පාට කුරුල්ලෝ සහ අසත්‍යකරණය

යුදෙව් වාර්ගික දාර්ශනිකයකු වූ කාල් පොපර් විසින් අසත්‍යකරණය (Falsification) යනුවෙන් හැඳින්වෙන මතවාදයක් ඉදිරිපත් කරන ලද්දේ බටහිර විද්‍යාව අනෙකුත් දැනුම් පද්ධතිවලින් විශේෂ කර දැක්වීමටය. ඊට අනුව බටහිර විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලබන න්‍යායන්/ප්‍රවාදයන් අසත්‍යකරණය කළ හැක. ප්‍රසිද්ධම උදාහරණය අයිසැක් නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලද ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරන ලද සාධාරණ සාපේක්ෂතාවාදයෙන් අසත්‍යකරණයට ලක් වීමයි.

අද පොපර්ගේ අසත්‍යකරණ ප්‍රවාදය මුවාවෙන් ඇතැම්හු බටහිර විද්‍යාව විද්‍යාත්මක න්‍යායන් එකින් එක අසත්‍යකරණය කෙරෙමින් ක්‍රමයෙන් “සත්‍යය” කරා ළඟා වෙමින් පවතින බව පෙන්වීමට උත්සාහ කරති. නමුත් අසත්‍යකරණය තුළින් සත්‍යය කරා ළඟා විය හැකිද? බටහිර විද්‍යාවේ සිදු කරනවා යැයි පැවසෙන්නේ ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධීන් / නිරීක්ෂණ සමඟ සංගත වන ප්‍රවාද තැනීමයි. වියුක්ත කතන්දර හැදීම යන කාරණය මඳකට අමතක කළොත් ඉතාම අමුවෙන් මේ කතාව උපමාවක් මෙලෙස දැක්විය හැක:

යම් කිසි ගමක කුරුල්ලන් පස් වෙයි. උන් පස්දෙනාම කහ පාටය. එය නිරීක්ෂණයකි. යමෙකුට “සියලු කුරුල්ලන් කහපාට වේ” යනුවෙන් නියමයක් ඉදිරිපත් කළ හැක. එය නිරීක්ෂණය සමඟ සංගත වේ; එබැවින් ඒ නියමය සත්‍ය වේ. නමුත් යමක් සත්‍ය වන්නේ නිරීක්ෂණය කරන ප්‍රමාණය අනුවය. අල්ලපු ගමට යන මිනිසෙක් ඒ ගමේ රතු පාට කුරුල්ලන් 20 දෙනෙකු දකී. ඒ නිරීක්ෂණයත් සමඟ “සියලු කුරුල්ලන් කහපාට වේ” යන න්‍යාය අසත්‍යකරණයට ලක් වේ. ඔහු ඒ වෙනුවට “කුරුල්ලන් කහපාට හෝ රතු පාට වේ” යනුවෙන් අලුත් නියමයක් තනයි. එය නිරීක්ෂණ සමඟ සංගතය; එබැවින් ඒ නියමය සත්‍ය වේ. දැන් ඊටත් අල්ලපු ගමට යන තවත් මිනිසෙක් එහි සිදු පාට කුරුල්ලන් 50 දෙනෙකු දකී. ඒ නිරීක්ෂණය අනුව “කුරුල්ලන් කහපාට හෝ රතු පාට වේ” යන නියමය අසත්‍යකරණය වන අතර “සියලු කුරුල්ලන් කහ, රතු හෝ සුදු පාට වේ” යනුවෙන් තුන්වන නියමයක් ඉදිරිපත් වීමට මඟ පාදයි.

දැන් ඇතැමුන් උත්සාහ කරන්නේ මේ තුළින් සත්‍යය කරා ළඟා විය හැකි බව පෙන්වීමටය. ඇත්තටම ඒ දෙස බලන්නෙකුට “සත්‍යය කරා ගමන් ගැනීමක්” පෙනී යා හැක. ඉහත මුල් නියම දෙකෙන් වඩා සංගත කුමක්ද? “සියලු කුරුල්ලන් කහපාට වේ”; “කුරුල්ලන් කහපාට හෝ රතු පාට වේ”. ගම් තුනේදී නිරීක්ෂණය කරන ලද කුරුල්ලන් ප්‍රමාණය 75 කි. ඉන් 5 දෙනෙකු කහපාට වන අතර 20 දෙනෙකු රතුපාටය. එසේ නම් පළමු නියමයට වඩා දෙවන නියමය “වඩා සංගත” ලෙස කෙනෙකුට හැඟී යා හැක. එලෙස නියමයන් ක්‍රමයෙන් “වඩා සංගත” වීම සත්‍යයක් කරා ගමන් ගන්නාක් මෙන් අපට හැඟී යාහැක. නමුත් පළමු නියමයට වඩා දෙවන නියමය “වඩා සංගත” බව අපට පෙනී යන්නේ අප සිටින්නේ කුරුල්ලන් 75ක් පමණක් නිරීක්ෂණය කළ ලෝකයක සිටීම නිසාය.

මෙකී ගම් තුනට ඔබ්බෙන් වන හතර වන, තරමක් විශාල ගමකට යන මිනිසෙක් එහි කහපාට කුරුල්ලන් 1000 දකී. ඉන් තුන්වන නියමය අසත්‍යකරණය නොවේ. එහෙත් දැන් මුල් නියම දෙකෙන් “වඩා සංගත” නියමය වන්නේ පළමු නියමය බව වැටහේ. වෙනත් විදියකින් කිවතොත් පළමු නියමය,  දෙවන නියමය හරහා ගමන් ගෙන ඇත්තේ සත්‍යය කරා නොව ඉන් එපිටටය. තවත් ගමකදී කොළ පාට කුරුල්ලන් 1,000,000 පමණ හමුවේ නම් ඉහත නියම තුනම අසත්‍යකරණය වන අතර ඒවා තුළින් කවර ආකාරයේවත් සත්‍යයක් කරා හෝ ඉන් එපිටට ගමන් කර නැති බව පෙනී යනු ඇත.

මෙලෙස පොපර්ගේ අසත්‍යකරණය තුළින් “සත්‍යයක්” කරා ගමන් ගත හැකි යැයි කිව නොහැක. ඉන් කිව හැකි එකම දේ ලෝකය නිරීක්ෂණය කර ඇති ප්‍රමාණයට සංගත වන “සත්‍යයක්” නිර්මාණය කර ගත හැකි බව පමණි. සත්‍යය කරා ක්‍රම ක්‍රමයෙන් ළඟා වීම යන්න බටහිර දැනුම් පද්ධතියට එකතු වී ඇත්තේ යුදෙව් චින්තනය තුළ ඇති පොරොන්දු දේශයක් කරා ගමන් ගැනීම යන සංකල්පය තුළින් නිස අනෙකකින් නොවේ.

නමුත් බටහිර විද්‍යාවේ ගමන් මඟ ඉහත කී ආකාරයට සුමට ද නැත. ඇතැම් විට සුදු පාට කුරුල්ලන් දහසක් සහ එක් නිල් පාට කුරුල්ලෙක් හමු වූ තැන නිල්පාට කුරුල්ලා අමතක කර “සියලු කුරුල්ලන් සුදුපාට වේ” යනුවෙන් නියමයන් තැනෙන අවස්ථාද ඇත. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය පිළිගැනෙනු ලැබුවේ බුධ ග්‍රහයාගේ චලිතය අමතක කෙරෙමිනි.

මේ අතර හේතුවාදීන් නමින් හැඳින්වෙන මුග්ධයන් පිරිසක් ද වේ. මේ හේතුවාදීන් කරන්නේ කුමක්ද? යම් ගමෙක සුදු පාට කුරුල්ලන් 100 දෙනෙකු සිටී. ඒ නිසා “සියලු කුරුල්ලන් සුදු පාට වේ” යනුවෙන් නිරීක්ෂණයන් සමඟ සංගත වන නියමයක් සත්‍ය ලෙස පිළිගැනෙනු ලැබේ. එය ඒ ගමේ අධිපති මතවාදයයි. දැන් හදිසියේ යමකු තමන් රෝස පාට කුරුල්ලකු දුටු බව ප්‍රකාශ කරයි. දැන් කළ යුතුව ඇත්තේ එකී නිරීක්ෂණයට සංගත වන අයුරින් කළින් පැවති නියමය ඉවත ලා වෙනත් නියමයක් තනා ගැනීමයි. නමුත් හේතුවාදීන් නැමති මුග්ධයන් කරන්නේ අර නියමය තුළ පිහිටා සිට කෙසේ හෝ රෝස පාට කුරුල්ලකු දුටු බව කියැවෙන නිරීක්ෂණය බොරු බව පෙන්වීමට උත්සාහ කිරීමයි. ඒ රෝස පාට කුරුල්ලා දුටු බව කියන තැනැත්තා දැක ඇත්තේ මනෝ භ්‍රාන්තියක් බව පෙන්වීමට ඔවුහු තම අධිපති මතවාදය තුළින් නිගමන ගෙන එති.

තවද, සුදු පාට කුරුල්ලන් 100 දෙනෙකු සිටින තන එක් රෝස පාට කුරුල්ලෙක් නිසා “කුරුල්ලන් සුදු පාට හෝ රෝස පාට වේ” යැයි කීම කැතය. ඒ නිසා බටහිර ලෝකයේදී මෙවන් අවස්ථාවලදී “කුරුල්ලන් සුදු පාට වේ” යන නියමය පවත්වා ගෙන රෝස පාට කුරුල්ලන් දැකීමේ නිරීක්ෂණය පැරනෝමල් සංසිද්ධියක් (Paranormal Acitivity) ලෙස දක්වා වෙන් කර තබති.

download (2)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s