නූතනවාදීන්ගේ ඊනියා සත්ව අවිහිංසාව

මානව හිමිකම් (Human Rights) ගැන මෙන්ම සත්ව හිමිකම් (Animal Rights) ගැනද අද ලෝකයේ බහුලව කතා වේ. ලංකාවේ සත්ව හිමිකම් ගැන වැඩිපුරම කතාකරන්නේ නූතනවාදීන්ය. ඔවුහු ඊනියා සත්ව අවිහිංසාවාදියෝද වෙති.  ඔවුන්ට අපේ රටේ ඇති ලොකුම සත්ව හිංසනය බෞද්ධ පෙරහැර වලට අලි ඇතුන් යොදාගැනීමයි. නොසලකා හැරිය යුතු පුස් මතයක් වුනත් නූතනවාදියෝ නිතර නිතර මේ පිළිබඳ හඬ නැගීම නිසා ඒ ගැන යමක් කීමට අදහස් කරමි.

 

මේ චෝදනාව නඟන්නන් ඒ නඟන්නේ නූතනත්ව පදනමක සිටය. මේ නිසා මේ පිළිබඳ කතා කිරීමට පෙර බටහිර නූතනත්වය තුළ සත්වයන් පිළිබඳව වන ආකල්පය විකාශය වූ අන්දම සලකා බැලීම වටී.

සම්පත vs. Resource

යුදෙව් ක්‍රිස්තියානි ලෝක දැක්මට / චින්තනයට අනුව දෙවියන් වහන්සේ ස්වභාව ධර්මය මවා ඇත්තේ මිනිසාගේ භුක්තියටයි. මහපොළව, ගංගා, ඇළ-දොළ, ගහකොළ, සතා සීපාවා සියල්ල මවා ඇත්තේ මිනිසාගේ භුක්තිය සඳහායි.  ඔවුන් ස්වභාවධර්මයේ නොයෙක් දේ දකින්නේ සම්පත් (Resources) ලෙසයි. Resource යන්නෙහි අරුත, විකිපීඩියාවට අනුව: ” a source or supply from which benefit is produced”  වේ.මෙහි සඳහන් ප්‍රතිලාභය (Benefit) වෙන කවරෙකුටවත් නොව මනුෂ්‍යයාටයි. ඒ අනුව ජලය සම්පතකි; වනය සම්පතකි; සතුන්ද සම්පතකි. ඒ සියල්ල මනුෂ්‍යාගේ පරිභෝජනය සඳහායි.

Resource යන වචනය අප සිංහලයට පරිවර්තනය කර ඇත්තේ සම්පත් ලෙසටයි. නමුත් අපේ සම්පත් යන සංකල්පය ඉංග්‍රීසින්ගේ Resource යන වචනයෙන් ජනිත වන සංකල්පය හා එකමත සමපාත නොවේ. අපට දරුවන් සම්පතකි. ඉංග්‍රීසින් දරුවන් Resources ලෙස සලකන්නේ නැත.  සම්පත් සහ Resource වචන දෙකේ සංකල්පාර්ථ අතර සැලකිය යුතු වෙනසක් ඇත. මේ අනුව ස්වභාව ධර්මය පිළිබඳ අපේ ලෝක දැක්ම බටහිරයන්ගේ ලෝක දැක්මට වඩා බොහෝ වෙනස් බව පැහැදිලිය.

දැන් Resource යන ඉංග්‍රීසි වචනයේ නිරුක්තිය මඳක් සලකා බලමු. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය අනුව එම වචනය බිඳී ඇත්තේ ප්‍රංශ භාෂාවේ Ressourse  යන වචනයෙනි. එහි නැවත ජනනය වන (Rise again),  ආපසු ලබාගත හැකි (Recover) යන තේරුම් වෙයි. ස්වභාව ධර්මයේ ඇති නොයෙක් දේ අසීමිතව (මනුෂ්‍යයාගේ පරිභෝජනය උදෙසා) පහළ වෙන බවක් මින් අදහස් වේ. එය ඔවුන්ගේ ලෝක දැක්මයි (චින්තනයයි). ලෝකයේ සිටින නානාප්‍රකාර සතුන් දෙස ඔවුන් බැලුවේත් ඒ අයුරින්මයි.

සත්වයා පිළිබඳ බටහිර චින්තනය තව දුරටත් සකස්වූයේ කෙසේද?

සත්වයන්ට සංවේදනයක් (Sentience) තිබේද?

ග්‍රීක චින්තනය

ඇරිස්ටෝටල්, ග්‍රීක දාර්ශනිකයන් අතරින් ස්වභාව විද්‍යා (Natural Sciences) පිළිබඳ වැඩිම අවධානයක් යොමුකළ තැනැත්තා විය හැක. ජෛවවේදය පිළිබඳ ඔහුගේ විශේෂ උනන්දුවක් තිබිණි. සත්වයන්ව පළමුවරට විධිමත් වර්ගීකරණයට (Taxonomy) ලක් කළ තැනැත්තාද ඔහුය. ඇරිස්ටෝටල්  සතුන්ගේ සහ මනුෂ්‍යයාගේ යම් සමානතා දුටුවේය. නමුත් ඔහු සතුන්ට බුද්ධිය හෝ සිතුවිලි ඇතැයි කල්පනා නොකළේය. සත්ව වර්ගයා පිළිබඳ තත්කාලීන බටහිර ලෝකයේ ආකල්පයට හේතු වී ඇත්තේ ඇරිස්ටෝටල්ගේ මේ වර්ගීකරණය බව ඉංග්‍රීසි ජාතික, බටහිර දර්ශනය පිළිබඳ ඉතිහාසවේදියෙකු වූ රිචඩ් සොරාබ්ජි (Richard Sorabji) පවසයි.

රෙනෙ ඩෙකාටේ ගේ යන්ත්‍රණ වාදය

රෙනේ ඩෙකාටෙ

17 වන ශතවර්ෂයේ ජීවත් වූ ප්‍රංශ දාර්ශනිකයකු වූ රෙනේ ඩෙකාටේ (Rene Descartes)  ගේ වැදගත්ම අදහසක් වූයේ විශ්වය පිළිබඳව වූ යන්ත්‍රණ වාදය (Mechanistic Theory of the Universe) යි. ඩෙකාටේට අනුව මිනිස් මනස (Mind) හැර විශ්වයේ පවතින සියලුම දේ ද්‍රව්‍යමය ස්වභාවයෙන් යුක්තය. ඒවා ක්‍රියාකරන්නේ යම් යම් නියමයන්ට (Laws of Nature) අනුවයි. ඩෙකාටේ ඒවා සමාන කළේ යන්ත්‍රවල (Automata) ක්‍රියාකාරීත්වයටයි. ඇළ දොළ, ගස් වැල්, ඉර, හඳ, තාරකා සියල්ල යන්ත්‍රයන්ය. මනුෂ්‍ය ශරීරයද යන්ත්‍රයකි. නමුත් මිනිස් මනස ඔහු දුටුවේ ඊට වෙනස් අයුරිනි. එය අර නියමයන්ට අනුකූල නොවන වෙනස් දෙයකි. ඔහුට අනුව මනස යනු මනුෂ්‍ය වර්ගයා සහ දෙවියන් වහන්සේ යා කරන පාලමයි.

වැදගත්ම කරුණ නම්,ඩෙකාටේ ගේ මේ අදහස අනුව,  මනුෂ්‍යයා හැර අනෙකුත් සතුන් සියල්ලද යන්ත්‍රයන්ය. සතුන්ට ආත්මයක් (Soul), මනසක් (Mind) හෝ බුද්ධියක් (Reason) නැත. මේ නිසා ඔවුන්ට පෙනීම, ඇසීම වැනි සංජානනයන් (Perceptions) තිබුණද ඒ පිළිබඳ ඔවුන්ට සවිඥාණක (Conscious) බවක්, විඳීමක් (Suffering) නැත.

පසුකාලීන බටහිර මතවාද

A worker holds a lobster.

සුප්‍රකට ජර්මානු දාර්ශනික ඉමෑනුවෙල් කාන්ට් (Immanuel Kant)  වැන්නන් සත්ව හිංසනය පිටු දැක්කේ ඉන් සත්වයන්ට සිදුවන අයහපත ගැන සලකා නොව එවන් කෲර ක්‍රියා වල යෙදීම නිසා මනුෂ්‍යයා පිරිහෙන බව කල්පනා කළ නිසාය.   තවත් ජර්මානු දාර්ශනිකයකු වූ ආතර් ෂෝපන්හුවර් (Arthur Schopenhauer) කාන්ට්ගේ අදහසට එකඟ නොවීය. ඔහු සත්වයන්ට වේදනා/විඳීම් ඇතිවන බව පිළිගත්තේය. එහෙත් ඔහු සත්වයාගේ මරණය ක්ෂණිකව එකක් නම්, එම සත්වයා විඳින වේදනාවට වඩා වැඩි විඳීමක් මනුෂ්‍යයා විඳින බව පවසා මස් පිණිස සතුන් මැරීම සාධාරණීකරණය කළේය.  මේ අතර ප්‍රංශ දාර්ශනික ජීන්-ජාක් රූසෝ (Jean-Jacques Rousseau) වැන්නෝ සත්වයන්ට සංවේදනයක් ඇති බව විශ්වාස කළහ. ඒ අනුව ඔහු මස් පිණිස සතුන් මැරීම පිටු දැක්කේය.

චාල්ස් ඩාවින් (Charles Darwin) පරිණාමවාදය ඉදිරිපත් කරමින්, මිනිසා සහ අනෙකුත් සත්වයන් අතර ජෛවවිද්‍යාත්මක සහසම්බන්ධයක් ඇතිබව ප්‍රකාශ කිරීමත් සමඟ, සත්වයන්ගේ සංවේදනය පිළිබඳ බටහිර ලෝකයේ තිබූ මතයේ විප්ලවීය වෙනසක් ඇති විය.

කෙසේ නමුත් සත්වයන්ට සංවේදනයක් ඇත්ද යන්න පිළිබඳව අද පවා බටහිර විද්‍යාඥයන්ට නිශ්විත අදහසක් නැත. මේ ලිපියෙන් පෙන්නුම් කරන්නේද එයයි:  Debate Continues: Did Your Seafood Feel Pain?

සත්ව සම්පත (Animals are a Resource)

කෙසේ නමුත් බටහිර පොදු සමාජය සත්වයන් දෙස දැක්වූ ආකල්පය 20 වන සියවස වනවිටත් වෙනස් වී තිබුණේ නැත. ඔවුන් අනෙක් සම්පත් මෙන්ම සත්ව සම්පතද දුටුවේ අසීමිතව උත්පාදනය වන දෙයක් ලෙසයි. මේ වන විට යුරෝපීයයෝ ලෝකයේ වැඩි ප්‍රමාණයක් යටත් විජිත බවට පත් කරගෙන සිටියහ. මේ රටවලදී ඔවුන්ට යුරෝපයේ හමු නොවන නා නා ප්‍රකාර සත්ව විශේෂ හමු විය. ආහාර පිණිස නොව විනෝදයටත් ඔවුහු අසීමිත ලෙස සතුන් දඩයම් කළහ.

එලෙස කරන ලද විශ්මය ජනක සත්ව සංහාරයක් ගැන සඳහන් කිරීම වටී:

මහා බයිසන් සංහාරය

බටහිරයන් නවලෝකයට පැමිණෙන විට උතුරු ඇමෙරිකානු තෘණ භූමිවල ඇමෙරිකානු බයිසන් ගවයන් මිලියන 20-30 අතර ප්‍රමාණයක් සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇමෙරිකානුවෝ සම් සඳහා මෙන්ම ක්‍රීඩාවක් ලෙසත් බයිසන් ගවයන් මරා දැමූහ. මීට අමතරව දුම්/රිය වල ගැටීම නිසා දුම්‍රිය වලට සිදුවන හානි අවම කර ගැනීමට මහාපරිමාණයෙන් බයිසන් ගවයන් සංහාරයට ළක් විය. මේ පින්තූරයෙන් පෙනෙන්නේ එසේ මරා දැමුණු බයිසන් ගවයන්ගේ හිස් කබල් තොගයකි. සංහාරයේ තරම මැන ගැනීමට එය කදිම නිදසුනකි. අවසානයේ 1880 පමණ වන විට ඉතිරිව සිටියේ බයිසන් ගවයන් දහසකට අඩු පිරිසකි.

File:Bison skull pile edit.jpg

ශ්‍රීලංකාවේ අලි සංහාරය

ශ්‍රී ලංකාව තුළත් යටත් විජිත යුගයේදී විනෝදය පිණිස සතුන් විශාල වශයෙන් දඩයම් කෙරිණි. ඒවා සමහරක් දැවැන්ත සත්ව සංහාර වෙයි. අලි වෙඩි තැබීම එවන් ජනප්‍රිය ක්‍රීඩාවක් විය. මේජර් තෝමස් විලියම් රොජර්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා නුවර එළිය ප්‍රදේශයේදී අලි දඩයම් කළ එවන් අයෙකි. වසර එකොළහක් වැනි කෙටි කාලයකදී ඔහු විසින් මරා දැමුණු අලි ප්‍රමාණය 1500කට අධිකය. හපුතලේදී හෙණ පහරක් වැදී අකාලයේ මිය නොයන්නට ඔහු කොතරම් අලි ප්‍රමාණයක් මරා දමාවිද යන්න සිතා ගැනීමට අපහසුය.

සත්ව හිමිකම් (Animal Rights)

කෙසේ නමුත් සත්ව විශේෂ කිහිපයක් මිහිමතින් වඳ වීයාමෙන් අනතුරුවම් සත්ව සම්පත සීමිත බව බටහිර ලෝකයට ඒත්තු ගියා විය යුතුය. 20 වන සියවස අවසන් භාගය වන විට සත්ව සම්පත සුරැකීමේ අගය සහ සත්ව හිමිකම් පිළිබඳව බටහිර ලෝකයේ අවධානය යොමු වූ බව පෙනෙන්නට තිබේ. අද වන විට බටහිර ලෝකය තුළ සත්ව හිමිකම් යනු විශාල ලෙස පැතිරුණු ක්ෂේත්‍රයකි. ඒ පිළිබඳව ඇති සංවිධාන ප්‍රමාණය මෙතකැයි කිව නොහැක. ඊට අමතරව සත්ව හිමිකම් වෙනුවෙන් සටන් කිරීමටම කැප වූ සෙලිබ්‍රිටි වර්ගයේ පුද්ගල චරිතද විශාල ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රයේ දක්නට ඇත. අද එය මෙය වැඩි වශයෙන්ම මෝස්තරකාරී දෙයකි; ධනපති/ඉහළ මැද පංතියේ සෝභනයකි.

මේ පිළිබඳ කියන විට මතක් වූයේ, මා උගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියන් පිරිසක් විසින් හදා ගෙනෙ තිබූ සරසවි භූමියේ දඩාවතේ යන බල්ලන්ගේ සුභසාධනය පිළිබඳව වූ සංගමයයි. ඔවුන් අල්ලා නාවා, කවා, පොවා නිසි කලට එන්නත් ලබා දීම එම සංගමයේ අරමුණ විය. විශ්ව විද්‍යාලය තුළ ආර්ථික අඟ හිඟ කමින් පිරි සිසුන්ගේ සුබ සිද්ධිය තකා එවන් කිසිදු සංගමයක් නොවීය. මේ නූතනවාදීන්ගේ සත්ව හිමිකම් එවන් විකාර රූපී විගඩමක්, ප්‍රෝඪාවක් මිස අනෙකක් නොවේ.

බටහිර ලෝකයේ සත්ව හිමිකම් ද ඔවුන්ගේ මානව හිමිකම් වැනිම ප්‍රෝඪාවකි. සත්ව හිමිකම් ගැන ඔවුන් මෙලෙස කොතරම් වැදිබණ කීවත් අද ලෝකයේ වැඩියෙන්ම මස් පිණිස සතුන් මරාදැමෙන්නේ බටහිර රටවලය.

Current Worldwide Annual Meat Consumption per capita
ඒක ශීර්ෂ සත්ව මාංශ පරිභෝජනය – ලෝකයේ රටවල් අනුව

පෙරහැරේ අලි සහ ගුඩු තර්ක

දැන් ප්‍රධාන ප්‍රස්තුතය දෙසට හැරෙමු. ඊනියා නූතනවාදීන්ට අනුව පන්සල් වල අලි ඇතුන් ඇති කිරීම සහ බෞද්ධ පෙරහැර සඳහා උන් යොදා ගැනීම තදබල සත්ව අයිතිවාසිකම් උල්ලංගණය කිරීමකි. ඔවුන්ට අනුව අලි ඇතුන් පන්සල් වල ගාල් කර තැබීමෙන්,

1. යදම්, හෙණ්ඩු ආදිය නිසා හිංසනයට ලක් වේ.
2. අභිජනන නිදහස සීමා වේ.

ගාල් කර තැබීම නිසා අලි ඇතුන් හිංසනයකට ලක් වෙන බව සලකන්නේ නම් ලංකාවේ නිවෙස්වල බල්ලන්, පූසන් ඇති කිරීම ගැන මේ ඊනියා සත්ව අවිහිංසාවාදීන් කියන්නේ කුමක්ද? කූඩුවක බල්ලෙක් හැදීම උගේ නිදහස සීමා කිරීමක් නොවේද? මේ පිළිබඳව ඔවුන් නගන ගුඩු තර්කය නම් බල්ලන් පූසන් හීලෑ සතුන් බවත් අලි ඇතුන් හීලෑ සතුන් නොවන බවත්ය. මොවුන් හීලෑ සතෙක් සහ හිලෑ නොවන සතෙක් වෙන් කරන නිර්නායක මොනවාදැයි අපි නොදනිමු. අප දන්නා පරිදි නම්, අලි ඇතුන් වසර දහස් ගණන්ක් තිස්සේ මිනිසුන් ඇසුරේ ජීවත්ව ඇත.

හොඳයි, බල්ලන්, පූසන් හීලෑ සතුන් සේ සලකා පැත්තක තබමු. සත්වෝද්‍යාන වල ගාල් කර ඉන්නා සතුන් ගැන මේ ඊනියා සත්ව අවිහිංසාවාදීන් කියන්නේ කුමක්ද? සත්වෝද්‍යාන කූඩුවල සිටින කොටි, වළසුන් හීලෑ සතුන්ද? ඔවුන්ට නිදහසට හිමිකමක් නැත්ද?

මේ ආශ්‍රයෙන් තවත් ඉතාම බොළඳ තර්කයක් නැගෙයි. එනම් ලංකාවේ අලි ඇතුන්ගේ ගහණය අඩු වීමට උන් පන්සල් වල ගාල් කර තැබීම නිසා අභිජනනය සීමා වීම හේතුවක් වී ඇති බවයි. ලංකාවේ කැළෑ වල අලි ඇතුන් 5000කට වඩා ඇත. ලංකාවේ පන්සල්වල අලි ඇතුන් කීදෙනක් ඉන්නවාදැයි මම හරියටම නොදනිමි. එහෙත් ඒ ගණන 100කට අඩු මිස වැඩි නොවේ. මේ අලි 100 අභිජනනය නොකිරීම නිසා 5000 ක අලි ගහණය අඩු වෙන බව කීම මොන පදනමක් ඇති කතාවක් දැයි මට නම් නොතේරේ.

පෙරහැරේ යන අලින් ගැන උනන්දුවන සත්ව අවිහිංසාවාදීන් මුලින්ම කළ යුත්තේ ලංකාවේ සිදුවන සත්ව ඝාතණ නතර කිරීමට උත්සාහ කිරීමයි. නමුත් ඔවුන් ඒ ගැන කතා කරන්නේ නැත. ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය බෞද්ධයන්ට වැදගත් සංස්කෘතික කටයුත්තක අලි යොදා ගැනීම නතර කිරීම පමණි. මේ ඊනියා සත්ව අවිහිංසාවාදීන්ගේ තර්ක විධි ක්‍රමය ශ්‍රී ලංකාවට විරුද්ධව යුද අපරාධ/මානව හිමිකම් චෝදනා නඟන්නගේ තර්ක විධි ක්‍රමයමය. කොටි ත්‍රස්තවාදීන් අතින් හෝ ලංකාවේ සිදු වූ වෙනත් අපරාධ/මානව හිමිකම් කඩ වීම් ගැන ඔවුන් කතා කරන්නේ නැත. ඔවුන් ඇඟිල්ල දිගු කරන්නේ තෝරාගත් ඊනියා සිද්ධි කීපයක් වෙත පමණය. එලෙසම මොවුන් ඇඟිල්ල දිගු කරන්නේ පෙරහැරේ ඉන්න අලියා වෙත පමණි. අනෙක් කතා ඔවුන්ට අදාළ නැත.

මේ ඊනියා නූතනවාදීන්ගේ සත්ව අවිහිංසාවාදය ප්‍රෝඪාවක් පමණි. ඔවුන්ට අලි ගැන කැක්කුමක් නැත. ඇත්තේ මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය දරාගැනීමට බැරි කමක් පමණි.

Advertisements

3 thoughts on “නූතනවාදීන්ගේ ඊනියා සත්ව අවිහිංසාව

  1. මේ කිසිම දේකින් සත්ව හිංසාව සාධාණිකරණය කරන්න බෑ නේද සහෝදරයා?
    වරද A ට වඩා වරද B ප්‍රමාණයෙන් වැඩි වුණාට දෙකම වැරදි නේද?
    මුලින්ම අප විමසිය යුත්තේ මේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම අනුව යාමක්ද කියල. ඊනියා කාලකණ්ණි මූසල නූතනවාදීන්ට මමත් විරුද්ධයි, ඒත් පන්සල් වල (මාළිගාවද ඇතුළුව) අලින්ට දෙන හිංසාව අනුමත කරන්න බෑ.

  2. වැරැද්ද වැරැද්ද විදියට දකින්නෙ නැතුව, වැරැද්ද පෙන්නන “සමහර” උං යටට ඇඳල නෑ – ඒ නිසා අපිට ඕව පිලිගන්න පුලුවන්කමක් නෑ කියන එක අවුල් වගේ නේද පුතා

  3. සතුන්ට සංවේදනයක් තිබේද නැද්ද යන්න ගැටලුවකි. මේ ගැටලුව අපට දාර්ශනික මට්ටමෙන් සංවාදයට ලක් කල හැකිය. රෙනෙ ඩෙකාට් ඇතුළු දාර්ශනිකයන් මෙම මාතෘකාව පිළිබද ඉදිරිපත් කර තිබුණු මතවාද වල සාරාංශයක් මෙම ලිපියේ ඉදිරිපත් කොට ඇත. එම සාරාංශය බොහෝ දුරට නිවැරදි ය. කෙසේනමුත්, පන්සල් වල මෙන්ම දළදා මාළිගාවේ ද අලි ඇතුන් ඇති කිරීමෙන් සත්ත්ව හිංසාවක් වනවාද නැද්ද යන ප්‍රශ්නය පිළිබදව නම් මා තුල ඇත්තේ සංශයවාදී දැක්මකි. අපට සියලු සතුන් එක මට්ටමේ ලා සැළකිය නොහැකිය. නානාවිධ සතුන්ගේ මොලයේ ව්‍යුහය, නියුරෝන පද්ධතියේ ස්වභාවය එකිනෙකට වෙනස් ය. එම නිසා, අපට “සියලු සතුන්ට සංවේදන ඇත“ කියා හෝ “සියලු සතුන්ට සංවේදන නැත“ කියා generalized conclusion එකක් ගත නොහැකිය. මගේ පෞද්ගලික මතය අනුව අලින්, වානර පවුලේ සතුන් හට බාගෙට හෝ සංවේදන ඇත. නමුත්, ගවයන් වැනි සතුන් හට සංවේදන නොමැත. ඒ මගේ පෞද්ගලික මතයයි. මෙය ගලේ කෙටූ අකුරු මෙන් වෙනස් නොවන මතයක් නොවේ…මට ලැබෙන විද්‍යාත්මක තොරතුරු අනුව වෙනස් වන tentative theory එකකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s