුම් ආධිපත්‍යයට එරෙහිව අපේ දැනුමක් ගැන කතා කරන නලින් ද සිල්වා ඔවුන්ට පිස්සෙකි.

11.  77 දරුවෝ ආගමික ශාස්තෘන්ට/සංකේතවලට අපහාස කිරීම (බ්ලාස්පෙමිය ) වරදක් ලෙස නොදකිති. ඊට එරෙහි නීති අණ පනත් ගෙන ඒමට විරුද්ධ වෙති. 

12. 77 දරුවෝ ජාතික කොඩිය, ජාතික ගීය වැනි දේ පිළිබඳ එතරම් තැකීමක් නොකරති. ජාතික කොඩියේ ඇති සිංහ ළකුණ ඔවුන්ගේ ප්‍රහාරයට ළක්වන දෙයකි. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ඔවුහු විරුද්ධතාවක් නොදක්වති.

13. 77 දරුවෝ අපේ රටේ සදාචාර හර පද්ධතියට අයත් දේ ප්‍රතික්ෂේප කරති. දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ට ගරු කිරීම සහ වැඳීම වැනි දේ යල් පැන ගිය, වැඩවසම් සමාජ ලක්ෂණ ලෙස සලකති.

14. 77 දරුවෝ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉහළින් සලකන අතර රුසියාව සහ චීනය ප්‍රමුඛ පැරණි සමාජවාදී රටවල් මෙන්ම මුස්ලිම් රටවල්ද පහත් ලෙස සලකති. අපේ විදේශ ප්‍රතිපත්තිය ඇමෙරිකන් සහ බටහිර හිතවත් එකක් විය යුතු බව සලකති.

15. 77 දරුවෝ සියලු දෙනා පාහේ ආණ්ඩු විරෝධීන් ය.* ඔවුහු මහින්ද රාජපක්ෂට විරෝධීන් වන අතර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටිති. ජාතික හෙළ උරුමය ඔවුන්ගේ වඩාත්ම ප්‍රහාරයට ලක්වන පක්ෂයයි. 77 දරුවන්ගේ ප්‍රශංසාවට වඩාත්ම පාත්‍රවන චරිතය රනිල් වික්‍රමසිංහයි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චම්පික රණවක, විමල් වීරවංශ සහ මේ දවස්වල උදය ගම්මන්පිල ඔවුන්ගේ ප්‍රබල ප්‍රහාරයට ලක්වන දේශපාලන චරිතයි.

16. මහින්ද ආණ්ඩුවට එරෙහි සියලුම ආකාරයේ දේශපාලන චරිත 77 දරුවන්ගේ කාලයෙන් කාලයට වීරයන් බවට පත් වේ. සරත් ෆොන්සේකා, සරත් එන්. සිල්වා, නිර්මාල් රංජිත් දේවසිරි, ශිරානි බණ්ඩාරනායක, අනුර කුමාර දිසානායක ගේ පටන් වනාතමුල්ලේ සුනිල් දක්වා දිග ලයිස්තුවක් ඇත.

17. ලංකාවේ බෞද්ධ හෝ ජාතික ව්‍යාපාරවලට 77 දරුවෝ පූර්ණ විරෝධය පළ කරති. ඒ  සංවිධාන ජාතිවාදී, ගෝත්‍රවාදී සංවිධාන ලෙස සලකති. ඔවුහු සිංහල රාවය සහ බොදුබලසේනා වැනි සංවිධාන වලට සහ ඒවායේ විවිධ ක්‍රියාකාරකම් වලට එරෙහි වෙති.

18. බෞද්ධ භික්ෂූන් විවිධ උද්ඝෝෂණ, පෙළපාලි, දේශපාලන ක්‍රියාකාරකම් වල නියැලීමට 77 දරුවෝ එරෙහිය. දුසිල්වත් භික්ෂූන් වහන්සේලා මෙන්ම ජාතිකවාදී දේශපාලන අදහස් දක්වන භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ  ප්‍රබල ප්‍රහාරයට බඳුන් වේ.

19. අපේ රටේ මුසල්මානුවන්ට එරෙහිව සිදු කරන නොයෙක් අපහාසයන් සහ බැණ අඬ ගැසීම්වලට  77 දරුවෝ පොදුවේ  විරුද්ධය. ආගමික සහජීවනය වෙනුවෙන් ඔවුහු පෙනී සිටිති. එමෙන්ම අනෙක් පසින් ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වන මුස්ලිම් ව්‍යාප්තවාදයටද ඔවුහු එරෙහිය.

20. 77 දරුවෝ සත්ව අවිහිංසාවාදීහු වෙති. බෞද්ධ පෙරහරවල අලි ඇතුන් යෙදවීම සත්ව හිංසනයක් ලෙස සලකා ඊට එරෙහිව හඬ නඟති. එහෙත් මස් පිණිස විශාල වශයෙන් සතුන් ඇති කිරීම වැනි දෑ ඔවුන්ගේ “සත්ව හිංසනය” නම් මාතෘකාවට විෂය නොවේ. මස් අනුභවයට ඇති අයිතිය වෙනුවෙන් ඔවුහු පෙනී සිටිති.

21. අපේ රටේ දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති වූ විශේෂ ප්‍රශ්න ඇති බව 77 දරුවෝ  සලකති. උතුරේ දෙමළ ඊළාම් අරගලයට සිංහල දේශපාලඥයන්ගේ ක්‍රියාකාරකම් වැඩි වශයෙන් වග කිව යුතු බව ඔවුන්ගේ මතයයි. බලය බෙදීම වැනි දේශපාලන විසඳුම් උතුරේ දෙමළ ජනයා වෙත ලබා දිය යුතුය යන්න ඔවුන්ගේ අදහස වේ.

22. 77 දරුවෝ අපේ රටේ ඉතිහාසය පිළිබඳව විශේෂ සැලකිල්ලක් නොදක්වති. රටේ අනාගතය මිසක් ඉතිහාසයෙක් ඵලක් නොවන බව ඔවුන්ගේ මතයයි. ඔවුහු මහාවංශය සම්ප්‍රචාරක කෘතියක් බවත් ඉතිහාස ග්‍රන්ථයක් නොවන බවත් පවසා එය ප්‍රතික්ෂේප කරති. එමෙන්ම රාවණාවාදයද ඔවුහු සමච්චලයෙන් බැහැර කරති.

23. 77 දරුවෝ ඔවුහු පොදුවශයෙන් බටහිර සංගීතය සහ වෙනත් කලා මාධ්‍ය ප්‍රිය කරන්නෝ වෙති. ඔවුහු ප්‍රසාංගික කලාව ප්‍රිය කරති. පැරණි ගීත රීමික්ස් කිරීම වැනි දේට එකඟය.භාතිය සන්තුශ්, කසුන් කල්හාර, සෙන්ටිග්‍රේඩ් සහ ඉරාජ් වැන්නන් ඔවුන්ගේ ප්‍රියතම සංගීත ශිල්පීන් වේ.

 

 

UnitedVRise_news_1376236562877
——————————————————————

*  77 දරුවන් සියලු දෙනා පාහේ ආණ්ඩු විරෝධීන්ය. නමුත් සියලුම ආණ්ඩු විරෝධීන් 77 දරුවන් නොවන බව විශේෂයෙන් කිවයුත්තේ සමහරුන් පටලවා ගැනීමට ඉඩ ඇති බැවිනි. ආණ්ඩු විරෝධී, එහෙත් 77 දරුවන් නොවන විශාල පිරිසක් සිටිති. ඔවුහු 2005 දරුවන්ට අයත් වෙති. (2005 දරුවන් ගැන මිළඟ ලිපියෙන් ලියන්නට බලාපොරොත්තු වෙමි.) ඔවුන්ගේ ආණ්ඩු විරෝධය සහ 77 දරුවන්ගේ ආණ්ඩු විරෝධය අතර පැහැදිලි වෙනස්කම් ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s