බෝවත්තේ ඉන්දරතන හිමි සහ අපේ සමාජය

bowatte indrarathana - Google Search

සිද්ධියේ උණුසුම මැකී යමින් පවතිද්දී මේ ගැන පසු සටහනක් තැබීමට අදහස් කරමි.

බෝවත්තේ ඉන්දරතන හිමියන් ගිනි තබා ගැනීම සහ ඒ ඔස්සේ පැන නැගුණු ගව ඝාතන විරෝධය පිළිබඳ සමාජයේ නොයෙකුත් කතා ඇති විය. ඇතැම් පිරිසකට උන්වහන්සේගේ ක්‍රියාව උතුම් ජීවිත පූජාවක් වූ අතර තවත් සමහරු ඊට සහ ඉන්දරතන හිමිට නොයෙක් නින්දා පරිභව කළහ. දෙපසට බෙදුණු පිරිස් අතර, විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාල තුළ,  මහත් වාද විවාද ඇති විය. සමහරක් ඒවා බොහෝ විට උණුසුම් තත්වයන් දක්වා වර්ධනය විය. මෙලෙස දෙපසට බෙදුනු කණ්ඩායම් දෙකේ දෘෂ්ටිමය පරස්පරය කැපී පෙනෙන සුලුය.

කැකෑරෙන වෛරය

මට නම් මේ සිද්ධිය සැලවූ වහාම ඇති වූයේ සංවේගයකි. අපවත් වූයේ බෞද්ධ භික්ෂුවක් නිසා මාගේ සිංහල බෞද්ධ විඥාණය ඊට වැඩි වශයෙන් බලපාන්නට ඇත. එය තවත් කීප ගුණයකින් තීව්‍ර වූයේ උන්වහන්සේට එල්ල වූ අනේක විද පරිභව කතා අසන්නට ලැබීමෙනි. සාමාන්‍යයෙන් සතෙක් මළ විටද අපේ රටේ මිනිස්සු කම්පා උපදවා ගනිති. ප්‍රේමය බිඳ වැටී දුම් රියට පැන දිවි තොර කර ගත් තරුණිය දෙස බලන්නේත් “අනේ අපොයි” යන හැඟීමෙනි. වෙනකක් තබා පසුගිය කාලයේ මිනිසුන් සමූහ වශයෙන් බිළිගනිමින් මරා ගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ කොටි කතකටවත් දරුණු වචනයෙන් පරිභව කිරීමක් සිදු නොවීය.

එසේ තිබියදී ඇතැම් පුද්ගලයන් ඉන්දරතන හිමියන්ට පරිභව කළේ දරුණු වචනයෙනි. ඒවා නැවත මෙහි ලිවීම උන්වහන්සේට කරන අපහාසයකි; දන්නෝ මේවා දනිති. මේ පුද්ගලයන් ඉන්දරතන හිමියන් වෙත සංකේතාත්මකව පල කළේ අපේ රටේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඇති පැසෙන, කැකෑරෙන වෛරය මිස අනෙකක් නොවේ. කැකෑරෙන වෛරයේ උච්චතම අවස්ථාව උදා වූයේ උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳව බෞද්ධයන් ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පින්තූරය සඳහා කහ කොඩි දමා තිබීම දරා ගත නොහැකිව කිහිප දෙනෙක් කහ පැහැ යට ඇඳුමක පින්තූරයක් පල කිරීමත් සමඟයි.

නොයෙකුත් “ධර්ම” විනිශ්චයන් දීම

Screen Captureඉන්දරතන හිමියන්ගේ අපවත් වීමෙන් පසුව උන්වහන්සේට අපවාද කරනු වස්, නොයෙකුත් පිරිස් ධර්ම විනිශ්චයන් දෙන්නට වූහ. බෞද්ධයන් කළ යුත්තේ තම තමන්ගේ පටු සහ පවිටු දේශපාලන වුවමනාවන් උදෙසා හුදු හිතලු මත විනිශ්චයන් දීම නොව, මේ පිළිබඳ විඤ්ඤූන් පවසා ඇත්තේ කුමක්ද යන්න සලකා බලා ධර්ම සහ විනය අනුව තීරණ ගැනීමයි.

මේ නොයෙක් හිතලු විනිශ්චයන්ට මහාචාර්ය පූජ්‍ය රේරුකාණේ චන්දවිමල නාහිමියන් විසින් රචිත “ධර්ම විනිශ්චය” පුස්තකය ඇසුරින් කරන ලද පිළිතුරු සැපයීමක් කලින් පළ කලෙමි: බෝවත්තේ ඉන්දරතන හිමියෝ සහ ධර්ම විනිශ්චය

ගුඩු තර්ක

ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාව හෙළා දකිනු වස් ඊනියා ධර්ම විනිශ්චන්ට අමතරව තවත් ගුඩු තර්ක ගණනාවක් කරළියට ආවේය.

මුලින්ම උන්වහන්සේ හෙළ උරුමයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ සිත් තැවුලක් නිසා එලෙස ගිනි තබාගත් බව කියැවිණි. නමුත් උන්වහන්සේගේ අතීත ක්‍රියාකලාපයන් දෙස බැලීමේදී අපට පෙනී යන්නේ උන්වහන්සේ දිවි තොර ගැනීමට ගත් පළමු ප්‍රයත්නය මෙය නොවන බවයි. හලාවත් මුන්නේශ්වරම් දේවාලයේ පැවති බිලි පූජාවකට එරෙහිවත් මෙලෙසම ගිනි තබා ගැනීමට උන්වහන්සේ උත්සාහ කර ඇත. මේ නිසා ඒ කතාවේ පදනමක් නැත.

උන්වහන්සේගේ ලිපිය අඩංගු ෆැක්ස් පතේ දිනය පෙන්වමින් මහා කුමන්ත්‍රණයක් ඇති බවට අදහස් පළ විය. ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයකින් දිනය වෙනස් විය හැකි බව මෙහිදී ඔවුන් සහමුලින්ම අමතක කර ඇත. ඊළඟට උන්වහන්සේ ගිනි තබාගත්තා නොව වෙන අයෙක් ගිනි තැබූ බව වීඩියෝ රූප ආධාරයෙන් පෙන්වීමට ඇතැමුහු උත්සාහ ගත්හ. ඉන් පසුව වෙනත් වීඩියො රූපවලින් ඒ තැනැත්තා ඇත්තටම උත්සාහ කළේ උන්වහන්සේගේ අතේ වූ ලයිටරයට අතින් පහර දී එය විසි කිරීමට බව පෙන්වා දීමත් සමඟ ඒ ගුඩු තර්කයත් අවසන් විය.

තවත් පිරිසක් මේ රටේ වෙන ප්‍රශ්න ඇත්තෙ නැත්ද ගව ඝාතණයටම විරුද්ධ වීම හැර යනුවෙන්ද තර්ක නැගූහ. ඇයි බැරි රටේ මනුෂ්‍ය ඝාතණ වලට විරුද්ධව ගිනි තියාගන්න? ඇයි බැරි රටේ ස්ත්‍රී දූෂණ නැවතීම වෙනුවෙන් ගිනිතියා ගන්න? ඇයි බැරි ලයිට්බිල වැඩි කිරීමට විරුද්ධව ගිනි තියාගන්න? ආදී වශයෙන් නොයෙකුත් ප්‍රශ්න නැගිණි.   මේ ලෝකයේ වන සියලු අසාධාරණතා වෙනුවෙන් එක විට සටන් කළ යුතුය යනුවෙන් නියමයක් ඇත්තේ කොහිද? උන්වහන්සේ සටන් කළේ උන්වහන්සේට සංවේදී වන කාරණා කීපයක් වෙනුවෙනි. සමාජයේ වෙනස් ප්‍රශ්නවලට සංවේදී වන්නන්හට ඒ වෙනුවෙන් සටන් කළ හැක. ලයිට් බිල වෙනුවෙන් සටන් කරන්නන්හට ඇයි නුඹලා ගව ඝාතණය ගැන වචනයක්වත් කියන්නේ නැත්තේ යනුවෙන් ඇසීම තේරුමක් නැත.

ගවයා සහ අපේ සංස්කෘතිය

ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාව හෙළා දුටුවන් උන්වහන්සේගේ අරමුණද ඉලක්ක කර ගත්හ. මස් පිණිස ඌරන්, කුකුළන්, මාලුන් වැනි වෙනත් සතුන්ද මරත්දී ගව ඝාතණයට පමණක් එරෙහි වීම ප්‍රශ්න කෙරිණි; බුදුදහමට එය එකඟවන්නේ කෙසේදැයි ප්‍රශ්න කෙරිණි. ඒ ප්‍රශ්න නඟන්නන් හට නොවැටහෙන කාරණය නම් ගව ඝාතණයට විරුද්ධ වීම සංස්කෘතික කාරණයක් බවයි. ගවයාට අනෙකුත් සතුන්ට වඩා අප සමාජයේ ඉහළ තැනක් හිමිය. ඊට හේතු විවිධාකාරය. ගවයා කෘෂිකර්මාන්තයේදී ඉමහත් සේ උපකාරීවන සතෙකි; උගෙන් කිරිද ගොමද ලබා ගනී; උන්ව ගැලට බඳිති; කුඹුරු වැඩට යොදති. ගැමියෝ ගවයා අමතන්නේ වහු දරුවන් ලෙසය. ඇතැම් ගැමියෝ කුඹුරු වැඩට අම්බරුවන් යොදාගැනීමට පෙර උන්ට වැඳ ආචාර කරති. මේ සියල්ලන්ගෙන් පෙනෙන්නේ ගවයාට අපේ සංස්කෘතියේ තුබූ තැනයි. ඇතැම්හු ගවයාට අපේ සමාජයේ හිමි තැන හින්දු ආභාෂයෙන් පැමිණියක් ලෙස සලකා ඊටම ඌණනය කරති. මගේ අදහස නම් ගවයාට අපේ සංස්කෘතියේ තිබුණු තැනට හේතුව අපේ කෘෂිකර්මය හා බැඳුනු ජීවන රටාවත් සමඟ ගවයාගේ තිබුණු සම්බන්ධය බවයි.

අතීතයේ සිංහලයෝ ගෙරි (ගව) මස් කෑම ඉතා තදින්ම පිළිකුල් කල බවට සාක්ෂි වෙයි. රොබට් නොක්ස් සඳහන් කර ඇති පරිදි එවකට සිංහලයා බටහිර මිනිසුන්ගේ පිළිකුල් කළ අංග දෙකකි: එකක් ශරීර කෘත්‍යයෙන් පසු අදාළ පෙදෙස් දියෙන් නොසේදීමයි; අනෙක ගෙරි මස් කෑමයි. මහනුවර යුගයේදී ගෙරිමස් නොකෑ සිංහලයා ගෙරි මස් කෑමට පුරුදු වූයේ බටහිරයන්ගෙන් බව පැහැදිලිය.

ගව ඝාතණ තහනම

අපේ රටේ සංස්කෘතික කාරණාවක් ලෙස සලකා ගව ඝාතණය තහනම් කෙරේ නම් එහි වරදක් නැත.

රටක සංස්කෘතිය අනුව යම් සතෙක්ට විශේෂ තැනක ලා සලකා ඒ සතා මස් පිණිස ඝාතණය කිරීම මේ ලෝකයේ අරුමයක් නොවේ. උදාහරණයක් වශයෙන් ඕස්ට්‍රෙලියාවේ බල්ලන් හා බළලුන් පිළිබඳ තත්වය සැලකිය හැක. ඕස්ට්‍රේලියාවේ බලු හෝ බළල් මස් වෙළඳාම නීතියෙන් තහනම්ය. මස් පිණිස උන්ව මැරීමද නීතියෙන් ඇති ඉඩ කඩ අඩුය. එක් ප්‍රාන්තයක බලු හෝ බළල් මස් අනුභවය තහනම් කර නීතියක් වශයෙන් එක් කර ඇත.

වඩා වැදගත්වන්නේ ඊට දී ඇති හේතුවයි: “Cats and dogs hold a specific place in Australian society as companion animals. Eating cats and dogs is therefore offensive to mainstream Australian cultural values.” මේ අනුව සංස්කෘතික හේතූන් මත යම් කිසි මසක් අනුභවය කිරීම බටහිර රටක තහනම් කෙරී ඇත. එහෙත් “මගේ බලු මස් කෑමේ අයිතිය කාටවත් උදුරා ගන්න බෑ යකෝ” යනුවෙන් කිසිවෙකු එරට බෙරිහන් දෙන්නේ නැත.

කෙසේ නමුත් අපේ රටේ ගවමස් අනුභව කරන්නන් විශාල පිරිසක් සිටිති. මුසල්මානුන්වන් සහ කිතුණුවන්ද ඒ අතර වේ. ඔවුන්ට ගව මස් කෑමට ඇති අයිතියට අවහිර කිරීමට පුද්ගලිකව මම එකඟ නොවෙමි. මේ නිසා නීති මාර්ගයෙන් ලංකාවේ ගව ඝාතණය එකවර නතර කිරීමේ ප්‍රායෝගික ගැටළු ඇත.

සමාජයේ බෙදීම

ඉන්දරතන හිමියන්ගේ සිද්ධියෙන් මතුවන වැදගත්ම කාරණය මෙය නොවේ. මේ සිද්ධිය හේතුවෙන් අප සමාජය බෙදුණු අන්දම සහ ඊට හේතු වූ දෘෂ්ටිමය මූලයන්ය. ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාව හෙළා දුටු, උන්වහන්සේට පරිභව කළ, උන්වහන්සේව අපාගත කිරීමට උත්සාහ කළ පිරිස දෙස බලන විට පැහැදිලිවම පෙනීයන්නේ ඔවුන් ඉතාම වැඩි පිරිස 77 දරුවන් එසේත් නැතිනම් මාක්ස්වාදීන් බවයි. ඔවුන් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය සමෘද්ධිමත් වීම නොඉවසති. එය ඔවුන්ට පිළිකුල්ය. ඒ නිසා ඔවුහු අපේ රටේ බෞද්ධ සංස්කෘතියට පහර ගහති; බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පහර ගහති; බෞද්ධ සංවිධානවලට පහර ගහති; බෞද්ධයන්ගේ සංවිධානාත්මක ක්‍රියාකාරීත්වයනට පහර ගහති. මේ සිද්ධිය පසු පස ඔවුන්ගේ ක්‍රියාකලාපයට දෘෂ්ටිමය හේතුවත් එයයි.

අවසන් වශයෙන් බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාව උසස් අර්ථයෙන් කරන ලද ජීවිත පූජාවක් ලෙස සලකා උන්වහන්සේගේ සසර ගමන කෙටි වීම පිනිස ඒ හේතු වාසනා වේවා යැයි පතමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: