ආගම ගැන

ආගමක් කියන්නෙ මොකක්ද? මේ පිළිබඳ අනේක විද මතවාද, සංකල්ප සහ ප්‍රවාද ලෝකයේ මතු වී ඇත.  ඉතා සංකීර්ණ විෂයය ක්ෂේත්‍රයක් වුවත් මේ ගැන කරුණු කීපයක් කීපයක් සලකා බැලීමට සිතේ.

Religious_Symbolsආගම සහ Religion

ආගම යන්නට ඉංග්‍රීසි බසින් භාවිතා වන වචනය Religion යන්නයි. ඉංග්‍රීසියේ “Religion” යන්නෙහි ඇති සංකල්පීය අර්ථය සිංහලයෙහි  “ආගම” යන්නෙහි ඇති සංකල්පීය අර්ථයට වඩා වෙනස් විය හැක. ( පොදු වශයෙන් යමක් උදෙසා විවිධ සංස්කෘතීන් වල ඇති වචන ජනිත කරන්නේ තරමක් වෙනස් සංකල්පීය අර්ථයන්ය; ඒවා හරියටම එක මත එක සමපාත නොවේ. උදාහරණයකට Seat යන ඉංග්‍රීසි වචනයෙහි සිංහල පරිවර්තනය “ආසනය” වුවත්, Seat යන්නෙන් ජනිත නොවන “මල් ආසනය” වැනි සංකල්පත් සිංහල “ආසනය” යන වචනය ආශ්‍රයෙන් ජනිත වේ.)

නමුත් වර්තමාන ලෝකයේ දැනුම්  සංසරණය තුළ මේ සංකල්ප අතර පවතින වෙනස් කම් යම් තරමකට කෘත්‍රිමව තුනී වී ඇත. ඒ අනුව වර්තමාන ලෝකයේ “Religion” සහ “ආගම” යන වචන දෙකම භාවිතා කරන්නේ අඩු වැඩි වශයෙන් එකම දෙයක්/සංකල්පයක් වෙනුවෙනි. වෙනත් අයුරින් කිවතොත් Religion යන ඉංග්‍රීසි වචනයෙහි සිංහල පරිවර්තනය “ආගම” ලෙසත් එහි අනෙක් පසත් වර්තමානයේ අපි සම්මුතික වශයෙන් පිළිගනිමු.

නිරුක්තිය (Etymology)

Religion යන වචනයේ නිරුක්තිය විවාදාත්මක එකකි. එක් මතයකට අනුව, Religion යන වචනය බිඳී ඇත්තේ ලතින් බසේ re සහ ligare යන යන වචන දෙක අනුවය.   එහි තේරුම re (again) ligare (bind/connect) වැන්නකි. ඒ අනුව ජනිත වන්නේ යම්කිසි බැඳීමක් පිළිබඳ සංකල්පයකි.

ජර්මන් වාග් විද්‍යාඥ මැක්ස් මුලර් (1823-1900) ගේ මතය වන්නේ “දෙවියන් නැමදීම, දිව්‍යමය දේ පිළිබඳ ඇති භක්තිය සහ ශ්‍රද්ධාව” යන අර්ථ ඇති religio නම් ලතින් වචනයකින් Religion යන ඉංග්‍රිසි වචනය කෙළින්ම බිඳී ඇති බවයි. ඊට අනුව Religion යන්නෙන් දේව භක්තිය වැනි හැඟීමක් ජනිත කරයි.

නිර්වචන (Definitions)

ආගම හෝ යන්නට නිර්වචන රාශියකි. අන්තර්ජාලයෙන් උපුටාගත් කිහිපයක් පමණක් පහත දක්වමි:

ඔක්ස්ෆර්ඩ්  ශබ්ද කෝෂය (Oxford Dictionary) : “The belief in and worship of a superhuman controlling power, especially a personal God or gods”

බ්‍රිටෑනිකා විශ්ව කෝෂය (Encyclopedia Britannica) : ” Human beings’ relation to that which they regard as holy, sacred, spiritual, or divine.”

බටහිර සමාජ විද්‍යාවේ පියා ලෙස සැලකෙන එමිලෙ ඩර්කයිම් (1858-1917) : “A unified system of beliefs and practices relative to sacred things, that is to say, things set apart and forbidden — beliefs and practices which unite into one single moral community called a Church all those who adhere to them.”

ඉංග්‍රීසි මානවවිද්‍යාඥ සර් එඩ්වඩ් බර්නට් ටේලර් (1832-1917) : “The belief in spiritual beings”

ඇමෙරිකානු සමාජ විද්‍යාඥ ක්ලිෆඩ් ගීර්ට්ස් (1926-2006) : “A system of symbols which acts to establish powerful, pervasive, and long-lasting moods and motivations in men by formulating conceptions of a general order of existence and clothing these conceptions with such an aura of factuality that the moods and motivations seem uniquely realistic.”

මේ නිර්වචන බොහොමයක විශ්වාසයන් (Beliefs), දිව්‍යමය (Divine), පූජනීය(Sacred) සහ අධ්‍යාත්මික(Spiritual) යන වචන භාවිතා වේ.  එමෙන්ම බොහොමයක් නිර්වචන ක්‍රිස්තියානිය ප්‍රමුඛ දේවමය ආගම් ඉලක්ක කොට ගෙන ඉදිරිපත් කරන ලද ඒවා වන අතර බුද්ධාගම, ජෛනාගම වැනි ලෝකයේ දැනට සම්මත ආගම් කිහිපයක් එම නිර්වචනයන්ට අනුව ආගම් ලෙස සැලකිය නොහැක. ඒ නිසා ඒවා අසම්පූර්ණ නිර්වචන වේ.

ආගම, ජාතිය, සංස්කෘතිය වැනි සමාජ විද්‍යාත්මක සංකල්පවලට සපිරි (rigorous) නිර්වචන ලබා දීම නිෂ්ඵල කරුණක් බව මගේ අදහසයි. අපි සමාජයේ පවත්නා විවිධ දේවල පොදු ගුණයන්/ලක්ෂණයන් ඇති දේ වෙන් කොට වෙනම සංකල්පයක් ලෙස හඳුනා ගනිමු. ආගම එවැන්නකි. ආගම් ලෙස අප හඳුනා ගන්නා/නම් කරන දේවල පොදු ලක්ෂණ සමුදායක් ඇත. ඒ ලක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් යමෙක වේ නම් එය ආගමක් ලෙස අපි හඳුනාගනිමු.

 ලෝකයේ සම්මත ආගම් 

ආගම් ලෙස ලෝකයේ සම්මත ව ඇති ආගම් මොනවාද? ලෝකයේ ආගම් 4,200කට අධික ප්‍රමානයක් ඇති බව ඇස්තමේන්තු කොට ඇත. ඒ ආගම් සමාජ විද්‍යාඥයන් විසින් පහත අයුරින් වර්ගීකරණය කර ඇත:

ආබ්‍රහිමික ආගම්  – ක්‍රිස්තියානිය(Christianity), ඉස්ලාමය (Islam) , ජුදාගම (Judaism)

ඉන්දු-ආර්ය ආගම් – හින්දු ආගම (Hinduism), බුද්ධාගම(Buddhism), ජෛනාගම (Jainism), ෂික් ආගම (Sikhism)

ඈත පෙරදිග ආගම් – තාඕයිසමය (Taoism), කොන්ෆියුසියසමය (Confucianism)

පෑරණි ලෝකයේ ආගම් / පේගනිසමයන් (Paganism)- අප්‍රිකානු, ලතින් ඇමරිකානු සම්ප්‍රදායික ආගම්, ආදිවාසීන්ගේ ආගම් සහ ලෝකයේ එවන් විවිධ පැරණි බහු-දේවාඅගම් (Polytheistic religions)

නූතන ආගම් – 19 වන සියවසින් පසු බිහි වූ ආගම්

ආගම්වල පොදු ලක්ෂණ

මේ ආගම්වල පොදු ලක්ෂණයන් මොනවාද?

1. විශ්වාස පද්ධතියක් (Belief System)තිබීම
2. සංස්කෘතික පද්ධතියක් (Cultural System) තිබීම
3. සදාචාරමය හර පද්ධතියක් (Moral Values System) තිබීම

සහ පුද්ගලයන් පිරිසක් සමූහයක් වශයෙන් එකට බැඳුනු මෙකී පද්ධති තුනකට අනුගත වීම සහ ඒ ආශ්‍රයෙන් ආයතනයක් සංස්ථාපනය කර ගැනීම තුළින් ආගමක් බිහි වෙයි.

ආගමක් සංස්ථාපනය සඳහා පුද්ගල කාර්යභාරයද ඉතා වැදගත් වේ. පැරණි ලෝකයේ ආගම් හැර අනෙකුත් ආගම් බිහිව ඇත්තේ යම් ශාස්තෘවරයකුගෙන් පසුවයි.  ඇතැම් ආගම්, ආගම් ලෙස සංස්ථාපනය වන්නේ ශාස්තෘවරයාගෙන් බොහෝ කලකට පසුවයි.

ආගම සහ ලෝක දැක්ම / චින්තනය

ඉහත කී පද්ධතීන් බිහිවන්නේ යම් කිසි ලෝක දැක්මක් (World view) /චින්තනයක්  මතය. (මේ වචන මීට ගැලපෙන වචන දැයි  නොදනිමි. වඩා සුදුසු වචනයක් සොයා ගන්නා තුරු ඒවා යොදමි.)  මෙම ලෝක දැක්ම/චින්තනය, කාලයට (යුගයට) සහ දීපයට (පරිසරයට)  සාපේක්ෂය; නමුත් එය වේගයෙන් වෙනස් වන්නක් නොවේ. රටක/ජන සමාජයක සංස්කෘතිය ඊට වඩා වේගයෙන් වෙනස් වේ. නමුත් සංස්කෘතිය පවතින්නේත්, වෙනස් වන්නේත් ඊට පදනම් වන මේ ලෝක දැක්ම/චින්තනයට අනුරූපවයි. රටක/සමාජයක සංස්කෘතිය හඳුනා ගැනීම එතරම් අපහසු නැත. නමුත් ඊට පදනම් වූ ලෝක දැක්ම/චින්තනය හඳුනාගැනීම පහසු නොවේ.

ආබ්‍රහිමික ආගමකට පදනම් වූ ලෝක දැක්මට වඩා ඉන්දු-ආර්ය ආගමකට පදනම් වූ ලෝක දැක්ම වෙනස්ය. ඒ ලෝක දැක්මවල් වෙනස් වීමට හේතුව ඒවා වෙනස් යුගයන්වල වෙනස් පරිසරයන්වල බිහි වීමයි. මේ වෙනස් ලෝකදැක්මවල ගති ස්වභාවයන්/ලක්ෂණයන් ඒ ඒ ආගම්වල විශ්වාස පද්ධතීන්, සංස්කෘතික පද්ධතීන් සහ සදාචාර පද්ධතීන් තුළින් ප්‍රක්ෂේපණය වේ.

ඇතැම් විටක ආගමක ශාස්තෘවරයා අතින් සිදු වන්නේ ඔහු ඉපදුණ සමාජයේ පවතින ලෝක දැක්මේ/චින්තනයේ රැඩිකල් වෙනසක් ඇති කිරීමයි. නමුත් ඒ නව ලෝක දැක්ම තුළ පැරණි ලෝක දැක්මේ ගුණාංග ඇතැමක් නොනැසී පවතී. යේසුස් වහන්සේ ඔහු ඉපදුණ සමාජයේ පැවති යුදෙව්වන්ගේ ලෝක චින්තනයේ රැඩිකල් වෙනසක් ඇතිවන දහමක් දේශනා කළේය. නමුත් ඒ  තුළ යුදෙව් චින්තනයේ ලක්ෂණ අඩංගුය.

යම් ලෝක දැක්මක්/චින්තනයක් සහිත සමාජයක බිහි වූ ආගමක් ඊට විශාල වශයෙන් වෙනස් වූ ලෝක දැක්මක්/චින්තනයක් සහිත සමාජයක සාර්ථකව අනුගත කිරීම අපහසුය. අශෝක  අධිරාජයාගේ ධර්ම විජය යවනයේ/ග්‍රීසියේ සාර්ථක නොවී ලංකාවේ සාර්ථක වූයේ එබැවිනි. කතෝලිකය යුරෝපයට මෙන්ම ලංකාව වැනි පෙරදිග රටවලටත් පැමිණ ඇති බවට සාක්ෂි ඇත. නමුත් එය සාර්ථකව අනුගත වූයේ යුරෝපයට පමණි.  නමුත් ආගම යම් ජන සමාජයක ලෝක දැක්ම/චින්තනය වෙනස් කිරීමට අවියක් ලෙස භාවිතා කළ හැක. ඒ සඳහා ආගම් දේශපාලනිකව  බලහත්කාරයෙන් අනුගත කිරීම සිදුකිරීම සිදුකළ  යුතුය. කල් ගත වීමෙන් එම සමාජයේ ලෝක දැක්ම/චින්තනය වෙනස් වී මුලු සමාජයම උඩුයටිකුරු වේ.

යම් කිසි ජන සමාජයක ලෝකදැක්ම/චින්තනය යම් යම් හේතු නිසා රැඩිකල් වෙනස්කම්වලට භාජනය වේ. එවිට ඔවුන්ගේ ආගම ඊට අනුරූපව ඔවුහු වෙනස් කරගනිති, නැත්නම් වෙනත් ආගමක් අනුගත කර ගනිති. යුරෝපයේ පුනරුද සමයේ සිදුවූ චින්තන පෙරළියත් සමඟ ඊට අනුරූප වන පරිදි ඔවුහු ඔවුන්ගේ ආගම වෙනස් කර ගත්හ. කතෝලිකය වෙනස් කර ප්‍රොතෙස්තන්තයක් බිහි කර ගත්හ.

—-
ලෝකයේ ආගම් ලෙස පොදුවේ හඳුනා ගන්නා ආගම් වල ඉහත ලක්ෂණ පවතින්නේ කුමන ආකාරවලින්ද, ආගම් ලෙස හඳුනා නොගත් එහෙත් ඉහත ලක්ෂණ වලින් සමන්විත දේ ලෝකයේ තිබේද?  ඒ ගැන මතුවට…

Advertisements

One thought on “ආගම ගැන

  1. හොඳ පැහැදිළිකිරීමක්. මේ වගේම “ජාතිය ගැන” ත් ලිපියක් ලියන්න පුළුවන්ද? අපි මේ ලිපි බෙදා හරින්න ක්‍රමයක් සකසා ගමු.

    Rely යනු “විශ්වාසය තැබීම” නිසා විශ්වාසය තැබීම මත පදනම් වූ ඉගැන්වීම Religion වූ බවත් මා අසා තිබෙනවා. කොහොම බැලුවත් බුදු දහම ආගමක් හෝ Religion නොවන බව පැහැදිළියි. නමුත් “සිංහල බුද්ධාගම” ආගමක් වන බව සමහරු පවසා තිබුණා. ඒත් විශ්වාසය හෝ ඇදහීම මත පදනම් නොවූ ආගමක්, නමුත් Religion නොවෙයි නේ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s