ෂර්වුඩයේ රොබින්

images (2)

මා කුඩා කල, ෂර්වුඩයේ රොබින් (Robin of Sherwood) නම් ජාතික රූපවාහිනියේ විකාශය වූ බ්‍රිතාන්‍ය ටෙලිකතා මාලාව කොතරම් නැරඹුවත් එපා නොවන එකක් ව තිබුණා මතකය. රොබින්හුඩ් සහ කල්ලියේ වීරක්‍රියා, මධ්‍යකාලීන එංගලන්තයේ පරිසරය, මීදුම් සහ ඉටිපන්දම් එළියෙන් ආලෝකනය වූ දර්ශන තල, සහ ඒ සියල්ලට මිශ්‍ර වූ ක්ලැනාඩ්ගේ මියුරු සංගීතය මගේ සිත් ඇඳ බැඳ ගත්තේය.

රොබින් හුඩ් (Robin Hood) යනු කවුද? ඔහු ඉංග්‍රීසි ජනශ්‍රැතියේ එන වීර චරිතයකි. ලංකාවේ ඔහු වඩාත් ප්‍රකට ධනවතුන්ගෙන් මංකොල්ල කා දුප්පතුන්ට බෙදාදුන් චරිතයක් ලෙසයි. (ලංකාවේ, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ, මිට සමාන ලෙස ක්‍රියාකාරකම් වල යෙදුණ මාවනැල්ල ප්‍රදේශයේ සරදියෙල් නම් මංකොල්ලකරුවාව හැඳින්වුයේද “ලංකාවේ රොබින් හුඩ්” ලෙසයි. ). මෙලෙස රොබින් හුඩ් සාමාන්‍යයෙන් අර්ථ ගැන්වෙන්නේ “පීඩිත පංතියක්” වෙනුවෙන් “පීඩක පංතියකට” එරෙහිව සටන් වැදුණු වීරයෙක් ලෙසයි.   ඇත්තටම රොබින් හුඩ් ගේ අරගලය ඊට පමණක් ලඝු කළ හැකිද?

උක්ත බ්‍රිතාන්‍ය කතාමාලාව දෙස විමසිල්ලෙන් බලන්නේ නම් අපට මෙහි වෙනත් අර්ථයක් සම්පාදනය කළ හැක.  එහි දැක්වෙන්නේ සංස්කෘති දෙකක, වඩා නිවැරදිව කියනවා නම් චින්තන දෙකක ගැටීමයි. එනම් නෝර්මන්වරුන්ගේ සහ සැක්සන්වරුන්ගේ චින්තන දෙක අතර ගැටීමයි. ලොක්ස්ලි හි රොබින් , ඔහුගේ සහචරයන් බහුතරය සහ ගම්වැසියන් මේ සියළු දෙනා සැක්සන්වරුය. රිචර්ඩ් සහ ජෝන් රජවරු, නොටින්හැමයේ ෂෙරීෆ්, ගිස්බන් සහ අනෙක්  සියලුම වංශාධිපතියන් නෝර්මන්වරුය.

රොබින් හුඩ් සහ නොටින්හැමයේ ෂෙරීෆ් අතර නොනිමි අරගලය විමසීමට පෙර සැක්සන්වරු සහ නෝර්මන්වරු ගැන මඳක් විමසා බලමු:

සැක්සන්වරු

Britain.Anglo.Saxon.homelands.settlements.400.500

එංගලන්තයේ සහ ඉංග්‍රිසි බස කතා කරන වෙනත් රටවල වර්තමාන සංස්කෘතිය හඳුන්වන ජනප්‍රිය නාමය ඇන්ග්ලෝ-සැක්සන් සංස්කෘතිය යන්නයි. ඊට  ඒ නම ලැබී ඇත්තේ පස්වන සියවසේ පමණ බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළ ඇංගල්ස්  සහ සැක්සන් යන ජර්මානික (Germanic) ගෝත්‍ර දෙක අනුවය. නමුත් ඇන්ග්ලෝ-සැක්සන් සංස්කෘතියට වඩා මේ ඇංගල්වරුන්ගේ සහ සැක්සන්වරුන්ගේ සංස්කෘතීන් විශාල වශයෙන් වෙනස්ය. ඔවුන්ගේ චින්තනයන්ද වෙනස් බව සිතමි. වර්තමාන ඇන්ග්ලෝ-සැක්සන් සංස්කෘතියේ හැඩතල විශාල ප්‍රමාණයක් සැකසී ඇත්තේ බ්‍රිතාන්‍යයට පසුව පැමිණි නෝර්මන්වරුගේ සංස්කෘතිය අනුවය.

ක්‍රි.ව. පස්වන සියවසේ පමණ වර්තමාන ජර්මනිය සහ ඩෙන්මාර්කය ආශ්‍රිත ප්‍රදේශවල සිට බ්‍රිතාන්‍යය වෙත, ප්‍රධාන වශයෙන්, ඇංගල්ස් (Angles) , සැක්සන් (Saxons) සහ ජූට් (Jutes) නම් ජනවර්ග තුනක් සංක්‍රමණය වූහ. මේ කාලයේ බ්‍රිතාන්‍යයේ සිටියේ ප්‍රධාන වශයෙන් කෙල්ටික් (Celtic) නමින් පොදුවේ හැඳින්වෙන ජනවර්ගයි. මේ ජන සංක්‍රමණ නිසා මිශ්‍ර වීමක් හෝ අවශෝෂණයක් සිදු වී නැත. ජනාවාස ගිනි තබමින්, කෙල්ටික්වරුන් සමූල ඝාතණය කෙරුණු අතර, ඉතිරි වූ කෙල්ටික්වරු වර්තමාන ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ වේල්සය වෙත තල්ලු වී ගියහ. ඉන්පසු වර්තමාන එංගලන්තය ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ජීවත් වුනේ මේ ජනවර්ග තුනයි. ඉන් බහුතරය වූයේ සැක්සන්වරුයි. කාලානුරූපීව මේ ජනවර්ග එකට මිශ්‍ර වූහ. සැක්සන්වරු මූලික වශයෙන් පේගන්වරුය.

බ්‍රිතාන්‍යයට පැමිණෙන අවධියේදී සැක්සන්වරු මූලික වශයෙන් පේගන් ආගමික විශ්වාසයන් සහිත පිරිසක් වූහ. ඔවුන් ක්‍රිස්තියානිකරණය වී ඇත්තේ ක්‍රම ක්‍රමයෙන්, කල්ගත වීමෙන් පසුවයි. ක්‍රිස්තියානිකරණය වීමට එරෙහිව ඔවුන් දැඩි ප්‍රතිරෝධයක් ද දක්වා ඇත. ක්‍රිස්තියානිකරණය වීමෙන් පසුවද ඔවුන් තම පැරණි ආගමික විශ්වාසයන් බොහෝ කලක් යනතුරු අතහැර නැත.

නෝර්මන්වරු

n cavalry

නෝර්මන්වරු (Normans) බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළේ ක්‍රි.ව. එකොළොස්වන සියවසේ පමණය. ඔවුහු උතුරු ප්‍රංශයේ නෝර්මන්ඩිය (Normandy)  නම් ප්‍රදේශයේ සිටි ප්‍රංශ බස කතා කළ ජන වර්ගයකි. නෝර්මන්ඩියට  ඔවුන් සංක්‍රමණය වී ඇත්තේ ස්කැන්ඩිනේවියාව ප්‍රදේශයෙනි. වයිකිං සම්භවයක් තිබුණද බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන අවධියේදී ඔවුහු වැඩි වශයෙන් ප්‍රංශ සංස්කෘතියට (ජර්මානික ජනවර්ගයක් වූ ෆ්‍රෑන්ක් වරුන්ගේ සංස්කෘතියට) අනුගත වී සිටියහ. ක්‍රි.ව. 1066 දී නෝර්මන්ඩියේ ආදිපාදවරයා (Duke of Normandy) වූ විලියම්  (William the Conqueror) නම් ශූර පාලකයා බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර (Norman Conquest of England)  රාජ්‍යත්වය අත්පත් කර ගත්තේය. ඉන්පසු බ්‍රිතාන්‍යයේ රජ පෙළපත සහ සියළු වංශාධිපතියන් නෝර්මන්වරු බවට පත්විය. එතෙක් රටේ සැක්සන්වරුන්ට තිබූ බලය ඔවුනට අහිමි විය.

සම්මතය අනුව නෝර්මන්වරු සැක්සන්වරුන්ට වඩා ශිෂ්ට සම්පන්න පිරිසක් විය.  යුධ ශිල්ප, කලා ශිල්ප, ගෘහ නිර්මාණය, රාජ්‍ය පරිපාලනය, වස්ත්‍රාභරණ ආදී සියල්ලෙන් ඔවුහු සැක්සන්වරුන්ට වඩා ඉදිරියෙන් සිටියහ. නෝර්මන්වරු කතෝලික ය. වඩා විධිමත් වැඩවඩම් පාලන ක්‍රමයක් (Feudal System), මෙන්ම රාජ්‍යත්වයද ශක්තිමත් ලෙස එංගලන්තයේ ස්ථාපිත කෙරුණේ නෝර්මන්වරුන් ගෙන් පසුවය. වර්තමාන එංගලන්තයේ රාජකීය සංකේතය වන සිංහයන් තිදෙනෙකුගේ ලාංඡනය (Royal Arms of England) පවා ඔවුනට ලැබුණේ නෝර්මන්වරුන් ගෙන්ය.

තවත් වැදගත් කරුණක් වන්නේ ඔවුන් කතා කළේ ප්‍රංශ බස වීමයි.  නෝර්මන් ආක්‍රමණයෙන් පරම්පරා කීපයක් ගිය පසුත්, රිචර්ඩ් ද ලයන් හාට් රජු (Richard the Lionheart)  හට කතා කළ හැකි වූයේ ප්‍රංශ බව පමණි. වර්තමාන ලංකාවේ සිංහලය පරයා ඉංග්‍රිසියට හිමි තැනට සමාන තැනක් එකල ප්‍රංශ බසට, ස්වදේශික ඇන්ග්ලෝ-සැක්සන් බස පරයා එංගලන්තයේ හිමි විය.

නෝර්මන් – සැක්සන් චින්තනයන්ගේ පරතරය

රොබින් හුඩ් සහ ඒ හා බැඳුණ පුරාවෘත්ත වලින් සංකේත වන්නේ වෙන කිසිවක් නොව නෝර්මන්වරුන්ගේ සංස්කෘතියට/චින්තනයට එරෙහි ව නැගුණ සැක්සන්වරුන්ගේ සංස්කෘතියයි/චින්තනයයි. මේ අවධිය වන විටත් සැක්සන්වරු  විශාල ප්‍රමාණයක් පේගන්වරුය. පේගනිසම තනි සංස්ථාපිත ආගමක් නොවේ; කතෝලිකය යුරෝපය පුරා පැතිර යාමට පෙර තිබූ විවිධ ආගම් සහ ඇදහිලි පද්ධතීන් හැඳින්වීමට යොදාගන්නා පොදු නාමයකි. මේ පේගන් චින්තනය කවරාකාරද? කතෝලික චින්තනයෙක් එය වෙනස් වන්නේ කෙළෙසද?

images (3)

රොබින් හුඩ් සහ සහචරයන් හට අධ්‍යාත්මික මඟ පෙන්වීම කරනු ලබන්නේ හර්න් (Herne the Hunter) නැමැති අධ්‍යාත්මික නායකයකු විසිනි. “හර්න් අප රැක දෙත්වා” යනුවෙන් අහර කිසට පෙර ඔවුහු යාඥා කරති. හර්න් ගෙන් සංකේතවත් කෙරෙන්නේ කතෝලික චින්තනය පැතිරීමට පෙර පැවති සැක්සන්වරුන්ගේ පේගන් චින්තනයයි. සැක්සන්වරුන්ගේ චින්තනයද කතෝලිකයන්ගේ චින්තනය මෙන්ම සාමූහික එකකි. ඔවුන්ගේ සමාජ, සාමූහික සමාජ ය.

නමුත් වෙනස ඇත්තේ ඔවුන්ගේ චින්තනය කතෝලික චින්තනයට වඩා පරිසරය හා බැඳුණු එකක් වීමයි.  හර්න් ගෝන හිසක් පැළඳීමෙන් සංකේතවත් කරන්නේ එවැන්නක් යැයි සිතමි. සැක්සන්වරු දඩයමේ යෙදුණු පරිසරයට සංයුක්ත වූ පිරිසකි. රජුට අයත් ගෝනුන් දඩයමට තහංචි පැනවීමෙන් ඔවුන්ගේ පරිසරයට ඇති බැඳීමට තහංචි පැනවෙයි. කතාමාලාවේ ගැටුම ඇරඹෙන්නේ එතැනිනි.  නෝර්මන්වරු සැක්සන්වරුන්ගේ ජීවන ක්‍රමයට බාධා පැමිණවූහ. මේ කතාමාලාවේ එක් කතාවක දැක්වෙන පරිදි සැක්සන්වරු වෘක්ෂ ඇදහීමේ උත්සවයකද නිරත වෙති. වෘක්ෂ ඇදහීම යනු අනෙකක් නොව පරිසරයට දක්වන ගරුත්වය හා බැඳීමයි. මැදපෙරදිග ශුෂ්ක පරිසරයක බිහි වූ කතෝලික චින්තනය තුළ මිනිසා පරිසරයේ ස්වාමියාය.

මේ ෂර්වුඩයේ රොබින් කතා මාලාව පුරාවට දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නම් “මායා” බලයන්, ගුප්ත විද්‍යාත්මක සංසිද්ධි සහ යක්ෂ/සාතන් ඇදහිලි වැනි දෑය. කතෝලික චින්තනය පැතිර යාමට පෙර යුරෝපය පුරා මෙවැනි දෑ බහුලව තිබී ඇත. හර්න් හටද විශේෂ වූ අධ්‍යාත්මික ශක්තීන් ද හිමිය.   අද කාලයේ පේගන් සංස්කෘතිය හුවා දැක්වීමට යොදාගන්නා ජනප්‍රියම අංග දෙකක් නම් කොස්සක් මත නැගී ගුවනින් ගමන් ගන්නා මායාකාරියන් (Witches) සහ කල්දේරමක බෙහෙත් පැළෑටි වර්ග කලවම් කර නොයෙකුත් මායාකර්ම කරන මායාකරුවන්ය (Druids). 

images (4)

යුරෝපය පුරා කතෝලිකය පැතිරෙත්දී ඒ තුළට පේගන්වරුන්ගේ චින්තනයෙන් යම් යම් සංස්කෘතික කාරණා අවශෝෂණය වී ඇත. අවශෝෂණය කළ නොහැකි දෑ ප්‍රතික්ෂේප කෙරෙයි. පේගන්වරුන්ගේ චින්තනය තුළ ඉහත දැක් වූ ආකාරයේ යම් යම් අධ්‍යාත්මික ක්‍රම තිබුණා යැයි සිතිය හැක. කතෝලික චින්තය තුළ අධ්‍යාත්මික ශක්තීන් වලට තැනක් ලැබී නැත. ඒ නිසා ඔවුහු ඒවා මිථ්‍යා දෘෂ්ටීන් ලෙස බැහැර කළහ. මධ්‍යකාලීන යුරෝපයේ යක්දෙස්සියන් දස දහස් ගණක් මරා දැමුනේ ඒ නිසාය. (Witch Hunt). 

කෙසේ නමුත් අවසානයේ එංගලන්තයේ නෝර්මන් සහ සැක්සන් සංස්කෘතීන් එකිනෙක අවශෝෂණය විය. ඉංගිරිසි ජාතිය සහ සංස්කෘතිය එහි වර්තමාන ස්වරූපය විකාශනය වී ඇත්තේ ඉන්පසුවයි. එය මුලින්ම කතෝලික චින්තනයට නතු වූ අතර එහිදී පේගන්වරුන්ගේ අධ්‍යාත්මික හැකියාවන් සහ පරිසරය හා තිබූ බැඳීම ඔවුන් අතරින් අතුරුදහන් විය. ඉන්පසු එය පුනරුද සමයේ යුදෙව්-ක්‍රිස්තියානි චින්තනයට නතු විය.

රොබින්හුඩ් වෘතාන්තයේ දැක්වෙන්නේ නෝර්මන් සංස්කෘතිය එංගලන්තයේ අධිපතිවාදීව පැතිරෙත්දී චින්තන පරස්පරය නිසා සැක්සන් සමාජය තුළින් ඊට නැගුණු ප්‍රතිරෝධයයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s