පංතිය ආර්ථිකයට ඌණනය කිරීම

යම් පුද්ගලයකු සමාජ ධුරාවලියේ සිටින තැන, නැතහොත් ඔහුගේ පංතිය (Class) ඒ පුද්ගලයාගේ ආර්ථ්ක තත්වය මත මුලුමනින්ම රඳා නොපවතී. ආර්ථික තත්වයට අමතරව උගත්කම/අධ්‍යාපන මට්ටම, පුද්ගල සංස්කෘතිය (කන, බොන, අඳින, පළඳින, කතා බහ කරන විදිය) වැනි වෙනත් හේතුද ඊට බලපායි.

මාක්ස්වාදී විග්‍රහයට අනුව පංතිය, නිෂ්පාදන ක්‍රියාවලිය හා බැඳී පවතී. ඊට අනුව වර්තමාන ලෝකයේ සමාජය ධනපති පංතිය ( Bourgeoisie ) සහ නිර්ධන පංතිය (Proletariat) යනුවෙන් කොටස් දෙකකට වෙන් කෙරේ. ධනපති පංතිය යනු සියලු නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකරුවායි. නිර්ධන පංතිය යනු තම ශ්‍රම ශක්තිය විකුණන්නාය. මේ පංති දෙකේ ගැටුම තුළින් සමාජය ප්‍රගමනය කරා ගමන් ගයි. මෙලෙස මාක්ස්වාදී විග්‍රහය අනුව පංතිය යනු මූලිකවම ආර්ථික පංතියයි(Economic Class). ඊට පරිබාහිර සාධක එහිදී සලකා බැලෙන්නේ නැත.

පසු කාලීනව එකී විග්‍රහයේ ඇති අඩුපාඩුව නිසා සුළු ධනේෂ්වරය (Petite Bourgeoisie) නම් පංතියක් මාක්ස්වාදී විග්‍රහයට එක් කරනු ලැබ ඇත.  මේ පංතියට එක් කරන ලද්දේ ඉඩම් හිමි සුළු ගොවියන්, ස්වයං රැකියාකරුවන් සහ සුළු වෙළෙන්දන් වැනි පිරිස්ය. ආර්ථික වශයෙන් මේ පංතිය ධනපති සහ නිර්ධන පංති දෙක අතර පිහිටන්නකි.  පසු කාලීනව ධනවාදී හෝ මාක්ස්වාදී රාමු දෙකටම බහාලිය නොහැකි මතවාද හා දර්ශන “සුළු ධනේශ්වර චින්තනය” ලෙස ලේබල් ගසා ප්‍රතික්ෂේප කිරීම මාක්ස්වාදීන් අතින් සුලබව සිදු විය. මීට අමතරව මාක්ස්වාදයේදී පාදඩ නිර්ධන පංතිය (Lumpen-proletariat) නමින් තවත් පංතියක්ද අර්ථ දක්වා ඇත.

සියලු සමාජ සම්බන්ධතා සහ ප්‍රපංචයන් නිෂ්පාදන ක්‍රියාවලියට හෝ ආර්ථිකයට ඌණනය කිරීම ඌණිතවාදයකි. කෙසේ වෙතත් සියල්ල ආර්ථිකයටම ඌණනය කිරීම වැරදි බව ලෙනින් වැන්නන්හටද යම් තරමකට වැටහී ගොස් තිබිණි. ඔහු එවැන්නන් “ආර්ථිකවාදීන්” යැයි හඳුන්වා පහර දුන්නේය. බටහිර සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ පහළ වූ ඉහළම චින්තකයෙකු වූ මැක්ස් වෙබර් ආර්ථිකය අනුව කෙරෙන මේ මාක්ස්වාදී පංති විශ්ලේෂණය මුලුමනින්ම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ හෝ මාක්ස්වාදයෙන් පරිබාහිරව  විශ්ලේෂණය සඳහා සමාජය පංතිවලට කැඩීමේදී භාවිතාවන්නේද මාක්ස්වාදයේ සංකල්පමයි. ධනපති සහ නිර්ධන යන වචන භාවිතා නොවුනද ධනවත් සහ දුප්පත් පංතීන් සහ ඒ අතර මැද ඇති මධ්‍යම පංතිය (Middle Class) අද සමාජයේ මුල් බැසගත් සංකල්ප වේ.  දැන් ඒ මධ්‍යම පංතියද දෙකට කඩා ඉහළ සහ පහළ මැද (Upper Middle and Lower Middle) ලෙස භාවිතා වේ. මෙලෙස සමාජය පංතිවලට කැඩීමේ පදනම වන්නේ මුලින් කී පරිදි ආර්ථික හෝ ආදායම් තත්වයයි.

කෙසේ නමුත් අද සමාජයේ පහළ මැද පංතිය යන වචනය බහුලව භාවිතාවන්නේ ගුරුවරුන්, ලිපිකරුවන් වැනි රජයේ සේවකයන් සහ පුද්ගලික ආයතනවල පහළ මට්ටමේ සේවකයන් හැඳින් වීමටයි. ඉහළ මැද පංතිය යන වචනය බහුලවම භාවිතාවන්නේ විශේෂයෙන් නාගරික ප්‍රදේශවල ජීවත් වන, බටහිර ඌරුවට දිවි ගෙවන  ඉහළ මට්ටමේ විධායක ශ්‍රේණිවලට අයත් නිලධාරීන්, ඉහළ ආදායම් තත්වයන් හිමි වෘත්තිකයන්  වැනි පිරිස් හැඳින්වීමටයි.

මාක්ස්වාදයෙන් පැමිණි මේ ආර්ථික පංති අනුව කරන සමාජ විශ්ලේෂණය සාර්ථක නැත. කලින් කී පරිදි ආර්ථික තත්වයට අමතර වෙනත් සාධකද සමාජ තත්වයට බලපාය. උදාහරණයකට විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙකුගේ සමාජ තත්වය ඊට වඩා ඉහළ ආර්ථික තත්වයක් හිමි ලී මුදලාලි කෙනෙකුගේ සමාජ තත්වයට වඩා ඉහළය. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයා පහළ ආර්ථික මට්ටමක සිටියත් ඔහු ලී මුදලාලිට වඩා ඉහළ සමාජ තත්වයක සිටී.වඩා වැදගත් වන්නේ සමාජ පංතිය මිස ආර්ථික පංතිය නොවේ. හැමෝම උත්සාහ කරන්නේ සමාජ පංතිමය වශයෙන් උඩට යාමටය. ලී මුදලාලිගේ සිහිනය තම පුතා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු කිරීමය. නමුත් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයා තම පුතා සාර්ථක ලී මුදලාලි කෙනෙකු කිරීමේ සිහිනයක් කිසිමදාක   නොදකී.

class

Advertisements

One comment

  1. […] පංති විඤ්ඤාණය පවතින්නේ කාල් මාක්ස් සඳහන් කළ ආකාරයෙන් ආර්ථිකය මූල කොට ගෙන බෙදුණ පංති වශයෙන් නොවේ. කාල් මාක්ස් ගේ පන්ති පිළිබඳ අදහස අතිශය වියුක්ත අදහසකි. කිසිම කෙනෙකුට “තමන් කම්කරු පංතියට අයත් වේය” යන අදහස හෝ හැඟීම කිසිම කලක පැන නොනගී. මේ ගැටළුවට වී.අයි. ලෙනින් සහ අන්තෝනියෝ ග්‍රැම්ස්චි වැනි මාක්ස්වාදීහු පසුව විකල්ප අදහස් ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත්, කාල් මාක්ස්ගේ අදහස වැරදි වුවත්, සමාජය පන්ති වශයෙන් බෙදෙන අතර ඊට ආර්ථිකය මෙන්ම සංස්කෘතිය යන සාධකයද ප්‍රබල වශයෙන් මුල් වේ. මේ ගැන ලියැවුන තවත් ලිපියක් : පංතිය ආර්ථිකයට ඌණනය කිරීම. […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: