ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය (1)

අපේ රටට මාක්ස්වාදය ගෙන ආවේ, පසුගිය සියවස මුලදී බටහිර රටවල උසස් අධ්‍යාපනය හදාරා පැමිණි තරුණයන් පිරිසක් විසිනි. ඔවුහු ආර්ථික වශයෙන් ශක්තිමත් සහ සමාජීය වශයෙන් වරප්‍රසාද ලත් ප්‍රභූ පවුල්වලට අයත්, වයස අවුරුදු 30 කාණ්ඩයේ පසු  වූ තරුණයෝ වූහ.

මේ යුගය,  ලෝකයේ පළමු කොමියුනිස්ට්වාදී රාජ්‍යය වූ සෝවියට් සංගමය බිහි වී ලෝක කොමියුනිස්ට්වාදී ව්‍යාපාරයට නව ජවයක් ලැබූ සමයක් විය.  බටහිර රටවලද මාක්ස්වාදී ව්‍යාපාර අදට වඩා බහුලව එකල තිබුණු අතර මේ තරුණයන් ඒවාට සම්බන්ධ වී ආශ්වාදය සහ ආභාෂය ලැබූ බව පෙනේ. එන්.එම්. පෙරේරා අභාෂය ලබා ඇත්තේ  ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඔහුගේ ගුරුවරයකු වූ  මහාචාර්ය හැරල්ඩ් ලැස්කි ගෙනි; ඔහු ප්‍රකට  මාක්ස්වාදී න්‍යායාචාර්යවරයකි. පිලිප් ගුණවර්ධන ගේ මාක්ස්වාදී ගුරුවරයා වූයේ, එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂය හරහා හඳුනා ගැනීමට ලැබුණු ස්කොට් නියරින්ය. පිලිප් පසුව යුරෝපයට පැමිණි අතර, ලෝකයේ සමාජවාදී ව්‍යාපාරවල විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමේ  අවස්ථාව ඔහුට ලැබුණි. අනෙකුත් තරුණයන්ගෙන් අති මහත් බහුතරයද එසේ උසස් අධ්‍යාපනය ලැබීමට ගිය රටවලදී මාක්ස්වාදයේ ආභාෂය ලැබුවෝ වෙති.

මේ අතර අනෙක් පසින් ලෝකය පුරා යටත් විජිත රටවල ජාතික නිදහස වෙනුවෙන් අරගල කෙරෙමින් පැවතිණි. අපේ රටේ මේ වකවානුවේ පැවතියේ දුර්වල ජාතික නිදහස් සටනකි. ආපසු සිය රට පැමිණි පසු මේ තරුණයෝ බටහිර යටත්විජිතවාදී අධිරාජ්‍යවාදයට විරුද්ධ වූහ. එහෙත් ඒ මාක්ස්වාදී පදනමක සිට ප්‍රශ්නය දෙස බලමිනි. ඔවුන් හුදු ජාතික සටනක් වෙනුවෙන් ඔවුහු පෙනී සිටි බව කිව නොහැක. කෙසේ නමුත් ඔවුහු අවංකවම ඒ වෙනුවෙන් පෙනී සිටි බව කිව හැක. මේ හේතුවෙන් ඔවුන්ගෙන් ඇතැමෙක් සිරගත කෙරුණු අතර ඔවුහු පසුව සිර ගෙයින් පලාගොස් ඉන්දියාවේ කාලයක් සැඟවුණු ජීවිත ගත කළහ.

සූරිය මල් ව්‍යාපාරය

මේ තරුණයන් මුල්වරට සංවිධානය වූයේ අධිරාජ්‍යවාදී පොපි මල් ව්‍යාපාරයට එරෙහිවූ සූරිය මල් ව්‍යාපාරයකිනි. ඊට එක් වූ පිරිස අතර එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්.ඒ.වික්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, ඩොරීන් යං, සෙලීනා පෙරේරා, රොබට් ගුණවර්ධන, වර්නන් ගුණසේකර, විල්මට් ඒ. පෙරේරා, ජේ.සී.ටී. කොතලාවල, ඒම්.ජී. මෙන්ඩිස් සහ බී.ජේ. ප්‍රනාන්දු ආදී පිරිසක් විය.  එහි මුල්ම සභාපතිනිය, ඩොරීන් යං නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වීමත් සුවිශේෂ සිද්ධියකි.

මේ තරුණ මාක්ස්වාදීන් තුළ සටන්කාමී ජවයක් තිබුණ නමුත්, ඔවුන් තුළ සෝවියට් දේශය හෝ චීනය වැනි වෙනත් රටවල මාක්ස්වාදී ව්‍යාපාරවල මෙන් සන්නද්ධ විප්ලවවලට යෑමේ කවර ආකාරයේවත් ප්‍රවණතාවක් නොවීය. ඒ වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය කෙරෙහි ඔවුන් සියලු දෙනා තුළ විශ්වාසයක් වූ බව පෙනේ.   1931 ඩොනමෝර් කොමිසමෙන් ලංකාවට සර්වජන ඡන්දබලය ලැබීමත් සමඟ පැවති මැතිවරණයෙන් එස්.ඒ. වික්‍රමසිංහ මොරවක ආසනයෙන් තරඟ කොට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. පසුව 1936 මැතිවරණයෙන් එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන පිළිවෙලින් රුවන්වැල්ල සහ අවිස්සාවේල්ල ඡන්ද කොට්ඨාශවලින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූහ.

මේ තරුණ පිරිස සමාජ සුබසාධන වැඩවලද නිරත වූහ.  1934-35 කාලය තුළදී ලංකාවේ මැලේරියා වසංගතය පැතිර ගිය අතර මේ තරුණ පිරිස ස්වේච්ඡාවෙන් මැලේරියා පැතිරුණ ප්‍රදේශ වල, විශේෂයෙන් සීතාවක සහ තුන් කෝරළ ප්‍රදේශවල, සමාජ සේවයන්ට දායක වූහ. විපතට පත් ප්‍රදේශවල නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර කිරීම, වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම වැනි කටයුතු ඔවුන් අතින් සිදුවිය. එන්.එම්. පෙරේරා “පරිප්පු මහත්තයා” යන නමින් රටපුරා ප්‍රසිද්ධියට පත් විය.

Presentation10

ලංකා සමසමාජ පක්ෂය

1935දී මේ තරුණ පිරිස ලංකා සමසමාජ පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ.  ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ලෙස එය අද සැලකේ. සමසමාජ පක්ෂ මූලාරම්භයේදී එය ඉන්දියානු මාක්ස්වාදී ව්‍යාපාරයට සම්බන්ධ එකක් විය. එය ඉන්දියානු කොංග්‍රස් සමාජවාදී පක්ෂය හා සහසම්බන්ධ විය.

මේ අවධිය වන විට සෝවියට් දේශයේ රාජ්‍ය පාලන බලය සහ කොමියුනිස්ට් පක්ෂයේ බලය ස්ටාලින් විසින් අත්පත් කරගෙන තිබූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ලියොන් ට්‍රොට්ස්කි බලයෙන් සහ රටෙන් නෙරපා දමා තිබුණි. මූලික වශයෙන් ඔවුන් අතර පැවතියේ බල අරගලයක් වුවත්, සෝවියට් දේශයේ සහ ලෝක සමාජවාදයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව මතවාදීව ඔවුන් දැරූ අදහස් පසුව ට්‍රොට්ස්කිවාදය සහ ස්ටාලින්වාදය ලෙස වෙන් කිරිණි. දේශපාලන බල අරගලයෙන් ස්ටාලින් ජයගත් අතර, සෝවියට් දේශය තුළ ට්‍රොට්ස්කිවාදය මාක්ස්වාදයට පටහැනි ප්‍රතිගාමීත්වයක් ලෙස හංවඩු ගසා ප්‍රතික්ෂේප කෙරිණි.  සෝවියට් රුසියාවෙන් අනුග්‍රහය ලද චීනය ඇතුළු ලෝකයේ බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂවලද එලෙස ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප විය. ට්‍රොට්ස්කිව සෝවියට් දේශයෙන් පිටුවහල් කෙරුණු අතර පසුව ඔහුව මෙක්සිකෝවෙදී ඝාතණය කෙරිණි.

පසුව ලෝකයේ බොහෝ රටවල ට්‍රොට්ස්කිවාදීන් කොමියුනිස්ට් පක්ෂවලින් නෙරපා දමන ලදී. එහෙත් ලංකාවේ සිදුවූයේ එහි අනෙක් පසයි. සමසමාජ පක්ෂයේ වැඩි පිරිසක් ට්‍රොට්ස්කිවාදීන් වූ අතර ස්ටාලින්වාදීන්ට පක්ෂයෙන් ඉවත් වීමට සිදු විය.  මේ අනුව 1940 දී එස්.ඒ. වික්‍රමසිංහ, එම්.ජී.මෙන්ඩිස් සහ පීටර් කෙනමන් ඇතුළු ස්ටාලින්වාදීන් පිරිසක් සමසමාජ පක්ෂයෙන් වෙන් වී ලංකා කොමියුනිස්ට් පක්ෂය නමින් පක්ෂයක් පිහිටුවා ගත්හ.

මේ අතර සමසමාජ පක්ෂයේ තවත් බෙදීමක් ඇතිවිය. එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන සමසමාජ පක්ෂය ඉන්දියාවෙන් වෙන්වූ ස්වාධීන ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට උත්සාහ කළ අතර තවත් පිරිසක් ඊට විරුද්ධ වූහ. මේ අනුව කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, එඩ්මන්ඩ් සමරක්කොඩි  සහ ඩොරික් ද සූසා ආදී පිරිසක් සමසමාජයෙන් ඉවත් වී බොල්ෂෙවික්-ලෙනිනිස්ට් නමින් පක්ෂයක් පිහිටුවා ගත්හ. එම පක්ෂය ඉන්දියානු බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ ශාඛාවක් ලෙස ක්‍රියාත්මක විය. ලංකාවේ බොල්ෂෙවික්-ලෙනිනිස්ට් පක්ෂය උග්‍ර ට්‍රොට්ස්කිවාදීන් පිරිසකගෙන් සැදුම් ලද පක්ෂයක් විය.  ඉන්දීය බොල්ෂෙවික්-ලෙනිනිස්ට් පක්ෂයේ ශාඛාවක් ලෙස ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය ක්‍රියාත්මක වීම ලෝක සමාජවාදයක් ගැන කතා කළ ට්‍රොට්ස්කිවාදී න්‍යායට අනුකූල විය. එම පක්ෂය පසු කලෙක ට්‍රොට්ස්කිවාදීන්ගේ හතරවන ජාත්‍යන්තරයේ ලාංකීය ශාඛාව බවට පත් වී ‘ගෝලීය කම්කරු පන්තියක’ සංකල්පයට එක් විය.

Presentation2

ට්‍රොට්ස්කිවාදී මූලයන්

ලෝකයේ අනෙක් රටවල මෙන් නොව ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ මූලය ට්‍රොට්ස්කිවාදී වීමට බල පෑ හේතු සලකා බැලීම වටී. මෙය සමාජ-දේශපාලන ඉතිහාසඥයන් එතරම් අවධානයට ළක් නොකළ සංසිද්ධියක් බව මගේ හැඟීමයි.

නිර්ධන පාංතික අන්තර්ජාතිකත්වයක් ගැන කථා කළ ට්‍රොට්ස්කිට අනුව ජාති, ජනවර්ග සහ සංස්කෘතික සීමා මායිම් වැදගත් නැත. ධනවාදය ගෝලීය වශයෙන් ක්‍රියා කරන තනි යාන්ත්‍රණයකි. ඒ නිසා ඊට එරෙහිව කම්කරු පන්තිය ක්‍රියා කළ යුත්තේ ගෝලීය වශයෙන් තනි යාන්ත්‍රණයක් ලෙසය. මේ නිසා ඉන්දියානු කම්කරු පන්තිය සහ ලාංකීය කම්කරු පන්තිය යනුවෙන් දෙකක් නැත. ඇත්තේ තනි කම්කරු පන්තියකි. ඔවුන්ට ඇති ප්‍රශ්නද එකමය. ට්‍රොට්ස්කිවාදය මෙලෙස රටක සංස්කෘතියෙන් වියුක්ත දෙයක් විය. ට්‍රොට්ස්කිවාදය තුළ ඇත්තේ වියුක්ත අදහස් සමුදායකි. ට්‍රොට්ස්කි යුදෙව්වෙක් බව අමතක කළ යුතු නැත.

ලංකා සමසමාජ පක්ෂයේ පුරෝගාමියෝ ට්‍රොට්ස්කිවාදය වෙත ආකර්ෂණය වීමට හේතු සොයා බැලීමේදී ඔවුන්ගේ පවුල් පසුබිම සලකා බැලීම වටී. බදු එකතු කරන්නෙකුගේ පුතෙක් වූ එන්.එම්. කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නාගරික පරිසරයක හැදුණු වැඩුනු අයෙකි.  ගාල්ල බලපිටිය ප්‍රදේශයේදී උපත ලද කොල්වින්  ඇපෝතිකරුවෙකුගේ පුතෙකි.  ලෙස්ලි ගුණවර්ධන පානදුර ප්‍රදේශයේ බටහිර වෛද්‍යවරයකුගේ පුතෙකි. ඩොරික් ද සූසාට ඇත්තේ ඉන්දීය සම්භවයක් සහිත කතෝලික පවුල් පසුබිමකි. ඔවුන් ඉපිද හැදුණු වැඩුනු බටහිරට නැඹුරු වූ සංස්කෘතිය තුළ ඔවුන්ගේ චින්තනයන් වැඩෙන්නට ඇතැයි සිතිය හැක.  අපේ රටේ මුල් බැස ගත් සංස්කෘතියෙන් වියුක්ත වූ පුද්ගල සංස්කෘතියක් සහ චින්තනයක් ඇති ඔවුන් ට්‍රොට්ස්කිවාදයට ආකර්ෂණය වීම මේ ඔස්සේ සංගත අදහසක් බවට පත් වේ.

මාක්ස්වාදී ව්‍යාපාරයට එක් වූ පසුවත් ඔවුහු බටහිර ඌරුවට නැඹුරු ඔවුන්ගේ සමාජ ජීවිත වෙනස් නොකළහ. මේ ට්‍රොට්ස්කිවාදීන්ගෙන් සැලකිය යුතු පිරිසක් වෘත්තියෙන් නීතීඥයෝ වූහ. උදේට උසාවියේත්, හවසට සමාජශාලාවේත් ගත කළ ඔවුන්ගේ මාක්ස්වාදය බුද්ධිමය සංවාදවලට බොහෝ දුරට සීමාවිය; ප්‍රායෝගිකත්වයෙන් ඈත් වූවක් විය. වික්ටර් අයිවන් මේ පිළිබඳ විග්‍රහයක යෙදෙමින් කියා සිටින්නේ ලංකාවේ පැරණි වාමාංශික ව්‍යාපාරයේ නායකයන්ට තමන්ගේ පංතිය අමතක කළ හැකි වුවත්, තමන්ගේ සංස්කෘතිය අමතක කළ නොහැකි වූ බවයි.

පිලිප් ගුණවර්ධන

1950 දී සමසමාජ පක්ෂය සහ බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය නැවත එක් විය. මේ එකතුවට විරුද්ධ වූ පිලිප් ගුණවර්ධන සමසමාජ පක්ෂයෙන් ඉවත් වූවේය.  ඔහු බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ උග්‍ර ට්‍රොස්ට්ස්කිවාදීන්ව දැඩිව විවේචනය කළේය.

පිලිප් ගුණවර්ධන එන්.එම්., කොල්වින් ලා මෙන් නොව වෙනස් සමාජ පසුබිමකින් පැවත එන්නෙක් විය. ඔහුගේ පියා නැමි පනාවක් පැළඳගත් ආරච්චිවරයෙකි. මුලින් ට්‍රොට්ස්කිවාදියෙක් වුවත් පිලිප් පසුව වයසින් මුහුකුරා යත්ම ඉන්  ක්‍රමයෙන් ඈත් විය.රෙද්ද බැනියම හැඳ ඔහු ජාතිකත්වයට නැඹුරු විය.

පිලිප්ගේ භූමිකාව මේ ලිපියේ වැඩිදුර විස්තර කර ඇත: පිලිප් ගුණවර්ධන

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: