බ්ලාස්ෆමිය, නිරාගමික අන්තවාදය සහ ගුඩු තර්ක

574618_10151333778221763_1193070748_n (1)ආගමික අන්තවාද අතරේ රටේ හිස ඔසවන තවත් අන්තවාදයක් නම් නිරාගමික අන්තවාදයයි. නිරාගමික වීම දැන් රටේ අලුත්ම සෝබනයක් (Fashion) වී තිබේ. ආගමික අන්තවාදීන්ට තම ආගම අදහාගෙන පාඩුවේ ඉන්නට බැරි සේම නිරාගමිකටද කිසිම ආගමක් නොඅදහා පාඩුවේ සිටීමට බැරිය. ආගමික අන්තවාදීන්ට තම ආගමේ මහිමය නොපෙන්වා සිටීමට අමාරු සේම නිරාගමික අන්තවාදීන්ට තම නිරාගමිකත්වයේ මහිමය අනුන්ට පෙන්නන්නට ඇත්තේ පුදුම අමාරුවකි.

දැන් මේ නිරාගමිකයන්ට තියෙන කුලප්පුව ආගම් අදහන්නන්ට, ඔවුන්ගේ විශ්වාසවලට, සංකේතවලට පහර ගැසීමට ඇති වුවමනාවයි. ඔවුන් පුන පුනා කියන්නේ එසේ අපහාස කිරීම (Blasphemy) සාධාරණ බවයි;  ඊට කාටත්/ඔවුන්ට ඇත්තේ ශුද්ධ අයිතියක් බවයි.

මෑත ඉතිහාසය තුළ වරින් වර එක් එක් සිද්ධි හරහා මේ කාරණාව මතු විය. එක් ප්‍රකට පුද්ගලික ආයතනයක් දළඳා මාළිගාව යොදා ටීෂර්ට් මුද්‍රණය කිරීම, බෞද්ධාගමිකයකු නොවන ගායකයකු ජයමංගල ගාථා ඔහුගේ නිර්මාණයකට යොදාගෙන තිබීම සහ බුදු පිළිම සමඟ නොගැලපෙන ආකාරයේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් විදෙස් තරුණියන් කිහිප දෙනෙක් අත් අඩංගුවට ගැනීම පසුගිය වසර ඇතුළත් සිදු වූ සිද්ධීන් කිහිපයකි.  මේ සිද්ධීන්වලදී බෞද්ධ සමාජය තුළ මේ ගැන විරෝධයක් එල්ල විය. එමෙන්ම ඒ සෑම අවස්ථාවකදීම ලංකාවේ නිරාගමිකයන් යැයි කියාගන්නා පිරිස් ඒ බෞද්ධයන්ගේ විරෝධයට විරුද්ධ වූ අතර එසේ අන් ආගම්වලට, ඒවායේ පූජනීය සංකේත වලට අපහාස කිරීමේ කිසිදු වරදක් නොවන බව පුන පුනා කීහ; එසේ විරුද්ධවන බෞද්ධයන් “තලේබාන් බෞද්ධයන්” ලෙස නම් කළහ.

මෙලෙස බ්ලාස්ෆමිය සාධාරණීකරණය කිරීමට ඔවුහු ගුඩු තර්ක ගණනාවක් යොදා ගනිති.

පළමුවෙන්ම ඔවුහු අපහාසය අර්ථදක්වන්නේ / නිර්වචනය කරන්නේ කෙසේදයි අසති. මෙවැනි දේවල්වලට නිර්වචන (definitions) ඉදිරිපත් කළ නොහැකි බව ඔවුන් දන්නේ නැත. එය සම්මුතියකි. කාලයට, දීපයට දේශයට, සාපේක්ෂය. හරියටම ඉරි ඇඳ පෙන්විය නොහැක. උස මිනිසුන් හෝ කොට මිනිසුන් යන්න නිර්වචනය කළ හැකිද? එසේ නිර්වචනය කළ නොහැකි නිසා මේ ලෝකයේ උස සහ කොට මිනිසුන් නැතැයි කාට හෝ කිව හැකිද? ලෝකයේ වැඩි වශයෙන් ඇත්තේ නිර්වචන නොමැති සංකල්ප බව මේ පුස්සන් දන්නේ නැත.

ඊළඟට යම් ආගමක සංකේත අයිති ඒ ආගමට පමණක්දැයි අසති. අනෙක් අයට ඒවා භාවිතා කිරීම තහනම්දැයි අසති. මෙතන කථා කරන්නේ භාවිතා කිරීම ගැන නොව අපහාස කිරීම ගැනයි. යම් ආගමික සංකේතයක් භාවිතය නිසා අපහාස වීමක් සිදුවී ඇති බවට තීරණය කිරීමේ අයිතිය තිබිය යුත්තේ එකී ආගම අදහන සමාජයට මිස පොදු සමාජයට නොවන බව මගේ අදහසයි. විෂ්ණු දෙවියන්ගේ පින්තූරය යොදා යට ඇඳුම් මැසීමෙන් තම ආගමට අපහාස වන බව හින්දු සමාජයේ පොදු අදහස නම් ඊට මහා  සමාජය කන්දිය යුතුය. නැත්නම් එය සාධාරණ ශිෂ්ට සමාජයක් නොවේ; එවන් සමාජයක නීතිය හා සාමය පවතින්නේ නැත.

දැන් මේ කාරණයට විරුද්ධව තවත් ගුඩු තර්කයක් ඉදිරිපත් වේ. එනම් “යම් පිරිසක් නූඩ්ල්ස් කෑම තම ආගම ලෙස පනවා ගෙන නූඩ්ල්ස් කෑම තම ආගමට සිදු කෙරෙන අපහාසයක් ලෙස සලකා අනුන්ටද නූඩ්ල්ස් කෑම තහනම් කරන ලෙස ඉල්ලුවොත් කරන්නේ කුමක්ද?” යන්නයි. මේ අතිශය වියුක්ත කතන්දරය ප්‍රායෝගිකව සිදුවෙන දෙයක් නම් නොවේ. කෙසේ නමුත් අපි එය තර්කයක් ලෙස ගමු. දැන් නූඩ්ල්ස් කෑම ඒ ආගමේ සංකේතයක් වීමට පෙර පොදු සමාජයේ පැවති දෙයකි. ඒ නිසා නූඩ්ල්ස් කෑමෙන් ඔවුන්ට අපහාසයක් වේද යන්න පිළිබඳ පොදු සමාජය සහ අර කුඩා සමාජය අතර සම්මුතියකට/ එකඟතාවකට/සංහිඳියාවකට ආ යුතුය.

නමුත් බොහෝ ආගමික සංකේත එවැනි දේ නොවේ. බුදු රූ බුද්ධාගමේ ආගමික සංකේතයක් වීමට පෙර සමාජයේ පැවතුන දෙයක් නොවේ. ඒ නිසා බුදුරුවක් ඇඳුමකට යොදා ගැනීමේදී අපහාසයක් වී ඇත්ද යන්න ගැන තීරණය ගැනීමේ අයිතිය බෞද්ධ සමාජයට දීමේ කිසි වරදක් නැත. නමුත් බෝ ගස් බුද්ධාගමට අයත් පූජනීය දෙයක් ලෙස පනවා ගැනීමට පෙර ලෝකයේ පැවති වස්තූන්ය. ඒ නිසා බෝගස් සම්බන්ධ තීරණ ගැනීමේදී පොදු සමාජයේ එකඟතාව වැදගත්ය. ප්‍රායෝගිකව මෙවැනි දේ පිළිබඳව සම්මුතීන්ට එළැඹීම එතරම් අපහසු දේ නොවේ. ශිෂ්ට සමාජයක් නිරායාසයෙන්ම එවැනි සම්මුතීන්ට එළැඹේ.

උදාහරණයක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ සමහර ගස් වර්ග ස්වදේශිකයන්ට අයත් පූජනීය ගස් ලෙස සලකනු ලබයි. ඒ ගස් කිසිදු ව්‍යාපෘතිකදීවත් කපා දැමීම සිදු නොකරයි. ස්වදේශිකයන් යනු ඕස්ට්‍රේලියාවේ කුඩා ජන සමාජයකි. නමුත් එරට සමාජය එවන් එකඟතාවකට පැමිණ තිබීම සැලකිය යුතු කරුනකි.

මේ පිළිබඳව ඉදිරිපත් වෙන අනෙක් ගුඩු තර්කය නම් යම් පිරිසක් මිනීමස් කෑම හෝ සිය දිවි නසා ගැනීම තම ආගම ලෙස පනවාගයි නම් එය අපගේ තර්ක විදියට අනුව වරදක් නැත්ද යන්නයි. මෙයත් කලින් එක වගේම වියුක්ත කතාවක් වුනත් මීට දිය හැකි උත්තරය නම් සම්මුතීන් ඇත්තේ කුඩා ජන සමාජවලට පමණක් නොවන බවයි. රටවලට වෙනම සම්මුතීන් ඇත. ලෝකයට වෙනම සම්මුතීන් ඇත. මිනී මැරීම ලෝකයේ කිසිදු සමාජයක, රටක සම්මුතියකට අයත් වන්නක් නොවේ. මිනී නොමැරීම, ස්ත්‍රී දුෂණය නොකිරීම ලෝක නැත්නම් විශ්වීය සම්මුතීන්ය. කුඩා සමාජයකට ඒ ලෝක සම්මුතීන් අභිබවා/අතික්‍රමණය කර සම්මුතීන් පනවා ගත නොහැක.

ඊළඟට ඔවුහු මුස්ලිම් රටවල පවතින බ්ලාස්පෙමි නීති වල අමානුෂිකත්වය පෙන්වා මේවා කරන්නද යන්නේ යැයි අසති. ආගම් වලට අපහාස කිරීම නතර කිරීමට නීති ගෙන ඒම යනුවෙන් මා අදහස් කරන්නේ එවන් ක්‍රියාවන් නතර කිරීමට ශිෂ්ට සමාජයක ගෙන ආ යුතු/හැකි නීති මිසක් අර අරාබි රටවල මෙන් බෙල්ල කපා දැමීම නොවේ. කඩේකින් පාන් ගෙඩියක් හොරකම් කිරීම වරදකි. යම් රටක ඊට එරෙහිව ඇති නීතිය වන්නේ ඒ පාන් හොරාගේ බෙල්ල කපා දැමීම නම් එය හෙළා දැකිය යුතු සහ වහා නතර කළ යුතු දෙයකි. නමුත් කඩේකින් පාන් සොරා ගැනීම වරදක් නොවන බව ඉන් අදහස් කෙරේද? එවන් ක්‍රියා නතර කළ යුතු නොවේද? මේවා සියල්ල ගුඩු තර්කය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: