ගුරුත්වාකර්ෂණ බලය දැනෙන්නේ කුමන ඉන්ද්‍රියටද?

මෑතකදී සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් ලෙස “ගුරුත්වාකර්ෂණ බලය දැනෙන්නේ කුමන ඉන්ද්‍රියටද?” යන ප්‍රශ්නය අයෙක් මූණුපොතේ අසා තිබුණි. ඊට නොයෙක් දෙනා නොයෙක් පිළිතුරු දී තිබුණු අතර වැඩි දෙනෙක් කණේ ඇති යම් ඉන්ද්‍රියක් නම් කර තිබුණි. නැති යමක් දැනෙන්නේ කෙසේද? ගුරුත්වාකර්ෂණ බලය කියා දෙයක් නැත. මේ බව අපේ රටේ කී දෙනෙක් දන්නේ දැයි නොදනිමි. විද්‍යාව උගත් අය පවා එය නොදනිති.

කලකට පෙර මා සමඟ එකට වැඩ කළ ඉතාම ප්‍රවීන සිවිල් ඉංජිනේරුවරයකුගෙන් මේ ප්‍රශ්නය ඇසීමි. ඔහු මට දුන් පිළිතුර සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නය අසන හැමෝටම ලැබෙන සුපුරුදු පිළිතුරයි. තට්ටු ගොඩනැගිල්ලක උඩ සිට බිමට පැන බලන ලෙසයි. තට්ටු ගොඩනැගිල්ලක උඩ සිට පනින කෙනෙකුට ගුරුත්වාකර්ෂණ බලයක් දැනේද? ඔහු බිම මත පතිත වන මොහොතේ නම් ඔහුට යමක් ඉතා හොඳින් දැනෙනු ඇත. නමුත් ඒ පොළව මත පතිත වූ පසුවය. එය සමාන වන්නේ පාරේ දුවන කෙනෙක් පොල් ගසක හෝ ලයිට් කණුවක වැදීමකටය. දැනීම ඇති වන්නේ පොල් ගසේ හෝ ලයිට් කණුවේ වැදීමෙන් පසුවය. ගොඩනැගිල්ලෙන් පනින තැනැත්තා ඉහළ තට්ටුවෙන් මොහොතේ පටන් ඔහු බිම පතිත වන අවස්ථාව තෙක්  ඔහු වෙත ගුරුත්වාකර්ෂණ බලයක් (එවැන්නක් ඇත්නම්) ක්‍රියා කළ යුතු වේ.

ඔබ වෙත යම් බාහිර බලයක් ක්‍රියා කරයි නම් ඔබට එය දැනෙයි. කිසිවකු ඔබේ කම්මුලට පහරක් දුන්නොත් ඔබට එය දැනේ. යමෙකු විසින් ඔබව තල්ලු කරයි නම් ඔබට එය දැනේ. යමෙකු විසින් ඔබව ළණුවකින් බැඳ ඇදගෙන යයි නම් එයද ඔබට දැනේ.  ගුරුත්වාකර්ෂණ බලයක් ඇත්නම්  ගොඩනැගිල්ලෙන්  පනින තැනැත්තාට පනින මොහොතේ පටන් එය දැනිය යුතු වේ.

imagesඇත්තෙන්ම එවැන්නක් ඔහුට දැනේද? මේ ප්‍රශ්නයම මීට සියවසකට පමණ පෙර ස්විස්ටර්ලන්තයේ පේටන්ට් කාර්යාලයක සේවය කළ ලිපිකරුවකු වූ ඇල්බට් අයින්ස්ටයින්ට කල්පනා විය. එවැනි බලයක් ගොඩනැගිල්ලෙන්  පනින තැනැත්තාට නොදැනෙන බව ඔහුට සිතිණි. මේ සිතුවිල්ල ඔහු පසු කළෙක නම් කළේ “Happiest thought of my life” නමිනි. පසු කළෙක Equivalence Principle හරහා සාධාරණ සාපේක්ෂතාවාදයට (General Theory of Relativity) පදනම ඔහු ඒ ඔස්සේ එළා ගත්තේය. අයින්ස්ටයින්ට අනුව ගුරුත්වාකර්ෂණ බලයක් කියා දෙයක් නැත. ඇත්තේ ස්කන්ධයන් ළඟදී වක්‍ර වූ අවකාශ-කාලයකි . වක්‍රවූ අවකාශ-කාලයේ සරල රේඛා/පථ  (Geodesics) ඔස්සේ ගොඩනැගිල්ලෙන් වැටෙන මිනිසා නිදහස් චලිතයක ගමන් ගනී. බලයක් යෙදිය යුත්තේ එම නිදහස් චලිතය නතර කිරීමටයි. ගොඩනැගිල්ලෙන් විසි වුන මිනිසා බිම පතිත වන විට ඔහුට දැනෙන්නේ ඔහුගේ නිදහස් චලිතය නතර කිරීමට පොළව මඟින් යෙදෙන බලයයි.

බර ලෙස අපේ ඉන්ද්‍රියන්ට දැනෙන්නේද එලෙස නිදහස් චලිතයන්ට එරෙහිව යොදන බලයන්ය. පිටි මුට්ටයක් කර ගසා ගෙන යන්නෙකු සිය කර මතින් පිටි මුට්ටයේ පොළව දෙසට වන නිදහස් චලිතයට එරෙහිව බලයක් යොදයි. එහි ප්‍රතික්‍රියාව පිටි මුට්ටයේ බර ලෙස ඔහුට දැනෙයි.

ඒ හැර ගොඩනැගිල්ලෙන් විසිවී බිම පතිතවන තෙක් ඔහුට තමන් වෙත බලයක් ක්‍රියා කරනු නොදැනේ. ඇතුළු කණේ ඇති ඉන්ද්‍රියන්ට දැනෙන ගුරුත්වාකර්ෂණ බලයක් නැත. ඊට දැනෙන්නේ චලනයන්ය (ත්වරණයන් සහ මන්දනයන්). අඩක් පිරුණු වතුරක කළයක් ගෙන යමකු ඔබ-මොබ දුවයි නම් එහි වතුර සෙළවේ. ඔබේ මෝටර් රියේ වේගය වැඩි කරන විට පෙට්‍රල් ටැංකියේ පෙට්‍රල් පැත්තකට ඇදේ. ඇතුළු කණේ සිදුවන්නේ ඒ හා සමාන ක්‍රියාවලියකි.

මේ ගුරුත්වාකර්ෂණ බලයක කතාවක් ආවේ කොහෙන්ද? ඇපල් ගසක් යට සිටින විට අයිසැක් නිව්ටන් විද්වතා ඇපල් ගෙඩියක් වැටෙනු දුටුවේය. එය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධියකි. ඔහුට ඊට හේතුවක් දීමට අවශ්‍ය විය. ඔහු කීවේ වස්තූන් එකිනෙක ආකර්ෂණය කරන ගුරුත්වාකර්ෂණ බලයක් ඇති බවයි. ඉන් පසු එය ප්‍රවාදයක් ලෙස ඉදිරිපත් කළ අයිසැක් නිව්ටන් විශ්ව කීර්තියට පත් විය. අද දක්වා ලෝකයේ හැමතැනම පාසල්වලත්, විශ්ව විද්‍යාලවලත් උගන්වන්නේ ඔහුගේ ඒ කතාවයි. එය ගොතන ලද කතාවකි.

ඒ කතාව කෙතරම් දැඩිව සහ ආදානග්‍රාහී ලෙස අධ්‍යාපන පද්ධතිය හරහා අපේ මනස්වලට ඔබා තිබේද යත් අද අපි පොල් ගස්වලින් පොල් ගෙඩි වැටෙන්නේ පොළවෙන් යෙදෙන යම් කිසි ඇදගන්නා / ආකර්ෂණ බලයක් නිසා යැයි සිතා ගෙන සිටිමු. එපමණක් නොව එය ඉන්ද්‍රිය ගෝචර යැයිද අපි සිතා සිටිමු. මා මිත්‍ර ඉංජිනේරුවරයා පසුව සාධාරණ සාපේක්ෂතාවාදය පිළිබඳව අන්තර්ජාලයේ කියවා මා සමඟ පැවසූවේ ගුරුත්වාකර්ෂණ බලයක් නැති බව සිතීමට පවා දැන් අපහසු බවයි.

පසුවදන – ගුරුත්වාකර්ෂණ බලය දැනේද යන්න යන්න සොයා බැලීම පිණිස උස ගොඩනැගිලි ආදියෙන් බිමට පැනීම ආදී අත්හදා බැලීම් වල නිරත නොවන්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: