බොරු, පට්ටපල් බොරු සහ සම්මුති සත්‍යයන්

nalindesilva

නලින් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නේ ඇයි? මගේ ඇසින් කරන කරුණු දැක්වීමක්:

මේ ලෝකයේ ඇති සියල්ල සම්මුති සත්‍යයන්ය. ඉර, හඳ, තාරකා, මුහුදු, කඳු පර්වත, දිය ඇලි, ගංගා, ඇඳ, පුටු, මේස, බංකු, පොල් ගස්, පුවක් ගස්, බල්ලො, පූසෝ, සුදු කැස්බෑවො, බැරැක් ඔබාමා, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ පමණක් නොව ඔබ යන්නද සම්මුති සත්‍යයන්ය; එනම් බොරුය. බොරු වුනාට ඒවා පට්ටපල් බොරු නොවේය. ඔබ ඉදිරියේ ඇති පුටුව පට්ටපල් බොරුවක් නොවේ. එය ඔබේ ඉන්ද්‍රීයන්ට ගෝචරය.

එසේ නම් පට්ටපල් බොරු යනු මොනවාද? අපි ඉපදුණේ කොහොමදැයි කුඩා ළමෝ අසති. කොකෙක් ගෙනත් දැමීමෙන් යැයි දෙමාපියෝ කියති. ගොතන ලද කතන්දරයකි; මනසින් මවා ගත් එකකි; පට්ටපල් බොරුවකි.

ගුරුත්වාකර්ෂණ බලයද එවන් පට්ටපල් බොරුවකි. එය ඉන්ද්‍රීය ගෝචර නොවේ. එවැන්නක් නැත. එය අයිසැක් නිව්ටන්ගේ ඔලුවේ මැවුණ මනස්ගාතයක් කීවොත් වඩා නිවැරදිය. (මනස්ගාතයක් වුවද මිනිස්සු ඉන් වැඩ ගත්හ. ඒ වෙනම කාරණයකි.) බටහිර විද්‍යාවේ ඇති සංකල්ප බොහොමයක් මේ ආකාරයේ ඉන්ද්‍රීය ගෝචර නොවන, වියුක්ත සංකල්පය; මනසින් මවා ගත් දේය; ගොතන ලද කතාය. ඒ සියල්ල පට්ටපල් බොරුය. ඒවා සම්මුති සත්‍යයන් වන්නේ බටහිර විද්‍යාව සම්මුතියක් ලෙස පිළිගන්නා අයට පමණි. අපට එසේ පුරුදු කර ඇත. 15වන සියවසට එපිට ලෝකයට ඒවා සම්මුති සත්‍යයන් නොවේ.

සියලුම දැනුම් පට්ටපල් බොරු නොවේ. ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් ලබා ගන්නා දැනුම් පට්ටපල් බොරු නොවේ. ඔබ ඉදිරියේ පුටුවක් ඇත්නම් එය ඔබේ ඉන්ද්‍රිය පද්ධතියට ගෝචර වේ. ඒ පිළිබඳව දැනුමක් ඔබ විසින් ගොඩ නඟා ගනී. එය ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් නිර්මාණය කරගත් දැනුමකි.

ඉන්ද්‍රිය ගෝචර නොවන දේ සැබෑවටම පවතීද නැත්ද යන්න අප දන්නේ කෙසේද? බටහිර විද්‍යාවේ ඉහළම දාර්ශනිකයකු වන අර්න්ස්ට් මැක් විද්වතා බටහිර විද්‍යාවේ ඇති සියලුම ඉන්ද්‍රීය ගෝචර නොවන දේ ප්‍රතික්ෂේප කළේය. ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර දෙයක් නොවේ. ඒ නිසා අර්න්ස්ට් මැක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ප්‍රතික්ෂේප කළේය.

අධ්‍යාත්මික ශක්තිය දියුණු කළ පුද්ගලයෝ භාවනා, යෝග වැනි ක්‍රමවලට සාමන්‍ය පුද්ගලයන්ට පංචේන්ද්‍රියන් හරහා ලබා ගත නොහැකි ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයන් ලබා ගනිති. ඒ මනස නම් ඉන්ද්‍රීය ඍජුවම භාවිතා කිරීමෙනි. පැරණි භාරතයේ මේ හැකියාව තුබූ බොහෝ අය සිටියහ. ඔවුහු ඒ ඔස්සේ දැනුම නිර්මාණය කළහ. උදාහරණයක් වශයෙන් ක්‍රාන්තිවලය (Ecliptic)  චන්ද්‍රයාගේ කක්ෂය (Orbit of the Moon) හා කැපෙන තැන් දෙක (Lunar Nodes) පෘථිවියට සාපේක්ෂව ගමන් ගන්නා ආකාරය ඔවුහු ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටියහ. ඒ කෙසේවත් පංචේන්ද්‍රියන් හරහා ලබාගත් ප්‍රත්‍යක්ෂයක් නොවේ. ඒ කාලයේ අද මෙන් දියුණු තාක්ෂණික උපකරණද තිබි නැත. එසේ නම් ඒ දැනුම ඔවුන් ලබාගෙන ඇත්තේ මනස නම් ඉන්ද්‍රිය ඍජුවම භාවිතයෙනි; අධ්‍යාත්මික ක්‍රමවලටය.

අද සිදු වී ඇත්තේ මනස ඉන්ද්‍රියක් ලෙස භාවිතා කිරීමේ හැකියාව අපට නැති වී තිබීමයි. පංචේන්ද්‍රියන් භාවිතා කිරීමේ හැකියාව අපට උපතින් ස්වභාවයෙන්ම ලැබී ඇත. නමුත් මනස ඉන්ද්‍රියක් ලෙස භාවිතා කිරීමේ හැකියාව නිසඟයෙන් ලැබෙන්නක් නොවේ. ඒ සඳහා අභ්‍යාස කළ යුතුය. භාවනා, යෝග ආදි ආදී කර්ම වල නිරත විය යුතුය.

ඇතැම් විට මේ ආකාරයේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයන්ගෙන් ලබා ගන්නා දැනුම වියුක්ත සංකල්ප හෝ වෙනත් සංකල්ප ආධාරයෙන් ගොඩ නැගිය හැක. ඒ තේරුම් ගැනීම උදෙසාය. කර්මය එවැන්නකි. නමුත් ගුරුත්වාකර්ෂණ බලය එවැන්නක් නොවේ. අයිසැක් නිව්ටන් ට ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳ කිසිදු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක් තිබුණේ නැත. ඔහු කළේ කතාවක් ගෙතීමක් පමණි.

මේ දෙකේ වෙනස උපමාවකින් දැක්විය හැක. දඩයමේ යන වැද්දෙක් කිසිදා නොදුටු අමුතු සතෙක් දකී. ඔහු තම සහචර වැද්දන් වෙත පැමිණ ඔහු ලද අත්දැකීම විස්තර කරයි; ඒ සඳහා ඔහු චිත්‍ර සටහනක් භාවිත කරනු ඇත; අභිනයෙන් සතාගේ හැසිරීම දක්වනු ඇත. මේ ආකරයෙන් සහචර වැද්දන්ට සතා පිළිබඳ සංකල්පයක් මවා ගත හැක. නමුත් අමුතු සතා දකින තුරු ඔවුනට ඌ පිළිබඳ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක් නැත. ඔවුනට ඒ වැද්දා කී කතාව විශ්වාස කිරීමට (හෝ නොකිරීමට – ඒ වැද්දාට වුවමනානම් බොරු කිව හැක) සිදු වේ.  මී ළඟට මේ වැද්දන් පිරිසටම කැළේ මැද කෑගසන සතෙකුගේ හඬ ඇසේ. ඔවුන් කිසිවකුට සතා නොපෙනේ. සතා කුමන ආකාර විය හැකිද යන්න පිළිබඳව එක් වැද්දෙක් අනුමානයෙන් කතාවක් ගොතයි. මේ විදියට කෑගසන නිසා මේ සතා මේ ආකාර විය යුතුය යනුවෙන් චිත්‍ර සටහනක් ඇඳ පෙන්වයි; අභිනයෙන් පෙන්වයි. මේ ආකාරයෙන් වැද්දන් පිරිසට සතා පිළිබඳව සංකල්පයක් ගොඩ නඟා ගත හැක. නමුත් එය ගොතන ලද කතාවකි. පට්ටපල් බොරුවකි.

මනස ඉන්ද්‍රියක් ලෙස භාවිතා කර ලබා ගන්නා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයන්ගේද සිදුරු තිබිය හැක. ඒ සියල්ල තීරණය වන්නේ මනස ඉන්ද්‍රියක් ලෙස භාවිතා කළ හැකියාවේ තරම අනුවයි. වඩා අභ්‍යාස කොට දියුණු, තියුණු කරගත් මනසකට වඩා පැහැදිලි ප්‍රත්‍යක්ෂයන් ලබා ගත හැක.

බුදුන් වහන්සේ ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය කුමක්ද? එය කුමක් දැයි අපට කිව නොහැකියි. කුමක්වුවත් එය ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක් නම් නොවේ; ඉන් ඔබ්බට ගිය එකකි. උන් වහන්සේගේට අනුව සියලු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයන්ද බොරුය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s